ආර්ථිකය ගොඩගත් හැටි අගමැති කියයි


 

අගමැතිවරයා ඉකුත් සතියේ ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ වාර්ෂික රැස්වීමට එක්වී රටේ ආර්ථිකය හා එහි ගමන්මග ගැන විශේෂ හෙළිදරව්ව කළ අතර එහි දී ඊට පැමිණ සිටි බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ ද නළල රැලි ගැන්විණ.   
‘‘ලංකාවේ ණය බර ගැන අප කතා කරනවා. ඒත් කලාපයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කර නැහැ. මා මේ ගැන අධ්‍යයනය කළා. කලාපයේ වැඩිම ණය බර අැති රට ශ්‍රී ලංකාවයි.   


ඉදිරි කෙටි කාලය තුළ අපට රුපියල් කෝටි ලක්ෂ 03ක් ගෙවන්න තිබෙනවා. ආණ්ඩුව භාර ගන්නා විට භාණ්ඩාගාරය හිස්. ණය ගෙවීමට රටේ ආදායම මදි වෙලා තිබුණේ. ඒත් දැන් ආර්ථිකය හොඳ තැනකට ගේන්න සමත් වූවා.   


පසුගිය රජය යටතේ සේවා ආර්ථිකය විතරයි. යන්තමින් ඔළුව උස්සලා තිබුණේ. නිෂ්‍පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටී තිබූ නිසා අපනයන වැටුණා. ඒ නිසා රටට එන ආදායමත් බින්දුවට වැටිලා තිබුණේ.   
එහෙම රටක් අප ගොඩගත්තා. ආර්ථික හා වාර්ගික ගැටලු ඉතිරි නොකර රටත්, ජනතාවත් ගොඩ ගන්නවා’’ අගමැතිවරයා එහි දී කී දේ සියලු දෙනාගේ දැඩි ප්‍රශංසාවට ලක් විය.   


අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේම අරලියගහ මැදුරට ගියේ හත්වැනි ලෝක බෞද්ධ සමුළුව අරලියගහ මැදුරේදී ඇරැඹීම නිමිත්තෙනි. ජනාධිපතිවරයා ද ඊට එක් වූ අතර රටවල් 42ක හිමිවරු හා බෞද්ධ නියෝජිතයෝ 2000ක් ඊට එක් වූහ.   


ඊශ්‍රායලය බලා යමින් සිටි ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පැය 3ක කෙටි නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.   


ඇමැති සාගල රත්නායක ඔහු පිළිගෙන අරලියගහ මැදුරට කැඳවාගෙන පැමිණි අතර අගමැතිවරුන් දෙදෙනා උදේ ආහාර ගත්තේ ද එකටය. අනතුරුව දෙරට අතර වෙළඳ ගිවිසුම් අත්සන් කළ අතර ඇමැති මලික් සමරවික්‍රම ද ඒ අවස්ථාවට එක්විය.   


අනතුරුව ජනපති නිල නිවසට ගොස් නිල සාකච්ඡා කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැතිවරයා යළිත් ගුවන් ගතවීමට පිටත්විය.   


බොදු සමුළුවට එක්වීමට හා අගමැතිවරයා හමුවීමට පැමිණි මැති-ඇමැතිවරුන් අගමැතිවරයා හමු වූයේ අනතුරුවය.   
පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාව කර යෝජිත නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුව දුන් විවාදය නැගලා ගියා. අන්තිමට තවත්​ වේලාව ඉල්ලුවේ ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරපු අයමයි. අද හා සඳුදා දෙකත් අප දුන්නේ හංගන්න දෙයක් නැති නිසයි, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.   


සමහර අපේ හාමුදුරුවරුන් නොමඟ යවන්න විපක්ෂයේ අය උත්සාහ කළා. අන්තිමට නව ව්‍යවස්ථාව එපා කියා සමහර හාමුදුරුවරුන් කියපු දේ එකම පක්ෂයක්වත් ඇහුවෙ නැහැ. හැමෝම තමන්ගේ අදහස් එළිපිට පළ කරමින් විවාදයට එක් වුණා පී. හැරිසන් කීවේ එවැන්නකි.   


සුසිල් ප්‍රේමජයන්ත කීවේ නව ව්‍යවස්ථාව නොවේ, බඩගින්න නිවන්න ඕනෑ කියලයි. ශ්‍රීලනිප අයම ඔහුගේ මතයට විරුද්ධව කතා කළා. අනික බඩගින්නේ මැරෙන මිනිස්සු ලංකාවෙ නැති බව ඔහු නොදැන සිටීම පුදුමයි රන්ජන් රාමනායක කීවේය.   


‘‘අගමැතිතුමා මගේ සංවිධායකකම ඉවත් කළේ ඇයිදැයි මිනිස්සු අහන දේට මා දෙන උත්තරේ මොකක්ද’’ රන්ජන් ඇසුවේ අගමැතිගෙනි.   


‘‘ඔයාට ආසනයක් නොවෙයි ගම්පහ දිස්ත්‍රික්කයම භාරදුන්නා. අනික ඔයාට තිබෙන වැඩ රාජකාරී එක්ක ආසනය බලන්නත් වෙලාව නැහැ නේද? ඔයාට මිනිස්සු ආදරේ නිසා ඡන්ද ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොකක්ද ප්‍රශ්නය?’’ අගමැති ඇසුවේ උස් හඬින් සිනාසෙමිනි.   


‘‘බදාදා ව්‍යවස්ථා විවාදයේ දී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනා හා ඇමිණුම්වල තිබුණ දේවල් කියවලා ඒ බොහෝ දේට ආණ්ඩුව එකඟයි. මොකක්ද දැන් තිබෙන ප්‍රශ්නය කියා අගමැතිතුමා ඇහුවම ඒකාබද්ධ අය වැටුණා. ඒ හුඟ දෙනකු මට කිව්වේ ලොක්ක අපව බිත්තියට හේත්තු කර හිර කළා කියලයි. අපේ ගෞරවනීය නාහිමිවරුන් දැන් මොකක් ද දන්නේ නැහැ. කියන්නේ? වජිර අබේවර්ධන ඇසුවේය.   


ව්‍යවස්ථාව ලබන වස​ෙර් සම්මත කළ හැකි වේවි කියලයි, රටේ හුඟ දෙනෙකු කියන්නේ’’ දයා ගමගේ කීය.   
දැන් කවුරුත් කෑගහපු පළාත් පාලන ඡන්දයට මුහුණ දීමට මූලිකත්වය දීමයි කාගේත් වගකීම වෙන්නේ. ව්‍යවස්ථාව ඕනෑවට වඩා අදින්න බැහැ. කාගේත් අදහස් මත අලුත් රට ඉක්මනින් බිහි කළ යුතු වෙනවා. එතකොට රටේ ඉදිරි ගමන වේගවත් වේවි’’ අගමැති කීය.   


ජනාධිපතිතුමා සර්ව පක්ෂ හා සර්ව ආගමික සමුළුව කැඳවලා ව්‍යවස්ථාව ගැන පැතිරෙන දුර්මත දුරු කරන්න හැදීමත් වටින දෙයක්’’ දයා ගමගේ කීය.   


නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය බව, බුදු දහම, ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් රැකලා අලුත් ඡන්ද ක්‍රමයේ මොඩලය අත්හදා බලා ඒකත් රටටම ආදේශ කරනවට කාටද විරුද්ධ වෙන්න පුළුවන්? අගමැතිගේ විග්‍රහය එය විය.   


යුද්දය යන කාලේ මහින්ද ඉන්දියාවට 13+ විසඳුම දෙනවා කිව්වා. යුද්දය ඉවර වුණාම ඒක කෝ කියා ඔවුන් ඇහුවම තේරීම් කාරක සභාවකින් මිසක් තනියම තීන්දු ගන්න බැහැ කියා කාරක සභාව දැම්මා.   


1972 මැතිනිගේ හා 1977 ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට වගේ මහින්දගේ කාරක සභාවටත් දෙමළ පක්ෂ ආවේ නැහැ. තිස්ස විතාරණ කමිටුව හරහා මහින්ද බොරු කිරීම ඊට හේතුවයි.   


ඒත් මේ ව්‍යවස්ථාවට සියලු පක්ෂ ඉන්නවා. මේ වගේ චාන්ස් එකක් රටට ආයෙත් ලැබෙන්නෙ නැහැ. මේකට විරුද්ධ අය සිටී නම් ඔලු පරීක්ෂා කළ යුතුයි ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.   


සයිටම් වැඩේට ජනාධිපතිතුමා දුන් විසඳුම දොස්තර සංගමය, උපකුලපතිවරුන් ඇතුළු සියලු දෙනා පිළිගන්නවා. ඒත් පටු දේශපාලන කණ්ඩායම් හා නොමඟ ගිය සිසුන් හා ඒ දෙමාපියන් සුළු පිරිසකට තාම මේක තේරුම් නොයාම පුදුමයක් දයා ගමගේ කීය.   


මෙහෙම ගියොත් සිසුන් හා දොස්තරලා ගැටේවි. පෙරටුගාමීන් තනිවේවි පී. හැරිසන් කීය.   


ෆයිසර් පළාත් පාලන ඡන්දයට අදාළ ගැසට් එක අත්සන් කිරීම වැස්සක් වැහැලා පෑව්වා වගෙයි. ජනවාරි 20-30 අතර ඡන්දය තියාවි. වජිර අබේවර්ධන කී දේ අගමැති ද අනුමත කළේය.   


බේරුවල එජාප-ශ්‍රීලනිප එකතුවෙලා තරග කරන බව රාජිත කීවේ මොකක්ද? ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේ ද අගමැතිගෙන් ඇසුවෙ එකම ප්‍රශ්නයකි.   


එහෙම එනවා නම් එජා. පෙරමුණෙනුයි එන්න වෙන්නේ. බලමු. බලමු. සාකච්ඡාව සියලු දේට විසඳුම් ගෙනේවි’ අගමැති කීවේ නළල රැළි ගන්වමිනි.