ආණ්ඩුවේ ගින්න නිවන්න ​​ගිය ඇමැතිවරු


ගෙවී ගියේ රටේ දේශපාලන අර්බුදය දරුණුම තැනකට පැමිණ තිබූ සතියකි. ජනාධිපතිවරයාත් අගමැතිවරයා ප්‍රමුඛ එජාප ආණ්ඩුවත් අතර කාලයක් තිස්සේ පැවැති දේශපාලන විරසකය සුපුරුදු පරිදි සතිපතා පවත්වන කැබිනට් රැස්වීම පවා නතර කර දමන තැනට ඔඩු දුවා තිබිණි. ඊට තදින්ම බලපා තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂ කාරක සභාවේ ක්‍රියා කලාපයයි. ජනාධිපතිවරයාගේ අදහස වූයේ එම තේරීම් කාරක සභාව තමා ඉලක්ක කර ගනිමින් රැස් කරන ලද කාරක සභාවක් බවය. බුද්ධි අංශ ප්‍රධානින් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් තේරීම් කාරක සභාව හමුවට කැඳවීම දැඩිව විවේචනය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ආරක්ෂක අංශවල කිසිදු නිලධායකු තේරීම් කාරක සභාවට නොයවන බව ද දැඩිව කියා සිටියේය.


මේ අතර කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් සතියේ සිකුරාදා රාත්‍රියේ කැඳවනු ලැබුවේ තේරීම් කාරක සභාව පත් කිරීමත් සමග ඇතිව තිබෙන අර්බුදය අවසන් කර ගැනීමේ අපේක්ෂාවෙනි. කැබිනට් රැස්වීම සිකුරාදා රාත්‍රි 8.00ට පමණ ආරම්භ විය. අගමැතිවරයා ද ඇමැතිවරු පිරිසක්ද ඊට සහභාගි වූහ. තේරීම් කාරක සභාවේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළ ජනාධිපතිවරයා සිටියේ තරමක කේන්තියෙන් මෙනි. බුද්ධි අංශ නිලධාරින් ආරක්ෂක අංශ නිලධාරින් තේරීම් කාරක සභාව හමුවට ගෙන්වලා අපහසුතාවට පත් කරනවා. ජාතික ආරක්ෂාව මේ විදියට අනතුරට ලක් කරන්න දෙන්න බැහැ. ඔයාලගේ අරමුණ වෙන්නෙ මට ගහන්න වෙන්න ඇති. හැබැයි මට නෙවෙයි මේ ගහන්නෙ රටේ ආරක්ෂාවට. ඔයාලා මේ විදිහට නම් කටයුතු කරන්නෙ ආණ්ඩුවට කිසිම සහායක් දෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි මම කැබිනට් රැස්වීම් කැඳවන්නෙත් නැහැ. ජනාධිපතිවරයා කීවේ තරමක ආවේගයෙනි. ජනාධිපතිවරයා කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙ දී නඩු 5ක් පමණ විභාගවන නිසා තේරීම් කාරක සභාව නතර කරන ලෙසය. ඇමැතිවරුන් කිහිප දෙනකු තත්ත්වය සමනය කරන්නට කතා කළද තවත් පිරිසක් කියා සිටියේ තේරීම් කාරක සභාවේ කටයුතු නතර කළ නොහැකි බවය. රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ තේරීම් කාරක සභාවේ කටයුතු නතර කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයාත් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයාත් කැමැති නැති බවය. අනෙක මෙහිදී ජාතික ආරක්ෂාවට අදාළ කරුණු මාධ්‍ය ඉදිරියෙ සාකච්ඡා නොවන බවද රාජිත කීවේය. සුමන්තිරන්ලා කරන්නෙ යූඑන්පියට ඕන දේමනේ යැයි ජනාධිපතිවරයා කීවේය. සජිත් ප්‍රේමදාසත්, තලතා අතුකෝරලත් කීවේ මෙය සාමකාමීව විසඳාගත යුතු බවය. තවත් පිරිසක් කීවේ කාරක සභාවේ කටයුතු නතර කළ නොහැකි බවය. තර්ක විතර්ක මැද කැබිනට් රැස්වීම පැයක් පමණ තිස්සේ ඇදී ගියේය. අවසානයේ ජනාධිපතිවරයා තීන්දුවකට පැමිණියේය. එනම් කාරක සභාවේ කටයුතු නතර කරන තෙක් කැබිනට් රැස්වීම් නොපවත්වන්නටය.


ඉන්දියාවේ දෙවන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ඉරිදා උදේ ශ්‍රී ලංකාවට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද විශේෂ ආරධනයක් පිළිගනිමිනි. මෛත්‍රී එම ආරාධනය කර තිබුණේ න​ෙර්න්ද්‍ර මෝදිගේ දෙවන දුර කාලයෙ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. එම ආරාධනය පිළිගත් ඉන්දීය අගමැතිවරයා මාලදිවයිනේ ගොස් එන අතරේ ඉරිදා උදේ 11.15ට පමණ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය. ඉන්දීය ගුවන් හමුදාවට අයත් බොයිං 737 වර්ගයේ ගුවන් යානයකින් මෝදි අගමැතිවරයා පැමිණි අතර ඊට සුළු වෙලාවකට කලින් එම වර්ගයේම ගුවන් යානයක් කටුනායකට පැමිණියේ මෝදි අගමැතිවරයාට ආරක්ෂාව සපයමිනි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ඉන්දීය අගමැතිවරයා පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඇමැතිවරුන් විසිනි. මෝදිගේ පරිවාර ඇමැති ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ සිටියේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සිය වාහනයේ නංවාගෙන කොළඹට ආ මෝදි අගමැතිවරයා ඉකුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය බලන්නට ගියේ අගමැතිවරයා ද සමගිනි. මෝදි අගමැතිවරයා දේවස්ථානයට යද්දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අරගරදගුරුතුමා ද පැමිණ සිටියේය.


අනතුරුව මෝදි අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ ඔහු පිළිගැනීමේ උත්සවය එහි සූදානම්කර තිබූ බැවිනි. ඒ වනවිට මහ වැස්සක්ද ඇද හැළුණු බැවින් ජනාධිපතිවරයාට මෝදි පිළිගන්නට සිදුවූයේ එක අතකින් කුඩයක් ද අල්ලමිනි. පැය කිහිපයකට පැමිණිය ද ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය රටට මෙන්ම ජනාධිපතිවරයාට ද ආශිර්වාදයක්ම විය. ශ්‍රී ලංකාව තව දුරටත් අනාරක්ෂිත රටක් නොවන බව ලෝකයාට පෙන්වීමට ජනාධිපතිවරයාට දැඩි අවශ්‍යතාවක්ව තිබිණි. ඔහු මෝදිට ලංකාවට එන්නැයි ආරාධනා කළේ ද එම අවශ්‍යතාව මුල් කර ගනිමිනි.   


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනපති මෛත්‍රීත් ඉන්දීය අගමැති මෝදිත් අතර සාකච්ඡා ආරම්භ විය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ සංචාරක ව්‍යාපාරය ඇතුළු ආර්ථිකයේ විවිධ ​ෙක්‍ෂ්ත්‍රවලට එල්ල වී ඇති අභියෝග හමුවේ ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් වැදගත් වන බව ජනපති මෛත්‍රී මෝදි හමුවේ ප්‍රකාශ කළේ කෘතවේදීත්වය පළකරමිනි. අසල්වැසි රාජ්‍යයක් ලෙස පමණක් නොව ළෙංගතු මිතුරකු ලෙස දිය හැකි උපරිම සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෝදි කියා සිටියේය. රාජ්‍ය නායකයින් දෙපළ අතර හමුවෙන් පසුව මෝදි අගමැතිවරයා ඉන්දිය මහකොමසාරිස් නිල නිවස වෙත ගියේය. එහිදී ද ප්‍රධාන හමුවීම් දෙකක් සූදානම් කර තිබිණි. එකක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග හමුවකි. දෙවැන්න දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග හමුවකි.   


මෝදි හා මහින්ද අතර හමුවට දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ යන මහත්වරු ද එක්ව සිටියහ. ඉන්දියාවේ අගමැතිවරයා ලෙස දෙවන වරටත් පත්වූ මෝදිට මහින්ද සුබ පැතුවේ තම ආණ්ඩුව සමයේ ඉන්දියාවෙන් ලැබුණ සහාය ද සිහිපත් කරමිනි. අපේ රටට ප්‍රශ්නයක් ඇති වුණු හැම වෙලාවෙම ඉන්දියාව අපිත් එක්ක හිටියා. මම මේ වෙලාවෙත් ඉල්ලන්නේ ඉදිරියටත් අපේ රටට සහාය දෙන්න කියලයි මහින්ද කීවේය. මෝදි කීවේ ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය කිසිසේත් වෙනස් නොවන බවය. සාකච්ඡාව හමාර වී මෝදි මහින්දට සමුදුන්නේ අපි නැවත ඉක්මනින්ම හමුවෙමු යැයි කියමිනි. මෙතුමා නැවත ඔබතුමා හමුවන්නේ විපක්ෂ නායක විදියට නොවෙයි රටේ නායකයා විදියට යැයි අසල සිටි දි​නේෂ් සිනාසෙමින් කීවේය.   


ඉන් අනතුරුව අගමැති මෝදි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් හමුවිය. හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, සුමන්තිරන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඊට එක්ව සිටි අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් රජය දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරු කියා සිටියහ.   


විශේෂ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අගමැති මෝදි වෙනුවෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනපති මෛත්‍රී විසින් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු ද පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ. එහිදී අගමැති මෝදිට ජනපති මෛත්‍රී විසින් විශේෂ තිළිණියක් ද පිරිනැමිණි. ඒ විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවකි. දිවා භෝජනයෙන් අනතුරුව මෝදි සිය විශේෂ සංචාරය නිම කරමින් ඉන්දියාවට යන්නට කටුනායක බලා පිටත්ව ගියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සමගිනි.


කැබිනට් මණ්ඩලය රැස් නොකිරීමට ජනපති මෛත්‍රී ගත් තීරණයත් සමග ගිය සතියේ දේශපාලන කරළිය තවත් අර්බුදයකට මුල පිරීය. ඒ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකිවීම හේතුවෙනි. මෛත්‍රීගේ ඉල්ලීම වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාවේ කටයුතු නතර කිරීමය. එහෙත් ඊට ආණ්ඩුව පාර්ශවයෙන් ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණේ කාරක සභාවේ සාමාජිකයින් ද ඊට දැක්වූ විරෝධය හේතුවෙනි. ඒ අනුව මේ අර්බුදය විසඳා ගන්නට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති මෛත්‍රී හමුවී උත්සාහ ගත් බවට වාර්තා විය. ගිය සඳුදා රාත්‍රියේ රාජිත සෙනාරත්න සහ රවි කරුණානායක යන අමැතිවරුන් දෙදෙනා ද ජනාධිපති නිල නිවසට ගොස් මේ ගැන සාකච්ඡා කර තිබිණි. මේ අතර සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් ඇතුළු කිහිප දෙනකු ඉකුත් බදාදා රාත්‍රියේ ද ජනාධිපතිවරයා හමුවී මේ අර්බුදය විසඳා ගන්නට සාකච්ඡා කර ඇති බව වාර්තා විය. තාවකාලිකව නරතවී තිබූ කැබිනට් රැස්වීම අනිද්දා (18) සිට යළි පවත්වන්නට ජනපති මෛත්‍රී එකඟත්වය පළකර ඇත්තේ එම සාකච්ඡාවල දී ඇති වූ එකඟතාවන් සැලකිල්ලට ගනිමින් බව ද රජයේ අාරංචි මාර්ගවලින් වාර්තා විය.   


ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසර අගදීය. හැමෝම ජනාධිපතිවරණයක් ගැන කතා කළ ද ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නැත. පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් කියැවෙන්නේ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බවක් හෝ නොකරන බවක් තවමත් ප්‍රකාශ කර නැත. එජාපය පැත්තෙන් අගමැති රනිල්, කතානායක කරු මෙන්ම ඇමැති සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ද ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව කියද්දි කියැවේ. ඒ අතර සමහරු කියන්නේ ජාතික හෙළ උරුමයෙ මහ ලේකම් චම්පික රණවක ඇමැතිවරයා ද ජනාධිපතිවරණයට සූදානම් වන බවකි. 


ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන දි.ග. සෝමපාල මහතාගේ සුවදුක් බලන්නට ජනපති මෛත්‍රී ගිය සතියේ ගියේ ඔහු අසනීප වී නිවසට වී සිටින බවට හිතවතකුගෙන් ලැබුණ ආරංචියකිනි. ගිය සති අන්තයේ සන්ධ්‍යා භාගයේ දී ජනාධිපතිවරයා සෝමපාල මහතාගේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසට හදිසියේම ගියේ සියලු දෙනා විමතියට පත් කරමිනි. ජනාධිපතිවරයා එන බවක් සෝමපාල මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවකුත් ඒ වනතෙක් දැන සිටියේ නැත. ජනාධිපතිවරයාගේ හදිසි පැමිණීම ගැන පුදුමයට පත් සෝමපාල මහතා තමා බැලීමට පැමිණීම ගැන ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළේය. ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිකාර සඳහා මුදල් පරිත්‍යාගයක් ද කළේ ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමිනි. සෝමපාල මහතාගේ නිවසින් පිටත්ව ජනාධිපතිවරයා නිවස බලා එද්දී මග දෙපස තිහ හතළිහක පමණ පිරිසක් එකතුවී සිටියහ. වාහනය නතර කළ ජනාධිපතිවරයා මොකද මේ කට්ටිය එකතු වෙලා ඉන්නේ යැයි විමසා සිටියේය. වාහනයෙ සිටින්නේ ජනාධිපතිවරයා බව ඔවුන් දැනගත්තේ වාහනය නතර කර වීදුරුව ද පහත් කළ පසුවය. සර් අපි මේ හන්දියේ බුදුපිළිමයක් හදන්න සාකච්ඡාවක් කළා. වාහනයක් එනව දැකල කවුද එන්නේ කියල බලන්නයි මෙතනට ආවේ යැයි පිරිස කියා සිටියහ. දැන් බුදු පිළිමය හදන්න සල්ලි එහෙම එකතු කළාදැයි ජනාධිපතිවරයා අසද්දි අයකු කීවේ සර් අද තමයි ඒ ගැන කතා කළේ. තවම සල්ලි එකතු කළේ නැහැ යනුවෙනි. දැන් කීයක් විතර වැඩේට යනවද? ජනාධිපතිවරයා ඇසීය. සර් එක්ලක්ෂ හැට දහසක් විතර යනවා. ඔවුහු කීහ. දැන් මා ගාව සල්ලි නැහැ. මට දුරකතන අංකයකුයි ඔයාලගෙ සමිතියේ බැංකු ගිණුම් අංකයයි ලියල දෙන්න. මම ලක්ෂ දෙකක් එවන්නම් කියමින් ජනාධිපතිවරයා විස්තර ඉල්ලා ගත්තේය. ඒ අනුව පසුවදාම අදාළ ගිණුමට මුදල් දමා දුරකතන ඇමතුමක් ද දුන්නේය.
මේ අතර ප්‍රවීණ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා මහතාට ගිය සතියේ ජනාධිපති කාර්යාලයට කැඳවා මුදල් පරිත්‍යාගයක් කළේය.   


හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් අමරදේව අසපුව බත්තරමුල්ල අපේගම පරිශ්‍රය අසල ඉදිකරන්නට මුලපිරුවේ ජනාධිපති මෛත්‍රී අතිනි. එහි ඉදිකිරීම් කටයුතු මීට වසර එක හමාරකට පමණ ඉහතදී ඇරඹුණ ද එහි ඉදිකිරීම් ඉබිගමනේ පවතින බව ජනාධිපතිවරයාට හිතවතකුගෙන් දැන ගන්නට ලැබී තිබිණි. අමරදේව අසපුව අමරදේවයන්ට එකල තිබූ සිහිනයකි. එය යථාර්ථයක් කරන්නට ජනාධිපතිවරයාට තිබූ උනන්දුව නිසාම ඒ සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ද වෙන්කර දී තිබිණි. එහෙත් එහි ඉදිකිරීම් කටයුතුවල පවතින ප්‍රමාදය ගැන දැනගත් ජනාධිපතිවරයා හදිසියේම අමරදේව අසපුව බලන්නට ගිය සඳුදා සවස ගියේය. පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මියත් පුත් රන්ජන අමරදේව මහතාත් මේ කටයුත්තට මූලිකත්වය ගෙන සිටින මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ගෘහ නිර්මාණ ශිල්පියාත් එම ස්ථානයට ගෙන්වා ගත්තේ ජනාධිපතිවරයා කළ කෙටි දැනුම්දීම අනුවය. මීට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ ලේකම්වරයා ඇතුළු නිලධාරින් කිහිප දෙනකු ද එම ස්ථානයට පැමිණ සිටි අතර ජනාධිපතිවරයා ඔවුන් ද සමග ගොස් එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළේය. අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු මන්දගාමීවීම ගැන කනගාටු වූ ජනාධිපතිවරයා එහි ඉදිකිරීම් කටයුතු අගෝස්තු 31 වැනිදාට පෙර අවසන් කර බාර දෙන්නැයි ඉල්ලීමක් ද කළේය.


අමර​දේව අසපුවේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ජනාධිපතිවරයා හැන්දෑවේම පිළියන්දල බොල්ගොඩ පිහිටි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවාතැන්පොළ බලා පිටත්ව ගියේය. බොල්ගොඩ නදී තෙර අසල සුන්දර භූමිභාගයක පිහිටි එම නවාතැන්පොළට ගොඩවැදීමේ අදහසක් ජනාධිපතිවරයාට කලින් සිටම තිබුණද ඊට අවස්ථාවක් නොවීය. අමරදේව අසපුවේ නිරීක්ෂණ චාරිකාව නිමවා සුනිල් ආරියරත්නයන්ද සමග එහි ගියේ එබැවිනි. ඒ යනවිටත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා, උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය අබේරත්න බණ්ඩාර, ලාෆ් සභාපති වෑගපිටිය, රයිගම් සමාගමේ සභාපති රවි ලියනගේ, සක්‍යා අධිපති බණ්ඩාර දිසානායක, රංජිත් ඉද්දමල්ගොඩ ඇතුළු ජ’පුර ආදි විද්‍යාර්ථීන් පිරිසක්ද එහි පැමිණ සිටියේ හදිසියේම සූදානම් කර තිබ‌ූ සුහද හමුව වෙනුවෙනි. සැඳෑ හමුව සුන්දර කරන්නට ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ ද තවත් සගයින් දෙදෙනකු සමග පැමිණ සිටියේය. ජනාධිපතිවරයා සුනිල් ආරියරත්නයන්ගේ නවාතැන්පොළේ ආලින්දයට වී පිරිස සමග ආගිය තොරතුරු කතා බහ කරමින් ඉතා සැහැල්ලුවෙන් ගත කළේ කාර්යබහුල ජීවිතයෙන් මද විරාමයක් ලබමිනි.   


ජානක වික්‍රමසිංහ ගී කීපයක් ගයමින් සැඳෑව රසවත් කළ අතර තවත් කිහිපදෙනෙක්ම ජානකගේ සංගීතයට ගී ගැයූහ. බණ්ඩාර දිසානායකත් රවි ලියනගේත් ගී දෙකතුනක් ගැයූ  පසුව ගීයක් ගයන්නැයි පිරිසකගෙන් ජනාධිපතිවරයාට ද ඇරයුමක් ලැබිණ. ඒ අනුව ඉල්ලීම ඉටුකරමින් ජනපති මෛත්‍රී ද ‘‘මා බාල කාලේ’’ ගීය ගැයුවේය. අනතුරුව පිරිසද එකතු කර ගනිමින් ජනාධිපතිවරයා අමරදේවයන්ගේ ‘‘රත්නදීප ජන්මභූමි’’ ගීයද ගැයුවේය. පැය තුනක පමණ කාලයක් විනෝදයෙන් ගතකළ ජනපති මෛත්‍රී කෑම ද ගෙන පිටත්ව යනවිට රාත්‍රි 9.00 පසුවී තිබිණි. 


ගිය වසරේ සුනිල් ආරියරත්නයන්ගේ යශෝධරා චිත්‍රපටය බලා පැහැදුණු ජනාධිපතිවරයා ඔහුට බුදු පිළිමයක්ද තෑගි ලෙස යවා තිබේ. මෙදින සුනිල් ආරියරත්න මහතා ඔහු විසින් ලියන ලද පොත් කීපයක්ද ජනාධිපතිවරයාට තෑගි කළේය. 


මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශවලට වැඩ බලන ඇමැතිවරුන් පත්කිරීමද ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළේය. රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, කබීර් හෂීම් හා අබ්දුල් හලිම් යන ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් ඇමැතිධුරවලට වැඩබැලීම සඳහා පත් කරන්නට අමැතිවරුන් හතර දෙනකුගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ඉකුත් සති අන්තයේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි. රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් තිදෙනාගේ නම්ද ජනාධිපතිවරයාට යවා තිබූ නම් අතර විය. එහෙත් එජාපයේ ඉල්ලීම ගැන අවධානය යොමු නොකළ ජනාධිපතිවරයා එහි වැඩබලන ඇමැතිවරුන් ලෙස වෙනත් තිදෙනකු පත්කළේය. ගිය ඉරිදා රාත්‍රියේ ජනාධිපතිවරයා දුරකතන ඇමතුම් දී බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන හා අනෝමා ගමගේ යන තිදෙනාට සිය නිල නිවෙසට එන්නැයි දන්වා තිබිණි. බුද්ධික, රිෂාද්ගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයාය. ලකී ජයවර්ධන රවුෆ් හකීම්ගේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයාය. අනෝමා ගමගේ, කබීර් හෂීම්ගේ නියෝජ්‍ය ඇමැතිවරියයි. ඔවුන් තිදෙනා සඳුදා උදේ පාන්දර ජනපති නිල නිවසට පැමිණි අතර ඔවුන් සිටි අමාත්‍යාංශවල වැඩ බලන ඇමැතිවරුන් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ එජාපයේ ඉල්ලීම ඉවත දමමිනි.   


මේ අතර වැඩ බලන අමැතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී යැයි පවසමින් අගමැතිවරයා පසුදිනම ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබිණි. ඉන් කියා තිබුණේ අමැතිවරුන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවලට වැඩබලන ඇමැතිවරුන් පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවය. එමෙන්ම අගමැතිවරයාගේ නිර්දේෂයක්ද ඒ සඳහා යොමුකර නැති බව අගමැතිවරයා සිය ලිපියෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා විය.


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගිය බදාදා විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී කතා බහ කරමින් සිටියේ දේශපාලන කරුණු කාරණා ගැනය. වැඩි අවධානය යොමුවූයේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙනි. මේ සතියේ කැබිනට් එක කැඳවලත් නැහැ. දෙගොල්ලන් අතර ගැටුම දැන් බරපතළ තැනකට ඇවිත් තියෙන්නේ යැයි ප්‍රසන්න රණතුංග කීවේ කතාවට මුල පුරමිනි. නිමල් ලන්සා ද කීවේ මේකෙන් වෙන්නෙ රට  අවුලෙන් අවුලට යනඑකයි කියායි. ‘‘රටකට මේ විදියට ඉස්සරහට යන්න බැහැ. හොඳම වැඩේ වහාම මහමැතිවරණයකට යන එකයි. එහෙම වුණොත් ජනතාවට තමන් කැමති ආණ්ඩුවක් පත්කරගන්න පුළුවන්’’ යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා කීවේය.


ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල සිටින්​නේ සිංගප්පූරුවේය. මීට දින කිහිපයකට ඉහත දී සිංගප්පූරු රෝහලක දී සැත්කමකට භාජනය වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා විය. තවදුරටත් විවේක ගත යුතු නිසා ඔහු තවත් සති දෙක තුනකින් පමණ පසුව ලංකාවට පැමිණෙනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීවේය.