උතුරේ වන්දි කොටින්ට නොවෙයි එජාපය කියයි


කටාර් හරහා පෞද්ගලික චාරිකාවක් සඳහා අගමැතිවරයා ගියේ යුරෝපයටය. එහිදී යුරෝපයයේ බලවතුන් කිහිප දෙනකු හමුවූ ඔහු අනතුරුව ගියේ එංගලන්තයටය.


පෞද්ගලික චාරිකාවක් මධ්‍යයේ වුවද බ්‍රිතාන්‍ය වෙළෙඳ ප්‍රතිපත්ති පිළිබද රාජ්‍ය ඇමැතිවරයා සමග ශ්‍රී ලංකාවට අදාළව සාකච්ඡා පැවැත්වූ අතර අනතුරුව හිටපු අගමැති ඩේවිඞ් කැමරන් ද මුණගැසුණේය.


ජනපති හා ඇතිකරගත් එකඟතාව මත අලුතින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර කිහිපය ඇති කළේ අගමැතිවරයා යළි පැමිණීමෙන් පසුවය.


“ඇමැතිවරුත් පැටව් ගහනවා කියා විපක්ෂය බොරු කියනවා. ඇමැතිකම් අත හැරපු 16 දෙනෙකු විපක්ෂයට ගිය බව මෙම චෝදනාව කරන අයට අමතකයි. රාජපක්ෂ යුගයේ ඇමැතිවරුත් 110කට වඩා හිටියා. සීනි හා පොල් ඇමැතිලත් හිටියා.


“මේ රජය ප්‍රධාන පක්ෂ දෙක හා තවත් පක්ෂවලින් යුක්තයි. ඒත් එදාට වඩා ඇමැති සංඛ්‍යාව තවම 20 කින් අඩුයි”, අගමැතිවරයා නව ඇමැතිවරුන්ට සුබ පතන ගමන් කීවේය.


බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිළි කරන රූපවාහිනී වැඩසටහනට එක්වීමටය. අනතුරුව පැමිණ සිටි මැති-ඇමැතිවරුත් සමග අගමැතිවරයා කතා බහ කළේ තේ පානය අතරතුරය.


“උතුරේ මියගිය හා අතුරුදන් වූවන්ට වන්දි ගෙවන්න ඇමැති ස්වාමිනාදන් ගෙනා කැබිනට් යෝජනාව විපක්ෂය පටු දේශපාලනයට යොදා ගෙන. 1988-89 දකුණේ භීෂණ කාලේ ගැටලු ඇතිවූ තරුණයන්ටත් ඒ කාලේ රුපියල් 50,000ක් වන්දි ගෙවා තිබෙනවා. මේ යෝජනාව අගමැතිතුමාගේ යෝජනාවක් විදියට රටට කියා මඩ ගහන්නයි, විපක්ෂය හදන්නේ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“බදු ගෙවන්න එපා කියා වීරවංශ කියලලු නේද? බදුවලින් තමයි නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් දෙන්නේ. ඒවා නවත්තන්න කියලද එයා කියන්නේ?” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.


“කේ.පී.ගෙන් කොටි සල්ලි ගරපු කොටින්​ෙග ෂෙඩ් අයිති කර ගත්ත, ඒ බැංකු ගිණුම් සුද්ද කරපු, කොටින්ගේ නැව් මුහුදෙදිම විකුණා සල්ලි ගරපු කට්ටියයි, අද බදු ගෙවන්න එපා කියා ගොං කතා කියන්නේ”, රන්ජන් රාමනායක කීවේය.


“අභ්‍යන්තර ගැටලුවකදී ඇතිවන පීඩාවලට ගොදුරු වූ අයට සහන සැලසීම ලෝකයේ කොහෙත් වෙනවා. අන්තිමට එක එක විදියට සාධාරණය කරන්න වෙනවා. නොමඟ ගිහින් අනුන්ගේ කීමට යුද්ධයට බිලිවූ අය ගැන මිසක් ඒවා මෙහෙයවපු අයට කිසිම වන්දියක් දිය යුතු නැහැ” චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.


“වන්දි ලබනවා නම් ලබන බහුතර පිරිස කොටි නොවන ඒත් යුද්ධය නිසා නිරපරාදේ ගැටලුවලට මුහුණ දුන් අය බව කවුරුත් තේරුම් ගන්න ඕනෑ. ඒක උතුරේ මිනිස්සුන්ගේ ඉල්ලීමට ඇමැති ස්වාමිනාදන් ගෙනා යෝජනාව සම්මත නොවුණොත් ගෙවීමක් කරන්නේ නැහැ” වජිර අබේවර්ධන කීය.


“ඊයේ ගෝඨාභයගේ උපන් දිනේ දානය වෙලාවේ හාමුදුරු කෙනෙකු භයානක කතාවක් කිව්වා. දැහැමි පාලකයෙකු රටට ඕනෑ කියා අන්තිමට කිව්වේ ගොඨාභයත් හිට්ලර් වගේ මිලිටරි පාලනය ගෙන යන්න කියලයි”, පී. හැරිසන් කී විට අගමැතිවරයාද නළල රැළි ගන්වා පුදුමය පළ කළේය.


“උන් වහන්සේගේ කතාවට මහා සංඝරත්නයත්, සාමාන්‍ය ජනතාවත් ඉතා විරුද්ධ බව පේනවා. හාමුදුරුවරුන් 99%ක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් රකින්න ක්‍රියාකරන අයයි. ඒ වගේම බුදුදහම, රටේ ඒකීයබවත් රකින්න අපේ ව්‍යවස්ථාවේ සඳහන් දේට පිටපනින්න රටේ නායකයාටත් ඉඩ නොතැබීම ස්වාමීන්වහන්සේලාගේ වගකීම වෙද්දී මොනවද මේ කියන්නේ? ජනතා පරමාධිපත්‍ය එපාකියලද කියන්නේ?” නවීන් දිසානායක කීදේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනාම අනුමත කළහ.


”හිට්ලර් කියන්නේ ගෑස් කාමරවලට පණපිටින් මිනිස්සු දාලා ලක්ෂ 120 ක් මරපු කෙනාටයි. ලක්ෂ 250කට වඩා එයාගේ මිලිටරි ක්‍රමය නිසා ඝාතනය වුණා. හිට්ලර් ලෝකයේම ලොක්කා වීමේ දවල් සිහිනයක ඉඳන් රටවල් රැසක් හා ලෝක ආර්ථිකයත් විනාශ කළා.


එහෙම කෙනෙකු ලංකාවෙ බිහි වුණොත් රටට බුදුසරණයි”, සජිත් ප්‍රේමදාස කළ විග්‍රහයට කාගේත් අවධානය මෙන්ම ප්‍රශංසාවද හිමිවිය.


“ගලබොඩඅත්තේ හිමිගේ හැසිරීමට උසාවිය තීන්දුවක් දුන්නම මාධ්‍ය සංදර්ශන, උපවාස විරෝධතා කිරීම පුදුම දෙයක් නොවේද? උසාවි තීන්දුවකට විරුද්ධව එහෙම හැසිරෙන්න බැහැ. නායක හාමුදුරුවෝ ඒ පටු තැනේ නැහැ. උන්නාන්සේට ඉක්මනින් ඇප ලැබුෙණාත් හොඳයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“කතරගම-කිරිවෙහෙරේ හිමිට වෙඩි තැබු අයට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. කතරගම දෙවියන්ට වඩා අද සමහරුන් සල්ලි වලටයි, වඳින්නේ. මේවා වෙන්නේ ඒකයි”, දයා ගමගේ කීය.

 

 

“ ඒකාබද්දේ ඇතුළේ කචල් එක ගිනි ගොඩක් වෙලා. එතන කල්ලි කිහිපයක් මරා ගන්නවා. ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ගියාම හොඳ-හොඳ සෙල්ලම් බලා ගන්න ලැබේවි. මහින්දටත් එතන දැන් තැනක් නැහැ කියලායි, පේන්නේ. සුදර්ශනීට නියෝජ්‍ය කතානායක ඡන්දයේදී සහාය දෙන්න කියා ඔහු කළ ඉල්ලීම හුඟ දෙනෙකු මග හැරියා.” නවීන් දිසානායක කීය.


“මා උදයංග ගෙනත් දෙන්නම්. රනිල්, මහේන්ද්‍රන් ගේන්න කියා මහින්ද ළඟදී කිව්වා. උදයංග ඉන්ටර්පෝල්වලට ළඟදීම කොටුවෙන නිසා ඊට කලින් ගෙනත් දෙන්නයි එයා හදනවා ඇත්තේ, “රන්ජන් රාමනායක කීවේ සිනා සෙමිනි.


“මහින්ද, උදයංග ඉන්න තැන දන්න නිසා වෙන්නැති ගේන්නම් කියන්නේ. ඒත් මහේන්ද්‍රන් ඉන්න තැන මා දන්නේ නැහැ. වෙනස ඒකයි”, අගමැති කීවේ නළල රැළි ගන්වමිනි.


“බැඳුම්කරේ ගැන පරීක්ෂණ කරන මේ රජය ඒ කාලේ වූ ගල් අඟුරු හා හාල් මගඩි ගැන නොසෙවීම පුදුමයක් බව විගණකාධිපති ළඟදී කිව්වා. පරණ හොරකම් ගැන හරියට පරීක්ෂණ කළොත් නිලධාරීන් රැසක් කොටු වෙනවා කියලත් ඔහු කිව්වා. රජය මේ ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි”, සජිත් ප්‍රේමදාස මෙන්ම නවීන් දිසානායක කී එකම කතාවට සියලු දෙනාගේ එකඟත්වය පළ විය.