ඇමැතිකම් ගැලවෙන ඇමැතිවරුන් කවුද


 

එජාප, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ඒකාබද්ධ කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් සතියේ පැවැත්විණි.
“නියම සහජීවනය, නියම සම්මුතිවාදය ඇති වුණේ අදයි. ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඉතා වැදගත් තීන්දුවක් මේ අරන් තියෙන්නේ” රවී කරුණානායක කී විට ජනපති හා අගමැතිද හිස සලා එය අනුමත කළහ.


“මේ වගේ කණ්ඩායම් රැස්වීම් හැම මාසෙකම තියනවද? නැත්තම් අවශ්‍ය වෙලාවට විතරක් තියනවද” දයා ගමගේ ඇසුවේ අගමැති ගෙනි.


“අවශ්‍ය වෙලාවට විතරක් තියමු. නැතිනම් පක්ෂ දෙකේ දේශපාලන රහසුත් එළියට ඇවිත් කලවම් වෙලා ලොකු ප්‍රශ්න ඇති වේවි” අගමැතිවරයා දුන් සැහැල්ලු පිළිතුරට සියල්ලෝම සිනාසුනහ.


“මේ වගේ පක්ෂ දෙකේ සාමූහික රැස්වීම් තිබ්බම දෙපැත්තෙම අයට විනයකුත් ඇතිවේවි. ටී.වී. කැමරාවක් දක්කම කටට එන හැම විකාරයක්ම නොකියා ඉඳීවි. දෙපැත්තෙම සමහරුන්ගේ හැසිරීම් සමතුලිත වේවි” වජිර අබේවර්ධන කීදේ සියලු දෙනාම අනුමත කළහ.


එම පළමු ඒකාබද්ධ කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ දෙකේම අය තම සිතැඟි මත අදහස් උදහස් චෝදනා මෙන්ම ප්‍රශංසාද ඉදිරිපත් කළ අතර රැස්වීම නිමාවූ පසු ජනපති - අගමැති ඇතුළු පක්ෂ දෙකේ සියලු දෙනා සිටියේ දැඩි ප්‍රමෝදයකිනි. අනතුරුව සූදානම් කොට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයද දෙපිරිස භුක්ති වින්දේ එකටය. එජාප අය ශ්‍රීලනිප අයටද ඔවුන් එජාප අයටද කෑම කවා ගැනීම් හා දේශපාලන විහිළු තහළු හා සෞම්‍ය මඩ වලින්ද එම සැඳෑව වර්ණවත් විය.


බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ විදේශ අමුත්තන් කිහිප දෙනෙකු හමුවීමටය. ඊට පෙර අරලිය ගහ මැදුරට පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමඟ කතා බහ කිරීමටද අගමැතිවරයා සුළු කාලයක් වැය කළේය.


“දැන් මේ රටේ සමහරුන්ට සයිටම් නඩු තීන්දුව හැර වෙන වැඩක් නෑ. මේ නඩු තීන්දුව විශ්වවිද්‍යාල වලට යන්න ඉඩ නොලැබෙන ලක්ෂ ගණනක සිසුන් ලබපු ජයක්. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න අවශ්‍ය උ/පෙළ සාමාන්‍ය සාමාර්ථ 03යි. ඒත් සයිටම් එකට ඇතුල් වෙන්න ඊට වඩා ඉහළ සුදුසුකම් ඉල්ලනවා. මහින්ද රාජපක්ෂයි සයිටම් බිලිඳා බිහි කළේ. අක්කර ගණනක ඉඩමක්, ඇපකාරයෝ නැතුව රුපියල් දසලක්ෂ 600ක් දුන්නේ එතුමායි. ශිෂ්‍යත්ව දහයකුත් තම හිතවත් ළමයි කට්ටියකට මහින්ද අරන් දීලා. එයා වෙනුවෙන් ගී ගයපු ළමයෙකුත් සයිටම් එකට ඇතුළු කරලා. දැන් කියනවා සයිටම් එක හොඳ නැහැ කියලා. මහින්දගේ මොළේ දොස්තර කෙනෙකුට පෙන්නන්න කියලා එස්.බී. හොඳ උත්තරයක් දුන්නා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. 


“දැන් වෛද්‍ය සභාව උසාවි තීන්දුවට හිස නමා රටේ නීතිය ක්‍රියාත්මක කරනවාද පටු දේශපාලනයට මේ ප්‍රශ්නය තල්ලු කරපු විපක්ෂයේ දේශපාලනයට සහාය දීලා ශිෂ්‍ය පරපුර අනාථ කරනවාද කියලයි රටම බලා ඉන්නේ.” දයා ගමගේ කීවේය.


“වෛද්‍ය සභාවේ කෙනෙකුයි එයාගේ බෑනයි මම හමුවෙලා ටික කාලෙකට කලින් පැය 03ක් කතා කළා. ලෝකයේ හැම රටකම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවාය. ඕස්ටේ්‍රලියාවේ මේ උපාධිය ගන්න රුපයල් ලක්ෂ 600ක් වැය වෙනවාය සයිටම් එකේ ගන්නේ ලක්ෂ 96ක්ය ඒ නිසා රටේ ආර්ථිකයටත් සයිටම් එක වාසි නිසාත් එතන සුළු අඩුපාඩු තිබේනම් හදා ගනිමුය. සයිටම් ළමයින්ට නම්‍යශීලී වෙලා රජය හා පෞද්ගලික අංශය 50ට 50 අරන් ප්‍රශ්නය විසඳමුයි මම කිව්වාම වෛද්‍යසභා කෙනා බැහැ කිව්වා. ඒ ළමයි උසාවි ගිහින් 100%ක අයිතිය ගත්තා. මේ ප්‍රශ්නය අවුල් කළේ දේශපාලකයෝ හා වෛද්‍ය සභාවේ පටු තීරණයි.” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.


“රත්මලානේ කොතලාවල එකේ වෛද්‍ය උපාධිය දෙනවට කෑගහන අය කවුරුත් විරුද්ධ නෑ. ඒ කාලේ ගෝඨාභ්‍යට බයේ දොස්තරලයි දේශපාලකයොයි සද්ද නෑ. මේ රජය දීපු නිදහස බොහෝ අය වැරැදියට පාවිච්චි කිරීම කනගාටුදායකයි.” දයා ගමගේ කීවේය.


“අනික දැන් මේ රටේ ඉන්ජිනේරු, ගණකාධිකරණ ව්‍යාපාර පරිපාලනය, නීතිය, පරිගණක ඇතුළු සියලු ක්ෂේත්‍රවල උපාධි පෞද්ගලික අංශය ලබාදෙනවා. වෛද්‍ය උපාධිය හා සයිටම් එකට විතරක් මේ අය විරුද්ධ ඇයි? රටේ ආර්ථිකය දුර්වලයි කියලා ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලට යන්න බැරි අනිත් හැම ළමයම පොල් කඩන්න ත්‍රිවීල් එළවන්න යවන්න කියලද සමහරු මේ කියන්නේ” වජිර අබේවර්ධන ඇසුවේය.


“වෛද්‍ය සභාවේ තීන්දුව රටේ නීතියට අභියෝග නොකරන එකක් වේවි කියලා අපි හිතනවා. ඇමැතිවරයාට හා ආණ්ඩුවට වෛද්‍ය සභාවේ තීන්දුවටත් වඩා රටේ නීතිය හා උසාවි නියෝග ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙනවා. ආණ්ඩුව ඒ අනුව ක්‍රියා කරනවා. නැත්තම් උසාවියෙන් අපට ප්‍රශ්න ඒවි” අගමැතිවරයා පැහැදිලි කළේය.


“වෛද්‍ය සභාව උසාවි නියෝගයට විරුද්ධ තීන්දුවක් දුන්නොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීන්දු ගන්න බැරි නෑ කියලයි නීති අංශවල ප්‍රවීණයෝ කියන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“රන්ජන් රාමනායකට ඉඩම් අමාත්‍යාංශය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න ඉඩදීමෙන් ස්ථාවර නියෝග වලට හානි වුණාද?” වජිර අබේවර්ධන ඇසුවේ අගමැතිගෙනි.


“නෑ කතානායකතුමා නියෝගයක් නොවෙයි තීරණයක් දුන්නේ එතනදී. අපි ඒකට හිස නැමුවා” අගමැති කීවේ සිනාසෙමිනි.
“පර්පචුවෙල් ටේ‍රෂරීස් එකට මහ බැංකුව යම් සීමා දැම්මාය කියල මහ බැකු අධිපති ළඟදී කිව්වා. ඒක මීට මාස දෙක තුනකට කළින් ගත්ත තීන්දුවක්. මහ බැංකුවෙනුත් දිගටම පිළුණු ප්‍රවෘත්ති එළියට දැමීම පුදුමයක්” රවී කරුණානායක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


“හාල් ප්‍රශ්නය ආවේ ආණ්ඩුව කුඹුරු අක්කර ලක්ෂ 04ක් වගා නොකළ නිසා කියලා මහින්ද මහත්තයා කියනවා” දයා ගමගේ ඇසුවේය.


“අලි බොරුවක්නේ. පොහොර ප්‍රශ්නය නිසා හාල් හිඟ වුණා කියලා සී.බී. රත්නායක කිව්වා. ඒකත් බොරුනේ. හාල් ප්‍රශ්නය ආවේ නියඟය නිසා කියලා ඇගමැතිතුමා හරි උත්තරේ දුන්නා. නියඟය නිසා හාල් නිෂ්පාදනය 40%ට බැහැලා. අපි හාල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 2  1/2 ගේනවා. හාල්වල බදු මුදල් අගමැතිතුමා අඩු කළා.” පී. හැරිසන් පැහැදිලි කළේය.

ආසියානු කලාපයේ තරඟකාරී සුපිරි බලවතුන් දෙදෙනා වන ඉන්දියාව හා චීනය යන දෙරට පිළිබඳවම ශ්‍රී ලංකාව දක්වන සැලකිල්ල සහ ඔවුන් සමග පවතින සියවස් ගණනාවක් ඉක්මවන සුවිශේෂී මිතුරු සබඳතා කතානායකවරයා සිහිපත් කළේ ගෙවුණු සතියේදී දෙරට විසින් ශ්‍රී ලංකාවේ පැවැත්වූ වැදගත් උත්සව අවස්ථා දෙකක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.


දෙදිනක් පුරා කොළඹදී පැවැත්වූ ඉන්දියානු අධ්‍යාපනික ප්‍රදර්ශනය විවෘත කරමින් ඉන්දියාව ශ්‍රී ලංකික සිසුන්ට සිය රටේ අධ්‍යාපන අවස්ථා විවෘත කිරීම අගය කළ කතානායකවරයා විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයෙන් සුවිශේෂී ජයග්‍රහණ ලබාගැනීමට එම සහාය වැදගත්වනු ඇති බවද පෙන්වා දුන්නේය.


ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවේ කලාශිල්ප, අක්ෂර ක්‍රමය, ආගමික පසුබිම සකස් කිරීමට ඉන්දියාවෙන් ලැබුණු ප්‍රබල පිටිවහල හෙතෙම අගය කළේය.


එමෙන්ම ශ්‍රී ලංකා - චීන මිතුදමේ 60වන සැමරුම නිමිත්තෙන් චීන තානාපති කාර්යාලය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කළ විචිත්‍රවත් උළෙල පැවතියේද කතානායකවරයා හා පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.


නූතන රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතාවන්ට සපිරෙන්නේ දශක හයක් වුවද පස් වන ශත වර්ෂයේ පාහියන් භික්ෂූන්ගේ පැමිණීම, හියුං සාන් භික්ෂුවගේ දේශාටන චාරිකාව ආදිය ශ්‍රී ලංකා - චීන සබඳතාවන්හි දිගු ඉතිහාසයට සාක්ෂි දරන බව පැවසූ කතානායකවරයා චීනය සැමදා දුක සැප දෙකෙහිම ශ්‍රී ලංකාවට සිටි කළණ මිතුරෙක් බවද කෘතවේදීව සිහිපත් කළේය. එමෙන්ම වසර 65ක් පිරෙන රබර් සහල් ගිවිසුමේද චීනය ශ්‍රී ලංකාවට අඩුම මිලට සහල් සපයමින් ලෝකයේ වැඩිම මිලකට අපේ රබර් මිලදී ගැනීම තුළ එදා ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ කාරුණික බවද හෙතෙම පෙන්වා දුන්නේය.


ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට එක් වූ පළමු නේපාල බිලියනපතියා වන බිනෝදි චෞද්රි මහතා විසින් සම්පාදිත කෘතියක් පසුගිය සතියේ කොළඹදී එළිදැක්වුණේ ඉහළ පෙලේ සම්භාවනීය උත්සවයකදීය. අග්‍රාමාත්‍යවරයා, ඇමැති විජයදාස රාජපක්ෂ, දයා ගමගේ අමාත්‍ය යුවළ, මහාචාර්ය ජී.එල්. පීරිස් යන අය ඇතුළු සම්භාවනීය විද්වතුන් රැසක් එක්ව සිටි උත්සවයේදී කතානාකවරයා සිය දිගු කාලීන මිතුරෙකු වන බිනෝද් චෞද්රිට සුභ පැතුවේ ඔහු ලෝකයේ අති සාර්ථක මිනිසෙකු වීම අගය කරමිනි.


දිවුලපිටිය පස් ප්‍රශ්නය, සයිටම් අවුල ආදිය පිළිබඳව ඇදී ගිය කථා බහ ආදිය හේතුවෙන් පාර්ලිමේන්තුවද උණුසුම් මුහුණුවරක් ගත් ඉකුත් සතිය පුරාම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් රැකගැනීමේ මුලසුනේ වගකීම වෙනුවෙන් කතානායකවරයා සෑහෙන වෙහෙසක් දැරූ අයුරු ද සියලුම මාධ්‍යන්හි පුළුල් අවධානයට ද ලක්ව තිබිණි.

ජනතා අයිතියට පැවරුණු 18වැනි උදා ගම්මානය වන සූරියවැව, වාලිවැව “සඳරිවිගම” උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමේ උත්සවය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතියේ පසුගිය 03 වැනිදාය. කවදත් සිය පුතණුවන්ගේ වැඩ කටයුතු පිළිබඳව සොයා බලමින් අතහිත දෙන සජිත්ගේ දායාබර මෑණියන් වන හේමා ප්‍රේමදාස හිටපු ජනාධිපති ආර්යාවද මෙම අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයක් විය. උත්සවයේදී ප්‍රතිලාභී නිවාසලාභීන්ට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට අමතරව පවුල් 1,800කට ප්‍රතිලාභ අත්වන විවිධ වැසටහන් රැසක් ක්‍රියාත්මක විය. සිය නිවෙස් කපරාරු කර ගැනීම සඳහා ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුල් 656කට රුපියල් ලක්ෂ 59ක වියදමින් සිමෙන්ති ආධාර ලබාදීම, “ශිල්ප සවිය” යටතේ ඉදිකිරීම් පුහුණුව සඳහා තෝරා ගත් ප්‍රදේශවාසී තරුණ තරුණියන් 450 දෙනෙකුට රුපියල් ලක්ෂ 173ක වියදමින් වෘත්තීය පහුණු කට්ටල ලබාදීම, ප්‍රදේශයේ පෙර පාසල් 33කට රුපියල් 170,000/-ක වියදමින් ජල පෙරණ ලබාදීම, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් පුද්ගලයන් 450 දෙනෙකුට නොමිලයේ ඇස් කන්නාඩි ලබාදීම, ‘යුනි ලිවර්’ සමාගමේ ‘සෞභාග්‍යා’ ස්වයං රැකියා වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 50 දෙනෙකුට පොලී රහිත ණය මුදල් ලබාදීම ඇතුළු සේවාවන් රැසක් ඊට ඇතුළත් විය.

පසුවදා එනම් 69 වැනි නිදහස් සැමරුම දා සූරියවැව, කරුවලගස්වැවදී පැවතුණේ “ඩී.එස්. සේනානායක ගම” සඳහා මුල්ගල් තැබීමේ උත්සවයයි. නිවාස 70කින් සමන්විත මෙම ගම්මානය ලබන වසරේදී එළැඹෙන 70 වැනි නිදහස් සමරු උළෙලේදී ජනතා අයිතියට පැවරීමට නියමිතය. සජිත් මෙහිදී කීවේ, “මීට 60 වසරකට පෙර ජාතියේ පියා වන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන් මෙරට අධිරාජ්‍යවාදීන්ගෙන් මුදවාගත් පළමු නිදහස් සටන දිනා දුන්නා. තිස් වසරක යුද්ධය නිමාකරමින් අපේ වීරෝධාර රණවිරුවන් දෙවැනි නිදහස් සටන දිනා දුන්නා. දැන් අපි දුප්පත්කමින් රට මුදවා ගැනීමේ තුන් වැනි නිදහස් සටනට අවතීර්ණය වී සිටිනවා” කියාය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් පත් කළ නිවාස විෂය පිළිබඳව විද්වත් ජාතික උපදේශක සභාවේ ප්‍රථම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ ඉකුත් බදාදා පෙරවරුවේදීය. ඩබ්ලිව්.ඩී. අයිලප්පෙරුම, සුසිල් සිරිවර්ධන ඇතුළු මෙරට නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවීණ අත්දැකීම් සහිත විද්වතුන් 19 දෙනෙකුට ඊට ඇරයුම් කර තිබුණු අතර ඉන් 18 දෙනෙකුම පැමිණ සිටියහ. එහිදී නාගරිකරණය වෙමින් පවතින යුගයක ඇතිවිය යුතු නිවාසකරණය පිළිබඳ නව දැක්ම ජනාවාස නිර්මාණයේදී භූගෝලීය හා ආර්ථික ප්‍රවණතාවන් මත පදනම්ව වැඩසටහන් සම්පාදනය, විදෙස් රටවල උසස් තාක්ෂණය මෙරටට උචිත පරිදි යොදාගැනීම, යල්පැන ගිය තාක්ෂණය වෙනුවට ජනතාවද අනුමත කරන උචිත තාක්ෂණික ක්‍රමවේදයන් වෙත යොමුවීම හා ඉඩම් සම්පත සකසුරුවම් ලෙස භාවිතා කළ හැකි වන පරිදි සහාධිපත්‍ය නිවාස ක්‍රම නගරයෙන් බැහැරටද රැගෙන යාම වැනි ඉතා වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.

ආණ්ඩු පක්ෂ රැස්වීම් ගිය සඳුදා රාත්‍රියේ පැවැත් වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩු පක්ෂ රැස්වීම එජාපයේ හා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් එකට පැවැත්වූයේ මාස ගණනාවකට පසුවය. ආණ්ඩුව පිහිට වූ මුල් කාලයේ ශ්‍රීලනිපය හා එජාපය එකට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විය. එහි මුලසුන ගත්තේ ජනපති මෛත්‍රීය. එහෙත් පසුව මංගල සමරවීර ඇමතිවරයා කළැයි කියන ප්‍රකාශයකට විරෝධය පළකිරීමක් ලෙස ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම වෙනම රැස්විය. ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් වෙනම රැස්වෙද්දී එජාප මන්ත්‍රී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් වෙනම රැස්විය.


එහෙත් මේ කණ්ඩායම් දෙකම ගිය සඳුදා රාත්‍රීයේ ජනාධිපති කාර්යාලයේදී එකට රැස්වූයේ ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා එනවිට මදක් ප්‍රමාද වූ නිසා මැති ඇමතිවරුන්ට රාත්‍රී කෑමද සුදානම් කර තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සෙසු පක්ෂ නායකයෝද මේ රැස්වීමට එක්ව සිටියහ. පාර්ලිමේන්තු සතියේ විවාදයට ගැනෙන පනත් කෙටුම්පත් හා සතියේ කටයුතු ගැන  සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට තිබෙන ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථා දුන්නේය. එහිදී මැති ඇමතිවරුන් කිහිප දෙනකුම කීවේ පළාත් සභාවලින් තමන්ට සිදුවන අසාධාරණයක් ගැනය. ඒ ගැන මුලින්ම කතා කළේ රිෂාද් බදුර්දීන්ය. නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා තනි මතයට කටයුතු කරන බවට රිෂාද් බදුර්දීන් චෝදනා කළේය. ඔහු වක්‍රව චෝදනා කළේ රවුෆ් හකීම්ටය. නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයා ගැන අනෝමා ගමගේ නියෝජ්‍ය ඇමැතිවරිය ද චෝදනා කළාය. ඌව පළාත් සභාව ගැනද මැති ඇමතිවරුන් කතා කරන්නට වූහ. ෆයිසර් මුස්තාපා කීවේ බදුල්ලේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඌව මහ ඇමැතිට විරුද්ධව හැමදාම ප්‍රශ්න අහනවා. මට උත්තර දෙන්න පුළුවන් නමුත්, පක්ෂ දෙක අතර ප්‍රශ්න ඇතිවෙන නිසා මම උත්තර දෙන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳන්න පක්ෂවල නායක මට්ටමින් මැදිහත් වෙන්න ඕන කියා රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයා ඌව මහ අමැතිට එරෙහිව චෝදනා කළේය. මේ වාද විවාද ඇහෙද්දී ජනාධිපතිවරයා කීවේ ඔයාලට ඔය ගැටලු අතිවෙලා තියෙන්නේ  ව්‍යවස්ථාව වෙනස් කරලා නෙමෙයි. ව්‍යවස්ථාව වෙනස් කළාම පළාත් සාභාවලට බලය වැඩිපුර යනවා. එතකොට සමගාමී ලැයිස්තුවත් වෙනස් වෙනවා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැදිහත් වෙන්න වෙන්නේ ජාතික මට්ටමේ ඒවට. එතකොට ඔය ප්‍රශ්න වැඩි වෙනවා. පාර්ලිමේන්තුවයි පළාත් සභාවයි දෙකම එක පක්ෂයකින් පත්වුණත්, ඔය ප්‍රශ්න එනවා. දැනට මම මේ ප්‍රශ්න අගමැතිතුමාත් එක්ක විසඳන්නම් කියාය. හැබැයි සදාකාලිකව මේ ප්‍රශ්න විසඳන්න බැහැ.” යැයි ජනාධිපතිවරයා කීවේය.


මීතොටමුල්ලේ කුණු ජාඇලට ගෙනයාමට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය ඇමතිවරිය සහ අජිත් මාන්නපේරුම මන්ත්‍රීවරයා විරෝධය පළකරමින් කතා කළහ. ජනාධිපතිවරයා කීවේ කුණු කොතනට ගෙනිච්චත් විරුද්ධ වෙනවා කියාය. ඒත් දැන් කුණු ගෙනියන්නේ වර්ගීකරනය කරලා යැයි ජනාධිපතිවරයා කීවේය. අජිත් මාන්නප්පෙරුම නැවත අදහස් දක්වන්නට නැගිටිද්දී අගමැතිවරයා ඔහුට වාඩි වෙන්නැයි කීවේය. අගමැතිවරයා කීවේ මම ඒ ගැන පැහැදිලි කරන්නම් කියාය.


ඉන්පසුව සාකච්ඡාවට ලක්වූයේ සමෘද්ධිය ගැනය. එජාප මන්ත්‍රීවරයන් කිහිප දෙනකුම කියා සිටියේ ගම්වල සමෘද්ධි නිලධාරීන් වැඩි දෙනකු දේශපාලනය කරන බවය. ඔවුන් සමෘද්ධිය දීමේදී එජාප පාක්ෂිකයන්ට අසාධාරණකම් කරන බවට ද එජාප මන්ත්‍රීවරු චෝදනා කළහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මේ නිලධාරීන් මාරුකර යැවිය යුතු බවය. එහෙත් ජනාධිපතිවරයා සමෘද්ධි නියාමකවරුන්ගේ ප්‍රශ්නය ගැන කිසිවක් කියන්නට ගියේ නැත. ආණ්ඩු පක්ෂ රැස්වීම හමාර වන විට රෑ 10.00ද පසුවී තිබිණි.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා උදේ වරුවේ පැවැත්වූයේ ජනාධිපති කාර්යාලයේය. මෙවර කැබිනට් රැස්වීමේදී හාල් ප්‍රශ්නය ද ඇදිණි. හාල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් රිෂාද් බදුර්දීන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. මහින්ද අමරවීර කීවේ ඔය මොනවා කළත් හාල් මිල අඩුකර ගන්න බැරිවුණා කියාය. ජනාධිපතිවරයාද ඒ ගැන අදහසක් දැකවිය. හාල් මිල අඩු කරලා දෙන්න ඕන. තියෙන ඒවා ඔක්කොම දාලා මිල අඩු කරන්න. එතකොට හංගගෙන ඉන්න අයටත් ඒක පාඩමක් වේවි. නැතිව කරන්න බැහැ. මගේ මල්ලිත් හාල් බිස්නස් කරනවා හැබැයි මම හාල් කිලෝ එකක්වත් අරගෙන නැහැ, යැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා කීවේ මේ වෙලාවේ ජනතාව ගැන හිතලා හාල් මිල වහාම අඩුකරන්න හැම පියවරක්ම ගන්න කියාය.


රවී කරුණානයක ඇමතිවරයා මෙවරද ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා 2ක් ඉදිරිපත් කර තිබිණි. එකක් අලුත් බදු පනතක් පිළිබඳ යෝජනාවකි.  බදු ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ එම යෝජනාවට දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, මහින්ද අමරවීර ඇතුළු ඇමතිවරු කීපදෙනෙක් විරෝධය පළ කළහ. අවසානයේ එය සාකච්ඡා කිරීම පසුවට කල් දැමීය.


රවීගේ ඊළඟ යෝජනාව වූයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත්වලට දෙන රජයේ ඇපකරය ඉවත් කිරීමට පනත සංශෝධනය කිරීමය. දයාසිරි ජයසේකර, චම්පික රණවක, සරත් අමුණුගම, ෆයිසර් මුස්තාපා, අනුර යාපා ඇතුළු ඇමතිවරු කිහිප දෙනෙක් ඊට එරෙහිව අදහස් දැක්වූහ. ‘ඔය බැංකුවේ තියෙන්නේ මිනිස්සු ඉතිරි කරන සල්ලි. තැපැල් කන්තෝරුවෙන් පාසල්වලින් එකතු කරලා එවන සල්ලි තියෙන්නේ. දයාසිරි කීවේය. අමුණුගම කීවේ මේ වැඬේ කළොත් බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය නැතිවේවි කියාය. ජනාධිපතිවරයා ද රාජ්‍ය ඇපකරය ඉවත් කිරීමේ යෝජනවාට විරුද්ධ විය. අවසානයේ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට නොගෙන පැත්තකට තබන්නට තීරණය විය.


මෙවර කැබිනට් හමුව ගිනියම් කළ තවත් සිද්ධියක් වූයේ රවුෆ් හකීම් හා රිෂාද් බදුර්දීන් අතර පැවැති වාදයයි. උතුරේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතුවලට විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර තිබුණේ ජනපති මෛත්‍රීය. ස්වාමිනාදන්, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා සහ රිෂාද් බදුර්දීන් එහි සම සභාපතිවරුන්ය. රවුෆ් හකීම් කීවේ තමාට එම කාර්ය සාධක බලකායට ඇතුළත්වීමට අවශ්‍ය බවය. රිෂාද් බදුර්දීන්, හකීම්ගේ ඉල්ලීමට දැඩි විරෝධයක් පළ කළේය. හකීම් කීවේ රිෂාද් මුස්ලිම් කොංග්‍රසයේ අයට සලකන්නේ නැති බවය. රිෂාද් කීවේ හකීම් ජල මණ්ඩලයේ සල්ලිවලින් පක්ෂය ගොඩනගන බවය. ඔය මහනුවරින් ජන්දය දිනලා ආපු කෙනා ඔයා මොකටද උතුරට එන්නේ යැයි රිෂාද් හකීම්ට චෝදනා කළේය. පුද්ගලික බැණ අඬගසා ගැනීම් මැද දෙදෙනා අතර වාදය ඇවිලී ගියේය. අවසානයේ ජනාධිපතිවරයාට ද ඊට මැදිහත්වීමට සිද්ධ විය. මීට පස්සේ කාර්ය සාධක බලකාය රැස්වෙන්නේ මගේ ප්‍රධානත්වයෙන් යැයි ජනාධිපතිවරයා කීවේය.

ගුවන් විදුලි සංස්ථාව සතුව ජාඇල ඇති ඉඩමක ගුවන් විදුලි සංස්ථාව හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශය එක්ව නවීන පහසුකම්වලින් සමන්විත මාධ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එය ඉදිරිපත් කර තිබුණේ ඇමති චම්පික රණවකය. ඊට අනුමැතිය ලැබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් සතියේ සිකුරාදා රාත්‍රියේ පැවැත්වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිලනිවසේ පැවැති මේ සාකච්ඡාවට එජාපය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, තලතා අතුකෝරාල හා අකිල විරාජ් කාරියවසම් යන ඇමතිවරුන් සහභාගී වූ අතර ශ්‍රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාල, එස්.බී දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ හා ලසන්ත අලගියවන්න යන ඇමැතිවරු ද සහභාගී වූහ. ආණ්ඩුව තුළ පැන නැගී ඇති ගැටලු හා ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී තිබිණි. පැයකට අධික කාලයක් සාකච්ඡාව පැවැති නමුත් සාකච්ඡා වූ කරුණු කාරණා පිටතට නොදීමට දෙපාර්ශවයම එකඟවී තිබිණි. ආණ්ඩුව තුළත් විවිධ අමාත්‍යාංශ තුළත් ඇති ප්‍රශ්න මෙන්ම ආණ්ඩුව රට ගොඩ නැගීම සඳහා කරගෙන යන වැඩ පිළිවෙළට ජනමාධ්‍ය මගින් සාධාරණය ඉටු නොවීම ඇතුළු කරුණු රැසක් ගැන එහිදී අවධානය කෙරිණ. මෙහිදී ශ්‍රීලනිපය බොහෝ දේ කතා කළ ද අගමැති හා එජාප පිරිස ඊට සවන්දීගෙන සිටීම කැපී පෙනෙන සිදුවීම බව එජාප මතයයි.  දුර්වල ඇමතිවරු හා අකාර්යක්ෂම අමාත්‍යාංශ ගැන ද ඒවා නිවැරදි කිරීම ගැනද අවධානය යොමු කෙරිණ.


“ජනපති හා අගමැති කියන දේ කරන බව කියන ඇතැම් ඇමැතිවරු හදිසි තනි තීරණවලට යාම සිදුවෙනවා. ඒ තුළ නොයෙක් ප්‍රශ්න එනවා. එවැනි සුළු අඩුපාඩු නිවැරදි කර ගන්න ඕනෑ.” ජනපති අගමැති මෙන්ම දෙපාර්ශ්වයේම නියෝජිතයන්ගේ මතය එය විය.
ඇමති සංශෝධනයක් ගැන එහිදී දැඩි ලෙස අවධානය යොමු නොවූවද සම්මුතිවාදී ආණ්ඩුව තැනූ පසු තීරණාත්මක වෙලාවක දී එක් ඇමති සංශෝධන ක්‍රියාවලියක් සිදුකළ යුතු බවට ආණ්ඩුව පිහිටවීමේ දී ජනපති හා අගමැති අතර ඇති කරගත් එකඟතාවය ගැනද කතාබහ විය. පක්ෂ දෙක අතර ඇමතිකම් බෙදීයාමේ දී ඇති කරගත් එකඟතාව නොකඩා අවශ්‍යම වෙලාවක ඇමති සංශෝධනයක් සිදුකිරීම ගැන එහිදී සුළු අවධානයක් යොමු විය.

මේ වනවිට ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඇමැතිවරුන් දෙතුන් දෙනකුගේ විෂයයන් නුදුරේදී සංශෝධනය වීමට නියමිත බවය. ඉකුත් කාලයේ එජාප පසුපෙළ මන්ත්‍රීන් දසදෙනකු ජනපති හමුව කළ සාකච්ඡාවේදීත් පවසා තිබුණේ ආණ්ඩුවට හානිකර කටයුතු කරන ඇමැතිවරුන් කිහිපදෙනකු පිළිබඳවය. විශේෂයෙන් දෙදෙනකුගේ කටයුතු නිසා තමන්ද අපහසුතාවට පත්ව ඇතැයි ඔවුන් කියා ඇතත් ජනපතිගේ යහපත් ප්‍රතිචාරයක් පලව තිබුණේ නැත. එහෙත් මේ වනවිට දැනගන්නට ඇත්තේ මාර්තු මාසය තුළදී ඇමැතිවරුන් දෙදෙනකුගේ විෂයයන් මාරු කිරීමට තීන්දුවී ඇති බවය.

කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති ජාතික නිදහස් දින උළෙල සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පසුවදා උදේ පොලොන්නරුවට ගියේය. පොලොන්නරුවේ ලක්ෂ උයනේ පිහිටි ජනාධිපතිවරයා කුඩා කල සිට හැදුණු වැඩුණු නිවසට ද ජනාධිපතිවරයා මේ ගමනේ දී ගොඩවිය. ජනාධිපතිවරයා ලක්ෂ උයන නිවස බලන්නට ගියේ ඊට තරමක් ඈතින් පිහිටි සිය හිතවතකුගේ මළ ගෙදරකට ද ගොස් එන අතරවාරයේය. ජනාධිපතිවරයා ලක්ෂ උයන නිවසට ගියේ අතුරලියේ රතන හිමියන් ද සමඟය. ලක්ෂ උයන නිවස අවට පදිංචි සියලු දෙනාම පාහේ ජනාධිපතිවරයා කුඩා කල සිටම දන්නා කියනා අයයි. ජනාධිපති මෛත්‍රීගේ පැමිණීම සැළවූ වහාම අවට නිවෙස්වල පදිංචි බාල, මහලු වැඩිහිටි සියලු දෙනාම පාහේ ලක්ෂ උයනට ආවේ මෛත්‍රී දැක කතාබහ කිරීමේ අපේකෂාව ඇතිවය. මෛත්‍රී ද ඔවුන් සමඟ කතාබහ කළේ හැසිරුනේ ජනාධිපතිවරයා ලෙස නොව සාමාන්‍ය ගැමියකු ලෙස කුලුපගවය. ඇතැම් වැඩිහිටි අයගේ කරට අතක්ද දමාගෙන ජනාධිපතිවරයා ඔවුන් සමඟ කතාබහ කළේ අතීත සිදුවීම් ද සිහිපත් කරමිනි. සිය නිවසට ගිය ජනාධිපතිවරයා රතන හිමියන් ඇතුළු පිරිසට කීවේ අපි පවුලේ 12 දෙනාම එකට හිටියේ මේ ගෙදර කියාය. අතීතයේ කල දවස ගෙවුණු හැටි කළ කී දෑ ගැනත් ජනාධිපතිවරයා සිහිපත් කළේ ඉහත් සැහැල්ලුවෙනි. එකල වතුර ගත් ළිඳ ළඟට ගිය ජනාධිපතිවරයා තම පියා ළිඳට වැටී සිදුවූ අකාරතැබ්බයක්ද සිහිපත් කළේය.


සිය නිවසේ ඇවිදිමින් අතීත තොරතුරු සිහිපත් කළ මෛත්‍රී අනතුරුව ඒ අසල පිහිටි සිල්ලර බඩු කඬේකට ද ගොඩවිය. බඩු මිල ගණන්ද විමසමින් වෙළෙඳසලේ අය සමඟ බොහෝ වෙලාවක් ගතකළ ජනාධිපතිවරයා පයින් ඇවිදගෙනම ලක්ෂ උයන දුම්රිය ස්ථානයට ආවේය. ඒ වනවිට මගීන් කිහිප දෙනකුම එහි සිටිය අතර ජනාධිපති මෛත්‍රීගේ හදිසි පැමිණීම ගැන ඔවුහුද කලබලයට පත්වූහ. එහි තිබූ බංකුවක ද ඉඳගෙන මගීන් සමඟ කතාබස් කළ මෛත්‍රී දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාමරයට ද ගොස් මද වේලාවක් ගත කළේය. අනතුරුව පිරිසට සමුදී හෙළිකොප්ටරයෙන් කොළඹ බලා පිටත්ව ආවේ ගමේ එදා ගෙවූ ජීවිතයේ සුවඳත් හදවතේ පුරවාගෙනය.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඉකුත් සති අන්තයේ කුවේට් බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුවේට් ශාඛාව පිහිටුවීමේ රැස්වීමට සහභාගී වීමටය. ප්‍රසන්න සමඟ සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරු දෙදෙනා ද වූහ. රැස්වීම තිබුණේ දෙවැනිදාය. මේ පිරිසට පිටත්වන්නට නියමිතව තිබුණේ 2 වැනිදා රාත්‍රියේය. කුවේට් යන්නට කටුනායක ගුවන් තොටුපළට ගිය ප්‍රසන්න අලි අමාරුවක වැටුණේය. ප්‍රසන්නට කුවේට් වීසා සටහන්ව තිබුණේ ඔහුගේ පැරැණි විදේශ ගමන් බලපත්‍රයේය. එහෙත් ඔහු රැගෙන විත් තිබුණේ අලුත් ගමන් බලපත්‍රයයි. සනත් නිශාන්තට හා ඉන්දික අනුරුද්ධට කුවේට් බලා පිටත්ව යන්නැයි කී ප්‍රසන්න තමන් මෙය නිවැරදි කරගෙන එන බව දැන්වීය. ඒ අනුව, සිය නිලධාරියකු නිවසට යවා ගමන් බලපත්‍රය ගෙන්වා ගත් ප්‍රසන්න 3 වැනිදා අලුයම කුවේට් බලා පිටත්ව ගියේය. ප්‍රසන්න කුවේට් ගුවන් තොටුපලට යනවිටත් සනත් නිශාන්ත  හා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරු දෙදෙනා ගුවන් තොටුපළේ රැඳී සිටියහ. කලින් දවසේ යන්නට නොහැකි වූ නිසා ප්‍රසන්නට සිදුවූයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ ගුවන් තොටුපලේ සිට උත්සවය පැවැති හොලිඬේ ඉන් හෝටලය වෙත කෙළින්ම යන්නටය.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගිය සති අන්තය ගත කළේ කුරුණෑගලය. කුරුණෑගල පැවැති උත්සව කිහිපයකට ද සහභාගී වූ මහින්ද එදින රාත්‍රියේ නවාතැන් ගත්තේ පුත්තලමේ හෝටලයකය. ශිරන්ති රාජපක්ෂ මහත්මියත් නාමල්, යෝෂිත හා රෝහිත යන පුතුන් තිදෙනාත් සමඟ මහින්ද පුත්තලමේ නතරවන්නට ගියේ සනත් නිශාන්තගේ ඉල්ලීමකට අනුවය. පසුවද උදේ පුත්තලමේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන් හමුවීමට අවශ්‍ය බව මහින්ද කියා සිටියේය. සනත් නිශාන්ත ඔවුන්ට ඇමතුම් දී හෝටලයට ගෙන්වා ගත්තේය. මහින්ද ඉදිරි දේශපාලන කටයුතු ආදිය ගැන ඔවුන් සමඟ කතාබහ කළේය. මේ අතර, ආණ්ඩුවේ සිට නියෝජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්වූ ප්‍රියංකර ජයරත්න ද මහින්ද හමුවීමට පැමිණ සිටියේය. මහින්ද ඔහුට යෝජනා කළේ අපිත් එක්ක එකතු වෙලා බැහැලා වැඩකරමු කියාය. හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන නියෝමාල් පෙරේරාත්, හිටපු ඇමැති දයාශ්‍රීත  තිසේරාත් මහින්ද හමුවන්නට පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය හා හෙළ උරුමයත් ගිය සතියේ එකම වේදිකාවකට ගොඩ විය. ඒ මාලඹේ සයිටම් වෛද විද්‍යාලයට එරෙහිව නුගේගොඩ නගරයේ පැවැති රැළියේ වේදිකාවටය. ඒකාබද්ධ විපක්ෂයෙන් දිනේෂ්, වාසු, තිස්ස විතාරන, ගජධීර පැමිණ සිටි අතර ජවිපෙන් වසන්ත සමරසිංහ හා ලාල්කාන්ත පැමිණ සිටියහ. පෙරටුගාමී පක්ෂයෙන් දුමින්ද නාගමුව, ජතික හෙළ උරුමයේ අනුරුද්ධ ප්‍රදිප් මෙන්ම යහපාලන ආණ්ඩු වේදිකාවේ සිටි නිර්මාල් රංජිත් දේවසිරි ද මේ රැළියට පැමිණියහ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නඩු තීන්දුවක් ලබාදීමෙන් අනතුරුව එම ආයතනයට තිබූ විරෝධය තව තවත් උත්සන්න වීමට පටන් ගත්තේය.


ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව පසුගිය හයවෙනිදා ජවිපෙ නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී වෛද්‍ය සංගමයේ නියෝජිතයින් හමුවූහ. මීට පෙර වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තම සංගමය මැදිහත්වූ බවද ඇතැම් අවස්ථාවලදී නඩුවලට පවා පෙනී සිටි බවද වෛද්‍ය සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. “අභියාචනාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරන්න පෙත්සමක් ගොනු කළ යුතුව තිබෙනවා. අපිට දැන ගන්න තියෙන විදියට බොහෝ නීතිඥයින්ට සයිටම් ආයතනයෙන් මුදල් ලැබිලා තියෙනවා මේ නඩුවට පෙනී ඉන්න එපා කියලා” වෛද්‍ය සංගමයේ නියෝජිතයෙක් කියා සිටියේය. කෙසේ වෙතත් දෙපාර්ශ්වයම ඒකාබද්ධව කරන අරගලයක් සඳහා ඉදිරියේදී සාකච්ඡා කිරීමට එකඟව එදින සාකච්ඡාව අවසන් විය.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක්ද පසුගිය 7 වෙනිදා ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක හමුවී සයිටම් ආයතනය සම්බන්ධයෙන් විරෝධතා ක්‍රියාමාර්ගවලට එක්වන බව දන්වා සිටියහ. “ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු 1600ක් පමණ ඉන්නවා. එයින් 1100ක් පමණ අපේ සංගමය නියෝජනය කරනවා. ඇත්තටම අපි ඉතාම කම්පනයට පත්වුණා මේ තීන්දුව නිසා. වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන තීරණය කරන වෛද්‍ය සභාවේ මතය ආණ්ඩුව පිළිගන්නේ නැත්නම් අපේ රටේ තත්ත්වය මොකක්ද? විශේෂඥ වෛද්‍යවරයෙක් කියා සිටියේය. “වෙන රටකට ගියාම අපේ රට ගැන ආඩම්බරයෙන් කියන්න පුළුවන් අධ්‍යාපනයයි, සෞඛ්‍යයයි ගැන විතරයි. දැන් ඒකත් නැතිවෙන්නයි යන්නේ” තවත් විශේෂඥ වෛ්‍යවරයෙක් කියා සිටියේය.

“මිනිස්සුන්ගේ ජීවිතවල වගකීම පැවරිලා තියෙන්නේ ඔබතුමාලට. ඒ නිසා වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය ගැන අරගලයක් කරන්න ඔබතුමාලා පෙනී ඉන්න ඕනෑ. අපි සතුටු වෙනවා ඔබතුමාලා අපිත් එක්ක මේ ගැන සාකච්ඡා කරන එකටයි එක සටනකට එකතු වෙන එකටයි.” බිමල් රත්නායක කීවේය.

මේ අතර පසුගිය අටවැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හමුවිය. මේ අවස්ථාවට අ.වි.ශි.බ.ම. වැඩබලන කැඳවුම්කරු හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් විසි දෙනෙකුට වැඩි පිරිසක් සහභාගිවූ අතර ජවිපෙ නියෝජනය කරමින් අනුර දිසානායක, විජිත හේරත්, ලාල් කාන්ත සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය යන අය සහභාගි වූහ. මෙම සාකච්ඡාවේදී ශිෂ්‍ය සංගම් තමන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් දැනුවත් කළ අතර එම අරගලයට සහාය දක්වන ලෙසද ඉල්ලා සිටියහ. ‘අපි ශිෂ්‍ය සංගම් ලෙස සටනක් ගෙන ගියා. නමුත් මේ සටන තවදුරටත් අපේ සටනක් විතරක් නෙවෙයි. මුළු රටේ ජනතාවගේම ප්‍රශ්නයක්. ඒ නිසා අපිට ඔබතුමාලාගේ වෘත්තීය සමිතිවල සහාය අවශ්‍යයි” ශිෂ්‍ය සංගම් නායකයෝ ඉල්ලා සිටියහ. “අපි මුල සිටම නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් අරගල කරපු පක්ෂයක්. අපිට තිබෙන්නේ සයිටම් විරෝධී සටනක් පමණක් නෙවෙයි. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වෙලා තියෙන අධ්‍යාපන පෞද්ගලීකරණය මුළුමනින්ම පරාජයට පත් කරන්න ඕනෑ” අනුර දිසානායක අවධාරණය කළේය. තම පක්ෂය මුල සිටම සයිටම් විරෝධී අරගලය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් නියෝජනය කළ බවත් ඉදිරියේ සියලුම ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති සමග ඒකාබද්ධ අරගලයකට සූදානම් බවත් ජවිපෙ, ශිෂ්‍ය සංගම් නායකයින්ට දැනුම් දුන්නේය.

ලංකා ඛනිජ වැලි සමාගමේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ අශෝක පීරිස්ය. පසුගිය දිනවල එම සමාගම පුද්ගලික අංශයට විකුණා දැමීමට යන බවටද ප්‍රවෘත්ති වාර්තා පළවිය. ලංකා  ඛනිජ වැලි සමාගම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනයක් සඳහා නිසි බලධාරි අශෝක පීරිස් කැඳවා තිබිණි. එහිදී කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඛනිජ වැලි සමාගමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් කැණීම් බලපත්‍රයක් දීම ප්‍රතික්ෂේප කොට ඇති බවය. නමුත් පුද්ගලික ආයතනය<