උපන්දිනයට අනුරපුර ගිය ජනපතිට ලැබුණු තෑග්ග


  • රුවන්ගේ පැමිණීමෙන් කැලණියේ පිබිදීමක්
  • මංගල උත්සව ගැන මහින්ද පවිත්‍රාට කීදේ
  • ඡන්ද පොරොන්දු එළියට එයි

 

මහ මැතිවරණයට දින ළංවෙමින් තිබේ. දින වශයෙන් ගත්තොත් ඡන්දයට තවත් හරියටම ඇත්තේ දින 38කි. ඒ නිසාම දේශපාලන කරළියද ටිකෙන් ටික ගිනියම් වෙමින් තිබේ. දේශපාලන පක්ෂ අතර බැණ අඩ ගැසීම් මෙන්ම එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර මනාප සටනද උග්‍ර වෙමින් තිබෙන්නේ ඡන්දය ළංවෙමින් තිබෙන බැවිනි.


චාමෙට උපන්දිනය සැමරූ ජනපති


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී තිබුණේ ගිය සතියේ සෙනසුරාදාටය. දේශපාලනඥයන්ගේ උපන්දිනයට ලොකු උත්සව සාද පැවැත්වීම ​මේ රටේ සුලබ දෙයකි. උපන්දිනයට සුබ පතමින් පළවන පත්තර දැන්වීම් කටවුට් ආදියෙන්ද අඩුවක් නැත. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුම ඒ කිසිවකින් තොරව චාම් අන්දමින් සැමරුවේ ජනාධිපතිවරයා එවැනි දේට අකමැති බැවිනි. ඒ නිසා ජනාධිපතිවරයා එදින ආගමික වතාවත්වලට පමණක් සහභාගි විය. එයද සූදානම් කර තිබුණේ පවුලේ සාමාජිකයන් විසිනි.


අනුරාධපුර රුවන්වැලි සෑය කේන්ද්‍ර කර ගනිමින් සූදානම් කර තිබූ ආගමික වැඩ සටහන්වලට උදේ පාන්දරින්ම සහභාගි විය යුතුව තිබූ බැවින් ජනාධිපතිවරයා සිකුරාදා හවස්වරුවේ සිය බිරිය අයෝමා රාජපක්ෂ මහත්මියද සමග අනුරාධපුරය බලා පිටත්විය. ජනාධිපතිවරයා එදින රාත්‍රිය අනුරාධපුර ජනපති මැදුරේ ගතකළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සිකුරාදා කුරුණෑගල ඡන්ද රැස්වීම් කිහිපයකටම සහභාගි වී හැන්දෑවේ අනුරාධපුරය බලා පිටත්ව ගියේ පහුවදා පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගි වීමේ අපේක්ෂාවෙනි.


අගමැතිවරයා සිය බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියද සමග එදින රාත්‍රිය අනුරාධපුරේ ගතකළේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන මුදිත ගුණසේකරගේ නිවසේය. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවීමට පෙරත් අනුරාධපුරයට ගියවිට පසුගිය කාලය පුරාම රාත්‍රිය ගතකළේ එම නිවසේය. අනුරාධපුරේ එස්.එම්. චන්ද්‍රසේන ඇමැතිවරයාත්, ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණත් හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් ඇතුළු කිහිප දෙනෙක්ද රාත්‍රියේ පැමිණ අගමැතිවරයා හමුවී කතාබහ කළහ.


ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් එතුමාට ආශිර්වාද කිරීම සඳහා කිරි ආහාර පූජාව සෙනසුරාදා උදේ පාන්දර පැවැත්වූයේ රුවන්වැලි සෑය අබියසය. උදේ 5.00ට පමණ ආරම්භ වූ පූජාවට ජනාධිපතිවරයාත් අයෝමා රාජපක්ෂ මහත්මියත් අගමැතිවරයා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියත් චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු සහෝදරවරු සහ මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගි වූහ. කිරී ආහාර පූජාවෙන් අනතුරුව පිරිසට උදේ කෑමට අනුරාධපුර ජනාධිපති මන්දිරයට එන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු පිරිසට ආරාධනා කළේය. ඒ අනුව අගමැතිවරයාත් චමල්, බැසිල්, එස්.එම්. දුමින්ද,නාමල්, ඇතුළු පිරිසත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණත්, ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපතිවරයාට සුබ පතමින් උදේ කෑම ගත්හ.


අනතුරුව අගමැතිවරායත් එස්.එම්. චන්ද්‍රසේන හා එස්.එම්. රංජිත් සමග ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගන්නට පිටත්ව ගියේ අගමැතිවරයාට එදින හවස කුරුණෑගල යාමට තිබූ බැවිනි. ඒ අනුව අගමැතිවරයා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සමග ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ සිවුරක්ද පූජාකර ආශිර්වාද ලබාගත්තේය.


ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් මහා සංඝරත්නය සඳහා දහවල් දානය සූදානම් කර තිබුණේ මිරිසවැටිය විහාරස්ථානයේය. මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති ඊතණවැටුණු වැවේ ඥානතිලක නාහිමියන්ගේ අනුශාසනා පරිදි සූදානම් කර තිබූ දානමය පින්කමට අනුනාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියහ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්, චමල්, බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයනුත් එකට එක්ව දානය පිළිගැන්වූයේ රාජපක්ෂවරුන් හැමවිටම එකට එක්ව සිටින බව පෙන්වමිනි.


ජනපති හමු​ෙවන්නට ආ අමුත්තා


මිරිසවැටිය විහාරයේ පැවැති දානමය පින්කමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමු​ෙවන්නට අමුත්තෙක් පැමිණ සිටියේය. ඔහු කැඳවාගෙන එනු ලැබුවේ අගමැතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන් විසිනි. පොළොන්නරුව මැදිරිගිරියේ හිටපු ගම්සභා සාමාජිකයකු වන ඔහු හේවාහැට නමැත්තෙකි. වයස අවුරුදු 86කි. ඔහු එදින ජනාධිපතිවරයා හමු​ෙවන්නට කැඳවාගෙන එන ලෙස දැනුම් දී තිබුණේ අගමැතිවරයාය. අගමැතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ​ඔහු එතැනට කැඳවාගෙන එන්නට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබිණි. හේවාහැට මහතා මීට සති දෙකකට පමණ ඉහතදී රුපියල් 5000 නෝට්ටුවක්ද අමුණා ලිපියක් අගමැතිවරයා වෙත එවා තිබුණේ ජනාධිපතිවරයාගේ කොවිඩ් අරමුදලට එම මුදල බැර කරන්නැයි ඉල්ලීමක්ද කරමිනි. එදින අගමැතිවරයා ගාමිණි සෙනරත්ට උපදෙස් දී තිබුණේ එම මුදල එවා ඇති හේවාහැට මහතා ජනාධිපතිවරයාගේ උපන්දිනය දවසේම කැඳවාගෙන විත් ඔහු අතින්ම එම මුදල ජනාධිපතිවරයාට බාරදීමට අවස්ථාව සලසන ලෙසය. ඒ ඔහුගේ සත්ක්‍රියාව අගය කිරීමක් වශයෙනි. ඒ අනුව හේවාහැට මහතා රුපියල් 5000 නෝට්ටුව අගමැතිවරයා ද ඉදිරිපිට ජනාධිපතිවරයා අතට පිරිනැමුවේය. ඔහු ජනාධිපතිවරයාට හඳුන්වා දෙමින් අගමැතිවරයා කීවේ මේ මහත්තයාගේ වසස අවුරුදු 86යි. එතුමාට වැඩි හිටි දීමනාව ලෙස ලැබුණු රුපියල් 5000 තමයි කොවිඩ් අරමුදලට බැර කරන්න කියලා එවලා තිබුණේ. මෙවැනි පුරවැසියන් අපි අගය කරන්න ඕනෑ යනුවෙනි. ජනාධිපතිවරයා ඔහුගේ 5000 මුදල බාර ගත්තේ ඔහු කළ විශිෂ්ට ක්‍රියාව මහත්සේ අගය කරමිනි.


දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා පිරිසට සමුදී පිටත්ව ගියේ එදින සවස කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන රැස්වීම් කිහිපයකට යාමට සිදුව තිබූ බැවිනි. ජනාධිපතිවරයා එදින අනුරාධපුරයේ නතර වූයේ පසුවදා උදෑසනම ඉසුරුමුනි විහාරයටත්, ලංකාරාමයටත් යාමට තිබූ හෙයිනි. අගමැතිවරයා මිරිසවැටිය පන්සලෙන් පිටත්ව කුරුණෑගල බලා යාමට පෙර ජයන්ති විහාරයට ගොඩවැදුනේ අනුරාධපුරයට පැමිණෙන හැම අවස්ථාවකම ජයන්ති විහාරයට ගොස් විහාරාධිපති හිමියන් බැහැ දැකීම පුරුද්දක් ලෙස කරන බැවිනි. ‘‘හාමුදුරුවනේ ඡන්ද රැස්වීම් කිහිපයකටම යන්න තියෙන අතරෙයි ඔබවහන්සේ බැහැදැකල යන්න ආවේ’’ යැයි මහින්ද ජයන්ති විහාරයට ගොඩවෙන ගමන් කීවේය. ඒ අතරම මහින්ද කීවේ පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නේ ඡන්ද රැස්වීමට යන නිසා බවය. නායක හාමුදුරුවන් ආශිර්වාද කරමින් කීවේ ඔබතුමාගේ පැමිණීම විතරයි වැදගත් වෙන්නේ යනුවෙනි.


මහින්ද කුරුණෑගල අපේක්ෂකයන්ගේ ගෙවල්වලට යයි


අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව සති අන්තයේ වැඩි කාලයක් ගත කළේ කුරුණෑගල ය. ගියවර මෙන්ම මෙවර ද කුරුණෑගලින් තරග කරන මහින්ද පොහොට්ටුවෙන් තරග කරන සියලුම අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටී. පොහොට්ටුව ලකුණින් තරග කරන පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයන්ගේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා අනෙකුත් සහෝදර පක්ෂවලින් තරග කරන අපේක්ෂකයන්ගේ ඡන්ද රැස්වීම්වලට ද ගොස් මහින්ද ඔවුන් වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුනේ පක්ෂයේ නායකයා වශයෙන් යුතුකම ඉටු කරමිනි. ගිය සතියේ මහින්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අපේක්ෂකයන් වැඩි දෙනකුගේ නිවෙස්වලටම ගොස් ජනතාව අමතමින් ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දැක්විය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර, සී.බී. හේරත්, ශාන්ත බණ්ඩාර ඇතුළු අපේක්ෂකයන් ගණනාවකගේම නිවෙස්වලට ගිය අගමැතිවරයා රැස්ව සිටි පිරිසද ඇමතීය.


කොරෝනා වසංගතය හේතුවෙන් දෛනික ජන ජීවිතයේ බොහෝ කටයුතු තවමත් සිදු කෙරෙන්නේ සීමා කිරීම් මැදය. ඡන්ද රැස්වීම්වලට පමණක් නොව මංගල උත්සවවලට සහභාගි කරවා ගත හැකි උපරිම පිරිස ද සිය දෙනෙකි. උත්සව ශාලා හිමියන් සහ ආහාරපාන සපයන්නන්ගේ ඉල්ලීමවී ඇත්තේ එම පිරිස අඩුම තරමින් දෙසීය දක්වා හෝ වැඩි කරන ලෙසය. ගිය සතියේ බදාදා පැවැති කැබිනට් රැස්වීමේදීද මේ ප්‍රශ්නය මතුවිය. ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා විසිනි. ඔහු කීවේ මංගල උත්සවවලට සහභාගිවන පිරිස අඩුම තරමින් 200ක් 250ක් වත් කරන්න කියාය. ජනාධිපතිවරයා ඒ ගැන විමසු​වේ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියගෙනි. ‘සෞඛ්‍ය ඇමැතිතුමිය මොකද කියන්නේ’ ජනාධිපතිවරයා විමසීය. අපි මේ ගැන සොයා බලාගෙන යනවා. පවිත්‍රා කීවාය. අගමැති මහින්ද කීවේ රට දැන් යථා තත්ත්වයට පත් වෙමින් තියෙන නිසා ඔය සීමා ටික ටික පරිස්සමින් ලිහිල් කරන්න ඕන යනුවෙනි.


කොවිඩ් 19 හේතුවෙන් වසාදැමුණු සිනමාහල්ද ලබන සතියේ සිට යළි විවෘත කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. මාස තුනකට වැඩි කාලයක් තිස්සේ සිනමාහල් වසා දමා තිබුණු අතර ඉන් අනෙකුත් ක්ෂේත්‍රවලට මෙන්ම සිනමා කර්මාන්තයට ද එල්ල වූයේ මරු පහරකි.


කොවිඩ් 19 දැන් යම් පමණකට පාලනයවී ඇති බැවින් සිනමා ශාලා යළි විවෘත කර සිනමා කර්මාන්තය නංවන්නට ආණ්ඩුව තීරණය කර ඇත. එහෙත් සිනමා ශාලා විවෘත කෙරෙන්නේද දැඩි සීමාවන් මැදය. ශාලාවලට ගෙන්වා ගත හැකි ප්‍රේක්ෂකයන් ගණන ද වෙනදා මෙන් හරි අඩකි. මේ තත්ත්වය තුළ සිය සිනමාපට ප්‍රදර්ශනයට නිෂ්පාදකවරුන් එතරම් කැමැත්තක් නොදක්වන්නේ එයින් ලාභයක් නොලැබෙන බැවිනි. මේ අතර උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ඊට ඉදිරිපත් විය. ඔහුගේ නවතම නිෂ්පාදනය වන ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට බන්දුල ඉදිරිපත් වූයේ මේ වේලාවේ සිනමාව ගොඩ ගන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕන බව කියමිනි. ඒ අනුව බන්දුලගේ චිත්‍රපටය ලබන සතියේ සිට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.


මේ අතර චම්පික රණවක හිටපු ඇමැතිවරයා ගිය සතියේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේය. තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයකදී ඒ සඳහා විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබූ අතර එහිදී ඔහු පසුගිය කාලයේ ඇමැතිධුර දරමින් කළ ව්‍යාපෘති පිළිබඳ ප්‍රකාශනයක්ද එළිදැක්වූයේ ඉදිරි සැලසුම් පිළිබඳව ද සඳහන් කරමිනි. ජාතික හෙළ උරුමයේ නායකයාද වන ​ඔහු මෙවර සජිත් පිල නියෝජනය කරයි.


එජාපයේ ජාතික මැතිවරණ ව්‍යාපාරය තව දින කීපයකින්


එජාප නායකයා සිරිකොතදී සමාජයේ විවිධ ස්ථර හමු වී ඉදිරි මැතිවරණයට අද‌ාළ සාකච්ඡා ගණනාවක්ම දැනට පවත්වා තිබේ. දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ මැතිවරණ ව්‍යාපාරය තව දින කිහිපයකින් ඇරඹීමට එජාපය සැලසුම්කර ඇත.


‘එජාපය විතරක් නෙවෙයි පොහොට්ටුව, ජවිපෙ ඇතුළු බොහෝ පක්ෂ තාම මැතිවරණ මෙහෙයුමක් අරඹලා නැහැ.’ එජාප නායකයා තමා හමුවීමට පැමිණෙන විවිධ කණ්ඩායම්වලට ලබා දෙන්නේ එවැනි මතයකි.


‘ඒත් සමගි ජන බලවේගය ඔක්කොටම කලින් වැඩ පටන් අරන්. නාන වැඩෙත් ආරම්භ කරලා නේද?’ රවි කරුණානායක නායකයාට කීවේය.


‘ලබන සතිය මුල එජාප මැතිවරණ මෙහෙයුම පටන් ගන්නවා. ඒක රැස්වීම්වලට වඩා රටටම යන විදියේ ඔන්ලයින් සිස්ටම් එහෙකට අපි සැලසුම් කරලා තියෙන්නේ. මිනිස්සු කොරෝනාවලට බිලි දීලා ඡන්ද කරලා වැඩක් නැහැ.’ එජාප නායකයාගේ මතය එසේය.
‘සමගි ජන බලවේගය දුගී පවුල්වලට රුපියල් 20,000 ක් දෙනවා කියලා රට වටේ කියාගෙන යනවා. මේක මාර්කට් කරන්න පුළුවන් ද?’ දයා ගමගේ ඇසුවේය.


‘දුප්පතුන්ට වගේම මධ්‍යම පන්තියටයි කොරෝනා වැඩියෙන්ම බලපෑම් කළේ. ඔවුන්​ගේ රැකියා ලක්ෂ ගණනක් අහිමි වෙලා. එදිනෙද‌ා ජීවත්වෙන අයටත් ලොකු ගැටලු ඇතිවෙලා. අපි ඒ මිනිසුන්ට ගොඩඑන්න ප්‍රායෝගික වැඩපිළිවෙළකුයි යෝජනා කරන්න ඕනෑ.’ 


‘මේ ආණ්ඩුවට මාස අටටම මුකුත් කරගන්න බැරි වුණා. කොරෝනා ආවේ අන්තිම මාස තුනේදියි. ඊට කලින් මාස පහේදී අපි ජනතාවට යෝජනා කරලා තිබුණ සහන ටිකවත් දීගන්න බැරි වුණා. ඒක ඔවුන්ගේ ආර්ථික නොහැකියාවයි.’ එජාප නායකයා සඳහන් කළේය.
‘දැන් මේ කරුණා එක රෑකට හමුද‌ාවේ තුන් හාරද‌ාහක් මැරුවා කියලා කියන එක ආණ්ඩුව රකින්න හදනවා. හැබැයි හමුද‌ා පවුල් මේ ප්‍රකාශයෙන් විශාල කළකිරීමකට පත්වෙලා ඉන්නේ.’ වජිර අබේවර්ධනගේ මතය විය.


‘2002 සාම ගිවිසුමෙන් කරුණා කඩලා එළියට ගත්තේ අපියි. අපි කරුණා උපාය මාර්ගිකව යොද‌ා ගත්තට පක්ෂයේ උප සභාපතිකම්, ඇමැතිකම් දීලා එජාපය ඇතුළට ගත්තේ නැහැ.’ එජාප නායක රනිල් කීවේය.


අතීතයේ දී එජාප නායකයා සිදුකළේ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා සෙසු පක්ෂවල අනන්‍යතාව රැකගෙන එම සන්ධානයට එක්කර ගැනීමය. එහෙත් මෙවර සිදුව ඇත්තේ පරස්පර තත්ත්වයකි. එකී සියළු පක්ෂ ඒකරාශී කොට සමගි ජන බලවේගය නමින් වෙනමම පක්ෂයක් පිහිටුවා ගෙන තිබේ. අතීත සන්ධානයේ දී යම් පක්ෂයකට චෝදනාවක් එල්ල වූ විට එම පක්ෂය පමණක් එකී චෝදනාවට ඉලක්ක වේ. එහෙත් වත්මන් පසුබිම තුළ සමගි ජන බලවේගය තුළ සිටින යම් පක්ෂයකට එල්ලවෙන චෝදනාවක් සමගි ජන බලවේගයට එල්ල වන චෝදනාවක් වන බව බොහෝ දෙනාගේ මතය වේ. සහරාන් හා රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා අතර තිබූ බවට කියන සබඳතා අද එම පක්ෂයට නොව සමස්ත සමගි ජනබලවේගයටම එල්ල වන චෝදනාවක් වී ඇති බව එජාපයේ මතය වේ.මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපනායක රවි කරුණානායක මහතා ද කැටුව කොළඹ දිස්ත්‍රික්කයේ ආගමික ස්ථානවලට ගොස් විහාරාධිපති හිමිවිරුන් ඇතුළුව අනෙකුත් ආගමික නායකයන් බැහැදැක්කේය. ඒ අනුව ගිය සතියේ විහාරස්ථාන 8 ක්, පල්ලි 8 ක්, මුස්ලිම් දේවස්ථාන 3 ක් හා කෝවිල් දෙකකට ගිය එජාප නායකයා තම පක්ෂයේ ප්‍රතිපත්ති විස්තර කළේය. බෙල්ලන්විල රජමහා විහාරයේ නායකහිමියන් ද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ද බැහැදැකීමට ගිය එජාප නායකයා උන්වහන්සේලාගේ අවවාද, උපදෙස් ලබා ගත්තේය. මේ අවස්ථාවලට දයා ගමගේ මහතා ද සහභාගි විය.


රවී කරුණානායක මහතා ගිය සතියේදී මෙරට සිටින ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය හා චීනය යන රටවල තානාපති කාර්යාල නියෝජනය කරන දේශපාලන අංශ ප්‍රධානීන් ද හමු වී සාකච්ඡා කරන ලද අතර ඒ පිළිබඳව පක්ෂ නායකවරයා හමු වී විස්තර කළේය.


පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවකටද ඉකුත් සතියේදී රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.


එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පක්ෂය නව මාවතකට ගෙනයාම සඳහා තරුණ ප්‍රජාවට අවස්ථාව ලබා දෙන බවයි. අනෙකුත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය, එක්සත් ජාතික පක්ෂයට වැදගත් නොවන බවත් ඒ වෙනුවට මහජනතාව මුහුණ දෙන ගැටළු හා ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් එජාප නායකයා කීවේය.


මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පසුගිය සතිය පුරාම ගම්පහ දිස්ත්‍රික්කයේ ගමින් ගමට ගොස් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් හමුවිය. බියගම ආසන සංවිධායකවරයා ලෙස කලක් සිටි රුවන් මේ වන විට කැලණිය ආසන සංවිධායක ධුරය හොබවයි.


ඒ වන විටත් ‘ගම්පෙරලිය’ වැනි සංවර්ධන ව්‍යාපෘතීන්වලදී රුපියල් ලක්ෂ 3000 කට වැඩි මුදලක් වියදම් කරමින් රුවන් බියගම ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කර තිබුණි.


ගමින් ගමට පවත්නා මූලික අවශ්‍යතාවන් කුමක්දැයි ජනතාවගෙන් විමසා බැලීමට අමතරව ඒ අවශ්‍යතාවන් පිළිබඳව පෞද්ගලිකවම ගොස් සොයා බලා කටයුතු කිරීම නිසා බියගම ජනතාව දැඩි ප්‍රසාදයක් රුවන් කෙරෙහි දක්වයි. බියගම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් කිසිවෙක් පක්ෂය හැර නොයෑමත් විශේෂ හේතුවක් විය.


රුවන්ගේ සම්ප්‍රාප්තිය කැලණි ජනතාවට පිබිදීමක් වී ඇත. නිතර සිනහව රැඳි මුහුණින් කාරුණිකව කැලණිය ජනතාව සමඟ කතාබහ කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන රුවන් විජයවර්ධන මහතාට ජනතාව ප්‍රකාශ කර සිටියේ ‘ඔබ මේ කැලණි පුරවරය හදපු පරම්පරාවක කෙනෙක්. හෙලේනා විජයවර්ධන ළමාතැනී ගැන කැලණියේ මිනිස්සු දන්නවා. අපිට ඔබ සමඟ විශ්වාසයෙන් ඉන්න පුළුවන්.’ බවයි.


එජාපය ප්‍රතිපත්ති ප්‍රකාශය සකසමින්


මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය මේ දිනවල සකස්කරගෙන යනු ලබන්නේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පිරිසකගේ ද ද‌ායකත්වයෙනි. ‘ශ්‍රී ලංකාව නැවත උසස් තත්ත්වය කරා....(ශ්‍රී ලංකා ග්‍රේට් අගේන්) එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවය. ඉකුත් දිනවල කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ආර්ථික හා වෙළෙඳ ප්‍රජාව හමු වී රැස්වීම් කිහිපයක් තැබූ හිටපු ඇමැති රවි කරුණානායක මහතාට ඔවුන් පෙන්වා දුන්නේ යළි මෙරට ආර්ථිකය ගොඩගත හැකි පක්ෂය එජාපය බවය...’ ඔව් අපිට එය කළ හැකියි. එයට ඔබේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍යයි.’ රවි කීවේය.


සජිත් සුචරිතයෙන් වැඩ අරඹයි


සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ සුචරිතයෙනි. එදා ප්‍රේමදාස ජනාධිපතිවරයා සිය සමාජ සේවා වැඩ කටයුතු ආරම්භ කළ තැනින් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සජිත් ආරම්භ කළේ සුචරිතය යනු ඔවුන්ට ජය බිමක් නිසාය.


සජිත් සුචරිතයට එන විට හේමා ප්‍රේමදාස මහත්මිය මෙන්ම ඔහුගේ සහෝදරිය, දුලාංජලී ප්‍රේමදාසද සජිත්ගේ දෙපැත්තෙන් සිටියේ නැවත වරක් දුප්පත් පංතියේ ජනතාවට සේවය කරන ප්‍රේමදාස යුගයක් ආරම්භ කරන හැටි කතා කරමිනි.


“දුෂ්කර පළාතකට ගිහින්, වසර දහනවයක් දුෂ්කර ක්‍රියා කරලා, සමගි ජන බලවේගයේ නායකයා විදිහට තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා අද කොළඹට ඇවිත් තියෙන්නේ’ නිවේදකයා කීවේය.


“කොළඹ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වුණේ ප්‍රේමදාස මහත්තයා කොළඹ ඉන්න දුප්පත් ජනතාවට කළ සේවය නිසයි. එහෙම එකේ ඔබතුමා කොළඹ දාලා ගිය එක අපරාධයක් කියලා තමයි මට නම් හිතෙන්නේ” සජිත් අසල සිටි තිස්ස අත්තනායක කීවේය.


“ඔබතුමාගේ තාත්තා හදපු තැන තමයි මෙතැන. මෙතැනින් ගිය එක නම් අපරාධයක්. දැන් ඉතිං ඔබතුමා රටේම ජනතාවට වගේම කොළඹ ජනතාවටත් යමක් කරන්න ඇවිත් ඉන්නවානේ” තවත් අයෙක් කීවේය.


“දුෂ්කර ප්‍රදේශවල සිටින දුප්පත් ජනතාව සමග දේශපාලනය කිරීමට අවශ්‍ය නිසා තමයි මම හම්බන්තොටට ගිහින් දේශපාලනය පටන් ගත්තේ. මගේ පියා තමයි දේශපාලනයට එනවා නම් දුෂ්කර පළාතකට ගිහින් ඒ ප්‍රදේශවල ඉන්න දුප්පත් ජනතාව සමඟ දේශපාලනය කරන්න කියලා උපදෙස් දුන්නේ” සජිත් හම්බන්තොට දේශපාලනය ගැන සිහිපත් කළේය.
එදා ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ ආචාර්ය දයාන් ජයතිලක ප්‍රේමදාස චින්තනය අදට ගැළපෙන ආකාරය ගැන අදහස් දැක්වූවේය. ආචාර්ය දයාන් ජයතිලක මෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග වැඩ කළ බොහෝ දෙනෙක් සුචරිතයට පැමිණ සිටියහ. බොහෝ වැඩිහිටියන් පැමිණ සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය සමග සම්බන්ධ වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට ශක්තියක් වූ ආකාරයට සජිත්ගේ දේශපාලන ගමනටද ශක්තියක් ​ෙවන බව පවසමිනි.


මේ අතර සජිත් සෑම දිනකම මැතිවරණ ප්‍රචාරක රැස්වීම් දහයකට දොළහකට සහභාගි ​ෙවන්නේ දිවයින පුරා ගොස් අඛණ්ඩ ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරමින්ය. පසුගිය සතියේදී සජිත් වැඩිවෙලාවක් වෙන් කර තිබුණේ ගාල්ලටය. ගයන්ත කරුණාතිලක, මනුෂ නානායක්කාර, බන්දුලාල් බණ්ඩාරිගොඩ ඇතුළු අපේක්ෂකයෝ සජිත් සමග සියලුම රැස්වීම්වලට සහභාගි වූහ. 


රංජිත්ගේ පළතුරු වත්ත


රංජිත් සියඹලාපිටිය දේශපාලකයකු වුවත් නිවසේදී ඔහු ගොවියෙකි. රුවන්වැල්ලේ ඔහුගේ පළතුරු වත්ත ජාත්‍යන්තරයේද අවධානය දිනාගෙන ඇත. මෙරට දැනට දුලබ පලතුරු වර්ග ගණනාවක්ම ඔහුගේ වත්තේ වවා තිබේ. මේවාට වැඩිපුර සාත්තු කරන්නේ රංජිත්ය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පිලිපීනය හා වියට්නාමය යන රටවල විශ්වවිද්‍යාල කිහිපයකම කෘෂිකර්ම අංශවලින් පළතුරු වත්ත අධ්‍යයනය කිරීමට අවසර ඉල්ලා තිබේ.

 

-ගජබා-