ඉන්දියාවේ සහජීවනය එජාපය සිහිකරයි


අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීම කරුණු දෙකක් මත උණුසුම් වූ බවට ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව හා එක් වී සංවර්ධනය කිරීමට අදාළව ජනපතිගේ පූර්ණ එකඟත්වය නැති බව ප්‍රකාශ වීම හා රෝ ඔත්තු සේවයෙන් තමා ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපතිවරයා තුළ යම් සැකයක් ඇති වූ බවට වූ පුවත් රට කැළඹුවේය.


එහෙත් රෝ ඔත්තු සේවයේ ඝාතන ප්‍රයත්නය ගැන තමා කිසි තැනක සඳහන් නොකළ බව ජනපතිගේ පාර්ශවයෙන් රටට මෙන්ම ඉන්දීය මහ කොමසාරිස්වරයාට ද කරුණු පැහැදිළි කෙරිණ.


අගමැති රනිල් මාස කිහිපයකට පෙර සිට ඉන්දියාවේ නිල සංචාරය සැලසුම් කර තිබුණේ ද මේ සති අන්තයේ දී වීම නිසා අදාළ සිද්ධි වඩාත් තීරණාත්මක බවක් ගත්තේය.


ඉන්දියාවට යාමට පෙර රාජකාරි කිහිපයක් සම්පූර්ණ කිරීමට අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට ආවේ ගිනියම් පසුබිම මැදය. ඔහු සුපුරුදු පරිදි පැමිණ සිටි මැති-ඇමතිවරුන් සමඟ ද එකී උණුසුම් පසුබිම ගැන අදහස් හුවමාරු කරගත්තේය.


“2015දී ජනපති මෛත්‍රී දිනෙව්වේ සහ තමා පරාද කළේ ‘රෝ’ එකෙන් කියලයි, මහින්ද රාජපක්ෂ එදා කිව්වේ”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අතීතය සිහිපත් කරමින් කතාවට මුල පිරීය.


“ජනාධිපතිතුමා මට උදේ කතා කළා. මෝදිට කතා කළා. මහකොමසාරිස්ට කරුණු පැහැදිලි කළා. දැන් ප්‍රශ්නයක් නැහැ කිව්වා. ප්‍රශ්න දුර දිග යන්නේ නැතිව ඔයින් ගියා ඇති” අගමැති කීය.


“කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාව එක්ක එකතුව දියුණු කරන්න ඇමැති මහින්ද සමරසිංහ මැයි 15 කැබිනට් පේපර් එකක් දාලා සැප්තැම්බර් 18 වැනිදා ඒක අවලංගු කරන්න යෝජනා කළාම ඒ ගැන අධ්‍යයනය කරන්න මංගල හා මලික්ට භාර කළා. ඒ නිරීක්ෂණය ගිය අඟහරුවාදා කැබිනට් එකට ආවා.”


“ජනාධිපතිතුමාත් පර්යන්තය ගැන මීට කලින් මෝදි එක්කත් කතා කරල තියෙනවා. පසුව ජපානයට ගිහින් ජපාන අගමැති එක්කත් කරුණු කතා කර තිබෙනවා. නිමල් සිරිපාලත් එතන හිටියා. මොකද බටහිර පර්යන්තය ජපානය මෙහෙය වන්න සූදානම් නිසයි ඒ පැහැදිලි කිරීම් කරලා තිබෙන්නේ” මලික් සමරවික්‍රම කීවේය.


“නැගෙනහිර පර්යන්තයේ සියයට 80 ක්ම ප්‍රතිඅපනයන කටයුතු කරන නිසා ඉන්දියාව එක්ක එකතු වෙලා වැඩ නොකළොත් ඒකේ කටයුතු 20% බහිනවා කියන්නේ ඇත්තද? අඟහරුවාදා සියල්ල ගැන එකඟතා ඇති නොවුණත් තීන්දුවට සතියක් කල්යාම විතරද වුණේ?” චමින්ද විජේසිරි විමසීය.


එවිට ඇමැති මලික් කීවේ “ඔව්” කියාය.


“මා ඉන්දියාවේ යන නිසා ගිහින් ඇවිත් ලංකාවට වඩාත් වාසි හා සුදුසු තීන්දුව ගැන බලන්න පුළුවන් වේවි” අගමැති කීය.


“නැගෙනහිර පර්යන්තයේ හදා තිබෙන්නේ බාගයයි. ඉතිරි ටික හදන්න ඕනැලු. බටහිර පර්යන්තේ දිග නිසා එතන බිස්නස් වැඩිලු. ජපානය එක්ක එකතු වුණොත් එයාලා බටහිර එක සංවර්ධනය කරනවාලු. ඒත් ක්‍රේන් හා අනිත් උපකරණ ගන්න අපේ කට්ටිය දඟලනවා. ඒ කොමිස් අරමුණෙන් බව වෘත්තීය සමිති කියනවා. උපකරණ හයර් එකට දෙන්නම් කියා ජපානේ කිව්වාම අපේ කට්ටිය ඒකටත් අකමැතිලු. හම්බ කිරීම මිසක් දේශප්‍රේමය මෙතන නැහැ වගෙයි” චමින්ද විජේසිරි කීවේ වෘත්තීය සමිතිවල තොරතුරු මතය.


“දැන් ඉන්දියාවට ගියාම මෝදියි එහේ ජනමාධ්‍යයි ‘රෝ’ හා නැගෙනහිර වරාය ගැන අගමැතිතුමාගෙන් අහාවි නේද?” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.


“මට මුකුත් කියන්න දෙයක් නැහැ. ජනමාධ්‍ය නොයෙක් ඒවා කිව්වනේ? වැරදි ප්‍රවෘත්ති නිවැරදි කරන එක විතරයි මට තිබෙන්නේ” අගමැති කීවේය.


“ලංකාවේ හා ඉන්දියාවේ මාධ්‍යත් මේක අවුලවන්න දඟලන නිසා ජනමාධ්‍ය මග අරින එක මේ වෙලාවේ හොඳම උපක්‍රමයයි” දයා ගමගේ අවවාදයක ස්වරූපයෙන් කී විට අගමැතිවරයා සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.
“නැගෙනහිර වරාය කැබිනට් පත්‍රිකාව වරාය ඇමතිගේයි. ජනාධිපතිතුමා ඉන්දියාව එක්ක කතා කර ප්‍රශ්න බේර ගත්තා. අන්තිමට ඇමැතිගේ පිටින් ඔක්කොම කුණු කන්දල් යාවිද දන්නේ නැහැ.” වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.


“අගමැතිතුමාගේ දකුණෙන් ඉන්දියානු ඔත්තු සේවය, වමෙන් චීන ඔත්තුකරුවෝ, යටින් රුසියානු ඔත්තුකරුවෝ, උඩින් සී.අයි.ඒ. කාරයො ඉන්නවද දන්නේ නැහැ. බලාගෙනයි” විජයදාස රාජපක්ෂ කීවේ කාගේත් සිනා මැදය.


“මා ඔය පැති හතරම බලලයි, ගෙදර ඉන්නෙයි, වාහනයට නඟින්නෙයි. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ” අගමැති කීවේ ද උස් සිනා හඬක් සමගිනි.


“ඉන්දියාවත් එක්ක මීට පෙර අස්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව අතපසු වූ වැඩ ගැන එහේ අගමැති, විදේශ-වෙළඳ හා ප්‍රවාහන ඇමතිවරුත් එක්ක මේ සංචාරයේ දී කතා කරනවා. උතුරේ ගෙවල් හා යටිතල දියුණුව ගැනත් කතා කරනවා. සෝනියා ඇතුළු විපක්ෂයේ නියෝජිතයොත් හමුවනවා” අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.


“රටේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ගැන අවධානය කිරීම අත්‍යවශ්‍යයි. අසරණ අයට සහන සලසන්න තිබෙන මුදල් ගසා කන හා වසර 20-30 මේවා අල්ල ගෙන ඉන්න කෝටිපති එන්.ජී.ඕ. කාරයොත් ඉන්නවා. සමහර ආයතනවල මුදල් රට අවුල් කරන දේවල්වලටත් යොදවන බව ආරංචියි” දයා ගමගේ කීය.


“එන්.ජී.ඕ. ගැන හොයන්න. ශ්‍රී ලංකා රතුකුරුසේ ගැන විශේෂයෙන් හොයන්න කියා දයාට ඉල්ලීම් ආපු ඒවායේ පිටපත් මටත් ලැබී තිබෙනවා” අගමැති කීය.


“දැන් ඇමතිවරුන් 15කින් යුක්ත භාරකාර රජය පිහිටවලා ඉවරද?” කිරිඇල්ල ඇසීය.


“භාරකාර එකේ ‘බාරේ’ ගැට ගහන්න සාටකයෙන් රෙදි කෑල්ල දුන්නේ නැහැ කියලයි ආරංචි” චමින්ද විජේසිරි කීවේ සිනා මැද ය.


“සමහරුන් අලුත් ආණ්ඩු ගැන රෙද්ද උස්සගෙන දැඟලුවට අන්තිමට රෙද්ද අස්සේ මොකුත් නැහැ කියා රටම දැක්කා” චමින්ද වැඩිදුරටත් කීවේය.


“ඒකාබද්දේ ඇතුළේ කචල් එක එන්න එන්නම ගිනියම් වෙනවා. වෙල්ගම, දිනේෂ්, වාසුලට ගෝඨගේ ටීම් එක ගහනවා. එයාලා රිටර්න් දෙනවා.


“එදා කොබ්බෑකඩුවට දුන්නා වගේ දැන් රාජපක්ෂලාගෙන් පිටකෙනෙකුට ජනපති අපේක්ෂකත්වය ඕනෑ බවයි එතන හුඟදෙනෙකු කියන්නේ.


“මහින්ද පැරදුණු නිසා පවුලේ හයිය ගියා. ඒ නිසා පවුලටම මේක සීමා කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ මිලිටරි ආණ්ඩුවකට ඒකාබද්ධෙ අයවගේම ජනතාවත් බහුතරය කැමති නැහැ” විජයදාස රාජපක්ෂ කළේ එවැනි විග්‍රහයකි.


“හානි පූර්ණත්ව පනතෙන් කොටින්ට සල්ලි ගෙවන්න යන බවට ඒකාබද්ධය කියනවා. එදා කකුලක් නොණ්ඩි ගැසූ කොටි නායකයාට රාජපක්ෂලා කෝටි කීයක් දුන්නද කියා ඒකාබද්දෙට දැන් අමතකයි.
“අනික ජොන්ස්ටන්ගේ නඩු තීන්දුව දේශපාලනිකව ආණ්ඩුවට අවාසි බව මිනිස්සු කියනවා.” චමින්ද විජේසිරි කීය.


“දැන් අධිකරණය ස්වාධීනයි කියා නැවතත් ඔප්පු වුණා. ජනතාව ඒක තේරුම් ගනීවි. ඒ කාලේ වගේ දුරකතන ඇමතුම්වලට දැන් නඩු තීන්දු ලියන්නේ හෝ අග්‍රවිනිශ්චයකාරවරුන්ගේ ගෙවල් ඉස්සරහට පාතාලේ අය දාලා කුණුහරුප කියවලා අට පාස් අය දාලා නඩු අහලා අග්‍රවිනිශ්චයකාරවරුන් දැන් පන්නන්නෙත් නැහැ. මිනිස්සු මේවා හිතට ගනීවි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීදේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.
මීරිගම රෝහල නවීන අංගෝපංගවලින් සහ චීන, ජපන් ආධාරවලින් ඉදිවන නවීන ගොඩනැගිලි සංකීර්ණ දෙකකින් යුතුව නගාසිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගත්තේ කථානායකවරයාගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසය.


පසුගිය දා රෝහලේ නව එක්ස් කිරණ ඒකකය හා ශල්‍යාගාරය විවෘත කිරීමට කථානායකවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා ද එක් වූ අතර, කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් එහි පැමිණි සුවිශේෂී අමුත්තෙක් ද විය.
ඒ එදා තම ඉඩමක මීරිගම රෝහල ඉදිකරවා පරිත්‍යාග කළ සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ කීර්තිමත් සෙනෙට් සභික ජෝන් එඩ්මන් අමරතුංග මහතාගේ පුතු වන ගාමිණි අමරතුංගය.
ඔහු කැඳවාගෙන විත් එම අතීතය කෘතවේදීව සිහිපත් කළ කථානායකවරයා ඩී.එස්. සේනානායක මහතා එදා රෝහල විවෘත කරන උත්සවයට තමා මීරිගම කඳන්ගමුව විදුහලේ ප්‍රාථමික සිසුවෙකු ලෙස සහභාගි වූ අයුරු සිහිපත් කළේය.