ආර්ථික ගැටලු ගැන එජාප නායකයාගෙන් විග්‍රහයක්


ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන් දහස ඉක්මවූවේ ඉකුත් සතියේය. මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට ගන්නවාද, නැද්ද යන තීන්දුව දීමට ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු විභාග කරමින් සිටියදි මැතිවරණය පැරණි ක්‍රමයෙන් මිදි පවත්වන්නේ කෙසේද යන ගැටළුවට දේශපාලනඥයෝ මුහුණ දී සිටිති.


එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් ඉකුත් සතියේද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවූයේ රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටය.


‘‘මහ මැතිවරණය කල් දාන්න කියා ගොනු කළ පෙත්සම් අතර ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අවලංගුවීද කියාත් කතා වෙනවා. මෙතන හොද නීති තර්ක ගොඩ නැඟෙනවා. විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ බල තුලනය ගැන හොඳ තීන්දුවක් එයි නේද?”‍ නවීන් දිසානායක කතාවට මුල පිරීය.
‘‘අධිකරණ තීන්දුව දෙන්න ටිකක් කල් යයි. කොහොම වුණත් ජනාධිපතිවරයා මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය අවලංගු වෙන්නේ ජූනි 02 වැනි දායින් පසුවයි.


ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති බව කියා තිබෙන නිසා මෙතනදී තීන්දුව ගන්න වෙන්නේ අධිකරණයෙන්ම පමණයි.’’ එජාප නායකයා කීවේය.


‘‘කාවින්ද ජයවර්ධනත් නායකතුමාට කතා කර දුක් ගැනවිල්ල කිව්වා කියා ආරංචියි. තමන් ගැන අසභ්‍ය විඩියෝවක් හදලා කියා එයා ජනාධිපතිටත් පැමිණිළි කර තිබෙනවා.’’ නේද? චම්පිකා ප්‍රේමදාස විමසුවේය.
“ඔව් මට කතා කළා.”‍ එජාප නායකයා සැහැල්ලු‍වෙන් කීය.


“එයා අපත් එක්ක තරග කරන්නේ නැහැ. හරිනම් එයා උපදෙස් ගන්න ඕනෑ එයාගේ පක්ෂ නායකයාගෙන්නේ?”‍ කේ.කේ. පියදාස ද කතාවට සම්බන්ධ විය.


“එහෙම තමයි, වෙන්න ඕනෑ. නමුත් මට කතා කර උදව් ඉල්ලපු නිසා අවශ්‍ය පියවර ගන්න උපදෙස් දුන්නා.”‍ එජාප නායකයා පැවසුවේය.


“රාජිත සේනාරත්න නිදහස් කරගන්න කියා සජිත්ලගේ කට්ටිය කළුතර උද්ඝෝෂණය කළා. මේකෙන් බලපෑම කරන්න පුළුවන් වෙයිද?”‍ චම්පිකා ප්‍රේමදාස ඇසුවේය.


“මේ වෙලාවේ උද්ඝෝෂණ කර පළක් නැහැ. මේක නායකතුමා කරනවා වගේ මොළෙන් කරන්න ඕනෑ වැඩක් තිබෙන්නේ. මෙහෙම උද්ඝෝෂණ කළාම ඒක අධිකරණයට බලපෑම් කළා කියා අර්ථ දක්වන්නත් පුළුවනි. මොළෙන් කරන්න ඕනෑ දේවල් හදවතින් කරන්න ගියාම අමාරුවේ වැටෙන්නේ වින්දිතයාමයි.”‍ වජිර අබේවර්ධන කළ විස්තරය සැවොම අනුමත කළහ.


“පහුගිය දවසක හැරිසනුත් මංගලව විවේචනය කළා. දැන් විජේපාල හෙට්ටිආරච්චිත් විවේචනය කරලා. එහේ මණ්ඩලේ දැන්මම කචල් පටන් අරගෙන තිබෙනවා වගෙ පේන්නේ.”‍ නවින් දිසානායක කීවේය.
“මෙතන සජිත්ව අභිබවාගෙන තවත් නායකයෙකු මතුවෙන්න හදනවා කියලයි ආරංචි එන්නේ.,”‍ දයා ගමගේ ඊට ඌණපූරණයක් එකතු කළේය.


සියළු කතා බහ අවධානයෙන් අසා සිටියා මිස එජාප නායකයා කිසිවක් කීමට පෙළඹුණේ නැත.
“කොරෝනා ඉවරයි දැන් ඡන්දය තියන්න පුළුවන් කියන මතය දැන් සමාජ ගත කරන්න ආණ්ඩුව ලොකු උත්සාහයක් ගන්නවා.”‍ කේ.කේ. පියදාස පැවසීය.


”‍ආණ්ඩුව රෝගය ඉවරයි කියා පෙන්නන්න හැදුවාට සෞඛ්‍ය අංශ තවම හරි උත්තරය දී නැහැ. ඒ නිසා ඡන්දය කවදාද කියා කියන්න බැහැ.


කොහොම වුනත් නඩුව ඉවර වෙනකම් ඉන්න වෙයි. නඩුව ඉවර වුණත් අපට දවස් 75 ක් දෙන්න කියලයි මැතිවරණ කොමිසම කිව්වේ.


ඒ නිසා ඡන්දය හරියටම කවදා තියයිද කියා ස්ථිර තීන්දුවකට එන්න අමාරුයි. අනෙක රණවිරු පෙළපාලියේ පෙර පුහුණුවට ආපු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුටත් කොරෝනා හැදිලා. ඉතින් තවම ස්ථිරවම දිනය කියන්න අපහසු වෙයි.”‍ එජාප නායක පිළිතුරු දුන්නේය.


“ඡන්දෙ කැම්පේන් එක පිළිබඳ ප්‍රශ්නය තවම විසඳී නැහැ.”‍ නවීන් දිසානායක කීවේය.


“ඡන්ද දිනය හරියටම ආවට පස්සේ තමයි, පක්ෂය විදියට අපට කැම්පේන් එක පටන් ගන්න වෙන්නේ. ගෙයින්-ගෙට යන්න බැහැ. ලොකු රැස්වීම් කරන්න බැහැ. ඒක ඇත්ත. ජනතාවට පණිවුඩය ගෙනයන්න අලු‍ත් ක්‍රම හොයන්න වෙයි. ඒ ක්‍රමය මොකක්ද කියා අද තීන්දුවක් ගන්න බැහැ. හරියටම දිනය එනකම් ඉන්න වෙනවා.”‍ නායකයා කී දේ සැවොම හිස සලා අනුමත කළහ.


“ලොකු ආර්ථික ගැටළුව ඉදිරියට එනවා. ජනතාවට වගේම දේශපාලනය කරන අපටත් මෙය ලොකුම අර්බුදයයි. නායකතුමා කරපු ආර්ථික විග්‍රහය හරියටම හරි.”‍ දයා ගමගේ සඳහන් කළේය.


“මා ආණ්ඩුවට කිව්වේ සැළසුම හදාගන්න කියලයි. සැළසුමක් නැතුව ගියොත් ජනතාව වගේම රටත් අමාරුවක වැටෙනවා. සෘණ ආර්ථිකයකට නැවත රට ගමන් කරන්න ඉඩ නොදෙන්න කියා මා කිව්වා. දැන් විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එනවා. මේ මිනිස්සු එවපු විදේශ විනිමය නැති වෙනවා. ලංකාවේ එයාලට කරන්න රස්සාවල් හොයන්න වෙනවා. ලංකාවේ ආයතන සේවකයන් අඩු කරගෙන යනවා. ලෙහෙසි අර්බුදයක් නොවෙයි රට ඉදිරියේ තිබෙන්නේ. මෙතනදී විධිමත් සැළැස්මක් අවශ්‍ය වන්නේ සියළු ප්‍රශ්න වලින් මිදෙන්නයි.”‍ නායකයා තවත් පැහැදිළි කළේය.


“ජනාධිපති රණවිරු සැමරුමේදී හමුදාවට විරුද්ධව යෝජනා ආවොත් ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත් වෙන්න දෙවරක් හිතන්නේ නැහැ කිව්වා. මෙහෙම කරන්න පුළුවන්ද?”‍ චම්පිකා ප්‍රේමදාස ප්‍රශ්න කළේය.
“එතුමා කියන්න ඕනෑ මොන සංවිධානෙන්ද අයින් වෙන්නේ කියලා. ලෝක බැංකුවෙන්ද, අයි.එම්.එෆ් එකෙන්ද, මානව හිමිකම් කොමිසමෙන්ද, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද, එක්සත් ජාතින්ගේ සංවිධානයෙන්ද කියා කියන්න ඕනෑ.


මානව හිමිකම් කොමිසමෙන් අයින් වුණොත් මොකද වෙන්නේ? යුරෝපා වෙළෙඳපොළ නැතිවෙයි. රටේ ඉතිරි ඇගළුම් කම්හල් ටිකත් වහන්නයි, වෙන්නේ.”‍ වජිර අබේවර්ධන පැහැදිළි කළේය.


“ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න මේ ආණ්ඩුව සුදානම් වෙනවා. අප නම් ඔතන හදන්න හැදුවේ තොරතුරු තාක්ෂණ උද්‍යානය නේද? හැබැයි ආණ්ඩුව කියනවා අප හදන්න ගිය ක්‍රීඩාංගණයමයි, මේ හදන්නේ කියලා.”‍ දයා ගමගේ ඇසුවේ එජාප නායකගෙනි.


“එහෙම යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මා කිව්වේ ක්‍රීඩාංගණ ඕනෑ තරම් තිබෙන නිසා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ගෙන එතන ක්‍රීඩා විශ්ව විද්‍යාලය හදන්න කියලයි.


කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ඉඩම වටිනා ආයෝජනයකට යොදා ගන්නවා මිසක් වෙන දේකට ගත යුතු නැහැ. අනෙක අයි.සී.සී එක මේක හදනවා කීවාට එයාලා නිකම්ම රටකට ආධාර දෙන්නේ නැහැ. මේක ලොකු අපරාධයක්.”‍ එජාප නායකයා පැහැදිළි කරමින් සාකච්ඡාවෙන් නැගිට ගියේ අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවියට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ කතාවට අවශ්‍ය තොරතුරු රැස් කිරීමටය.


මේ අතර නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ද සමගි ජන බලවේගයේ කාර්යාලයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට වූ අසාධාරණය හෙළිදරව් කළේ අපේක්ෂක හමුවේදීය. මෙහිදී කොරෝනා ගැටළුව හා ජනතාවට වූ අසාධරණකම් මුළින් මතු කළේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ජගත් විතානය. ඊට ඌණ පූරණය එක් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ මහනුවර මහ නගර සභාවත්, ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාවත් ජනතාවට සහන දෙන්න ගෙනා යෝජනාව මධ්‍යම පළාත් බලධාරියකු ප්‍රතික්ෂේප කළ බවය.

 

 

-ගජබා-