ඇමැති රැස්වීමේ හැල හැප්පිලි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය බ්‍රහස්පතින්දා නිකවැරටියේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය දේශපාලන කරළිය ගිනියම් කළ මාතෘකාවක් බවට පත්විය. ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට මඟ පෑදුවේ ඊට කලින් දිනයේ අනුනායක හිමිනමක් කළ අනුශාසනාවකි. උන්වහන්සේ එම ප්‍රකාශය කර තිබුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය වෙනුවෙන් කලින් දිනයේ ඔහුගේ නිවසේ පැවැති දානමය පින්කමේදී අනුශාසනාවක් කරමිනි. මේ රටට හිට්ලර් වැනි පාලනයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණේ රටේ පාලනයක් නොමැති බව සඳහන් කරමිනි.  


ජනාධිපතිවරයා එම ප්‍රකාශයට උත්තර දුන්නේ නිකවැරටිය, කොටවෙහෙර වෙහෙරපුර උදාගම්මානය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ හා ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරාධනයෙන් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. එය සජිත්ගේ උදාගම්මාන ව්‍යාපෘතියේ 81 වන උදා ගම්මානය විය. 2015 ජනවාරි අටවැනි දා රටේ ජනතාව පාලනයේ වෙනසකට දායක වුණේ රට තුළ මතුවෙමින් තිබූ ඒකාධිපති පාලනයක ස්වරූපයට එරෙහිව යමින් බව කී ජනාධිපතිවරයා එම අත්දැකීම් අමතක වී ගිය උදවිය නැවත ඒකාධිපති පාලනයක් රටට ඉල්ලා සිටින බව කීවේය. එහෙත් එවැන්නකට යළි ඉඩ නොතබන බව කී ජනාධිපතිවරයා සඳහන් කළේ, භික්ෂූන් වහන්සේලා මෙවැනි දේශනා කිරීම ගැන කණගාටු වන බවය. ඒකාධිපති පාලනයකට ගිය ගමන වෙනස් කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සියයට 200කින් තහවුරු කර ඇතැයි කී ජනාධිපතිවරයා බොහෝ දෙනකුට අතීතය අමතක වී ඇතැයිද කියා සිටියේය.  


ජනාධිපතිවරයා ගිය වසරේ නොවැම්බර් මාසයේදී ද මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකවැරටියේදී කළේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙනි. බැඳුම්කර කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් එජාපයේ සමහර පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ඉලක්ක කර නොයෙකුත් ප්‍රකාශ කරද්දී ජනාධිපතිවරයා කීවේ බැඳුම්කරයෙන් ගාගත් කුණු ලොන්ඩරි හතක දැමුවද පිරිසිදු කළ නොහැකි බවය. සමහරුන් කොළේ ඉරාගෙන, ඇඟේ හලාගෙන සිටින බවද ජනාධිපතිවරයා එදින කීවේ නිකවැරටියේදීමය.  


වෙහෙරපුර උදාගම්මානයේ ගෙවල් කිහිපයකට ද ගිය ජනාධිපතිවරයා එහි ගෙවතු වගා දෙස බලා කීවේ මේ විදියට රටේ හැම තැනම වවනවනම්, කොච්චර හොඳ දෙයක් ද කියාය. සජිත්ගේ උදාගම්මාන වැඩපිළිවෙළ අගය කළ ජනාධිපතිවරයා කීවේ ඔහුට අවශ්‍ය තරම් පහසුකම් ද ලබාදෙන බවය.  


ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙළද ගම සංවර්ධනය සඳහා අලුතින් ඇරඹූ ව්‍යාපෘතියකි. ගිය සති අන්තයේ ජනාධිපතිවරයා පුත්තලම ප්‍රදේශයේ සංචාරය කළේ ද ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ ගමට ගෙනයමිනි.  
සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, කරුණු කීපයක් නිසා කැබිනඩ් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි. කෙරවලපිටිය ස්වාභාවික වායු තාප බලාගාරය ඉදිකිරීම එදින සමාගමකට දීමේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා විසිනි. ඔහු එය ඉදිරිපත් කරමින් කීවේ මෙය පටන් ගත්ත දවසේ ඉඳල විවිධ බාධා ඇති වුණා. ඒ නිසා මෙය ඉදිකිරීම් වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වුණා කියාය. අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට දීමට තාක්ෂණික ඇගයීම් කමිටුවත් ප්‍රසම්පාදන කමිටුවත් තීරණය කර ඇති බව කී සියඹලාපිටිය ඇමැතිවරයා මෙය කඩිනමින් ඉදිකළ යුතුව ඇති බව කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි. සියඹලාපිටියගේ අදහසට විරුද්ධව චම්පික රණවක ඇමැතිවරයා අදහස් දැක්වූවේ සියඹලාපිටියගේ යෝජනාව ගැන කැබිනට් සටහනක් ද ඉදිරිපත් කරමිනි. මෙම බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව අඩු ලංසුව ඉදිරිපත් කළ ලක්දනවි සමාගමට නොදී වැඩි ලංසුව ඉදිරිපත් කළ චීන සමාගමට දීම වැරදි බව චම්පික කීවේ එමගින් සිදුවන පාඩුව ගැන ද ගණන් හිලව් ඉදිරිපත් කරමිනි.  


මේ බලාගාරයේ ඉදිකිරීම අවුරුදු එකහමාරක් තිස්සේ ප්‍රමාද කළා. ඒකෙන් විශාල පාඩුවක් සිදුවෙලා. මේ බලාගාරය අද හැදුවත්, 2021 වනවිට හදිසි මිලදී ගැනීම් යටතේ විදුලිය ගන්න රුපියල් බිලියන 100ක් වැය වෙනවා. වසරකට පාඩුව බිලියන 35ක් යැයි චම්පික කීවේය. මහින්ද සමරසිංහ හා කබීර් හෂීම් සියඹලාපිටියගේ සහායට සිටියහ. ඔවුන් දෙදෙනා ද කීවේ චීන සමාගමට මෙය ලබාදීම ගැටලුවක් නැති බවය. අනතුරුව මේ ගැන කතා කළේ සාගල රත්නායක ඇමැතිවරයාය. ඔහු කීවේ චම්පිකගේ අදහස නිවැරදි බවය. තමා විදුලිබල නියෝජ්‍ය ඇමැතිව සිටියදී ද මේ සමාගම පිළිබඳ අවබෝධයක් තිබූ බවය. බලාගාරය ඉදිකිරීම ප්‍රමාද නොකර සිදුවිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. ජනාධිපතිවරයා කීවේ චීන සමාගමට දීමට ප්‍රසම්පාදන කමිටුව ගෙන ඇති තීරණය නැවත සලකා බැලීම ප්‍රසම්පාදන අභියාචනා කමිටුවට යොමු කරන ලෙසය. ඒ අනුව ටෙන්ඩරය ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය නොලැබිණි.  


පෞද්ගලික රෝහල් වැට් බද්දෙන් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. මංගල සමරවීර ඇමැතිවරයා කීවේ රාජිත මෙම ඉල්ලීම දිගින් දිගටම කළ බවය.  


පෞද්ගලික රෝහල් වැට් බද්දෙන් නිදහස් කිරීම ගැන මංගලට ස්තුතිය පළ කළ රාජිත තමා මීට පෙර සිටි මුදල් ඇමැතිවරයාට ද මෙය කී නමුත් ඔහු වැට් ඉවත් නොකළ බව කීවේය. ඒ අතරම මංගල හා රාජිත අතර වාදයක් ද ඇති විය. ‘‘සෞඛ්‍යයේ අත්‍යවශ්‍ය මිලදී ගැනීම් ප්‍රසම්පාදන කමිටු හරහාම කිරීමෙන් ප්‍රමාදයක් ඇතිවන බව රාජිත කීවේය. මංගල කීවේ ප්‍රසම්පාදන කමිටුවේ තීරණවලින් පරිබාහිරව මිලදී ගැනීම්වලට ඉඩදිය නොහැකි බවය. ඒත් සමහර ඒවා කරද්දී අනවශ්‍ය ප්‍රමාදවීම් ඇති වෙනවා. රාජිත කියද්දී මංගල කීවේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයෙන් තොරව කිසිදු මිලදී ගැනීමකට ඉඩදිය නොහැකි බවය. ඒ කියන්නෙ ලෙඩා මළත් බඩ සුද්දයි කියන එකදැයි රාජිත කීවේය.