ආණ්ඩුවක් ගත්තට දැන් පාර්ලිමේන්තු එන්නෙත් නෑ


ඔක්තෝබර් 26 වැනිදා ජනපති ගත් තීන්දුව තුළ රට ආරාජික වී දැනට මාසයක් ඉක්ම ගොසිනි. නව අගමැතිවරයකු පත් කළ පමණින් පාර්ලිමේන්තු බහුතරය ලැබී ඒ රජය ලෝකය විසින් පිළිගෙන රටේ ආර්ථිකය ඇතුළු අන් සියල්ල ක්‍රමිකව ඉදිරියට යාවි යයි අපේක්ෂා කළද මාසයක් ගත වන තුරුත් තවතවත් රට ව්‍යාකූලවීම මිසක ප්‍රශ්නය අවසන්ව නැත.


අගමැති රනිල් ප්‍රමුඛ එජාපය අර්බුදය මැනවින් කළමනාකරණය කර ගත් බව බොහෝ දෙනකුගේ විග්‍රහයය. අනතුරුව පාර්ලිමේන්තු බහුතරය එජාපෙට කෙතරම් තිබුණ ද විශ්වාසභංග දෙකක් හරහා නව ව්‍යාජ රජය පරාජයට පත්වුව ද ජනපති විදෙස් මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ කිනම් බහුතරය තිබුණ ද රනිල්ට යළිත් අගමැතිකම නොදෙන බවය.


ඒ ප්‍රකාශය තුළින් ප්‍රශ්නය තවත් ඔඩු ගිය බව දේශාපාලන විශ්ලේෂකයන්ගේ මතය වේ. ජනපති එසේ ප්‍රකාශ කිරීමම ව්‍යවස්ථා විරෝධී බව වික්ටර් අයිවන් ඇතුළු බොහෝ දෙනකුගේ අදහස වී තිබේ.


29 වැනි බ්‍රහස්පතින්දා තීරණාත්මක දිනය වූවේ අගමැතිවරයාගේ මුදල් කපා දමන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ හෙයිනි. කවුරුන් පාර්ලිමේන්තු පැමිණිය ද නොපැමිණිය ද, එය උපරිම ඡන්ද සංඛ්‍යාවකින් සම්මත කර ගැනීම එජාපයේ උපාය මාර්ගය විය.


ඊට පසුදා ඇමතිවරුන්ගේ මුදල් කපා දැමීමේ යෝජනාවක් ද ඉදිරිපත් වීමට නියමිතව තිබිණි.


බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට පැමිණි එජාපේ ප්‍රබලයෝ රැසක් එදින කටයුතු ගැන බොහෝ දේ අගමැති රනිල් සමග කතා බහ කළහ.


“අර්බුදය ඇති කළේ ජනාධිපතිගේ පෞද්ගලික අවශ්‍යතා මතයි. එජාපෙ ජනපති අපේක්ෂකයා එජාපෙන්ම තෝරන බවට ගත් තීන්දුව ජනපතිට දැනුම් දුන්නට පසු එයා පොහොට්ටුවේ අපේක්ෂත්වය ගන්නයි, මේ අවුල කළේ. ඒත් අගමැතිකමයි ආණ්ඩුවයි දෙකම රාජපක්ෂලාට දීලාත් ඔවුන් ශ්‍රීලනිපයට බඳවා ගන්න ජනපතිට බැරි වුනා. පසුදාම ඔවුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම ජනපතිට එල්ල කළ කනේ පහරක්. එහෙම එකේ ජනපතිට පොහොට්ටු අපේක්ෂකත්වය දීම දවල් හීනයක්. ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
“ගොවීන්ට හා ධීවරයන්ට අදායම් බදු සහන දෙනවලු. ආදායම් බදු ගෙවන ගොවීන් හා ධීවරයන් ඉන්නේ කොහේද දන්නේ නැහැ.” චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.


“ශ්‍රීලනිපයේ එකෙක් හරි රනිල්ගේ පැත්තට ගියොත් මගෙන් ඇමැතිකම් නම් බලාපොරොත්තු වෙන්න එපා කියා ජනපති ශ්‍රීලනිප 23 දෙනාට තර්ජනය කරලාලු. අපට අවශ්‍ය ඇමතිකම් නොව ප්‍රජාතන්ත්‍රවාදය බව ඉන් බොහෝ දෙනෙකු පිළිතුරු හැටියට කිව්වා කියලත් ආරංචියි.”, දයා ගමගේ කීවේ එවැන්නකි.


“ව්‍යවස්ථා විරෝධීව ඇති කළ අර්බුදයෙන් මිදෙන්න දැන් මේ අය මහ මැතිවරණය ඉල්ලනවා. එහෙම මැතිවරණ දෙන්න කාටවත් අයිතිය නැහැ. ව්‍යවස්ථාවට අනුව දැන් පැවැත්විය හැකි එකම මැතිවරණය ජනපතිවරණයයි. ජනපතිට ජනමතය බලන්න ඕනැ නම් ජනවාරි 08 න් පසු ජනපතිවරණය කැඳවන්න පුළුවනි. පළාත් සභා තිබ්බාය කියා මධ්‍යම ආණ්ඩුවේ අවුල කිසිසේත් විසඳෙන්නේ නැහැ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“දෙසැම්බර් අඟින් එහාට වියදම් කරන්න රටට මුදල් අනුමත වෙලා නැහැ. ව්‍යාජ කැබිනට් රැස් වෙලා, ව්‍යාජ අතුරු සම්මත ගිණුම් අනුමත කළාට එය පාර්ලිමේන්තුවේ දීත් සම්මත වෙන්න ඕනෑ... අප ආපු ගමන් ඩොලරය රුපියල් 130 ට බස්සනවා කියපු බන්දුලලා ඩොලරය 182 ට වැඩි කර අතින් අල්ලලා ඒක නවත්තන්නදැයි දැන් විකාර කතා අහනවා... ජනතාව මේ ඇන්දිළි හරි හැටි තේරුම් ගන්න ඕනෑ” රවි කරුණානායකගේ විග්‍රහය එය විය.


“මෙතෙක් හිටපු ජනාධිපතිවරුන් අතින් නොයෙක් අඩුපාඩු වුණා. ඒත් ඒ කිසි කෙනෙකු තමන්ට නැති බලය පාවිච්චි කරන්න ගියේ නැහැ. ඒත් මේ ජනපති අගමැති ඉවත් කිරීම හා වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි බව 19 වැනි සංශෝධනයේ තිබියදීත් එය කඩ කිරීම භයානක පූර්වාදර්ශයයි.


“වැරදිලාවත් අළුත් මහ මැතිවරණය තිබ්බට පසු ආණ්ඩුව ඇවිත් සතියකින් මේ අගමැති හා ආණ්ඩුවත් හරි නැහැ, මට ගැළපෙන්නේ නැහැ කියා කිව්වොත් ඒකත් විසුරුවා හරින්න අප ඉඩ දෙනාවද? ඒ නිසා මේ ප්‍රශ්නෙදි අප එඩිතරව ඉන්න ඕනෑ” දයා ගමගේ කීවේ එවැන්නකි.


“ජනාධිපති ඇති කළ අවුල දැන් කථානායකගේ පිටින් තමයි මේ ගොල්ලා යවන්න හදන්නේ. සියලු ප්‍රශ්නවලට මුල කතානායක ලු. ඒත් දශක ගණනාවක් පාර්ලිමේන්තු අත්දැකීම් ඇති හිටපු මහාලේකම් නිහාල් සෙනවිරත්න ඇතුළු පාර්ලිමේන්තු විශේෂඥයන්ගේ මතය වෙන්නේ කථානායකතුමා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සම්ප්‍රදාය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවයි.”, නවීන් දිසානායක කීවේය.


“මේ අවුලෙන් රටට දැනටත් කෝටි 92,000 කට වඩා හානිය අපනයන, සංචාරක සහ විවිධ සේවා යටතේ වී ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ තක්සේරුවයි. රටේ ණය ගෙවා ගන්නත් බැරි මන්දපෝෂණයෙන්, විරැකියාවෙන් සහ සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳින රට තවත් අගාධයට දැමීම මහා පාපයක්.”, රවි කරුණානායක කීය.


“මහ ලොකුවට ආණ්ඩුව ගත්තා ලු. ඒත් දැන් පාර්ලිමේන්තු එන්නෙත් නැහැ. පාර්ලිමේන්තු එන්නේ නැති ලෝකයේ එකම ආණ්ඩුව” සිරා-මරා ආණ්ඩුව කියලායි දැන් සමාජ මාධ්‍යවල යන්නේ.”


“ගතවූ මාසයට එක පනතක් හෝ යෝජනාවක්වත් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. ඒ ගැන ඔවුන් ලැජ්ජා වෙන්න ඕනෑ. බහුතරය නැතිකම සියල්ලට මුලයි” චමින්ද විජේසිරි කීය.


“ජාත්‍යන්තරය මේ ප්‍රශ්නය ගැන දැඩි ස්ථාවරයක ඉන්නේ. අපිට ඉක්මනින් සම්බාධක වැටෙන අනතුරකුත් තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය වැනි තැන් වලින් ලංකාව නෙරපන අනතුරකුත් අත ළඟ ලු. ඒ නිසා ඔක්තෝබර් 26 ට පෙර තිබූ ප්‍රකෘති තත්ත්වය යළි ඇති නොකළොත් ජනාධිපති, මහින්ද හා ඒ නඩය රටට කළ හානිය වෙනුවෙන් සමස්ත ජාතියටම වගකියන්න වේවි”. නවීන් දිසානායක කීවේය.

 


“රටේ ජනමාධ්‍ය එක පැත්තක භූමිකාව රඟපාන්නේ ඔවුන්ට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය එපා ද? හොර නඩයක් ද ඕනෑ? රටේ සමාජ පසුබිම හා ආර්ථිකය මෙන්ම නිදහස අභියෝගයට ලක් වුණොත් ජනමාධ්‍ය ඒවා සමනය කරන්න ඉදිරිපත් වෙනවා මිස තවත් ව්‍යාකූල කරන්න උත්සාහ කිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක්”, හේෂා විතාන කීවේ එවැන්නකි.


“අවුරුදු තුන හමාරක් නිදහසේ හිටපු මාධ්‍යවේදීන්ට මහින්දලා ආපු ගමන් ඊයේ කොටුව උසාවිය ඉදිරිපිටදීම ගුටි කන්න වුණා. මාධ්‍ය​ෙව්දීන් මේවා තේරුම් ගන්න ඕනෑ. දැන් අපේ අගය තේරෙනවා ඇති.” චමින්ද විජේසිරි කීවේය.


“දැන් අදත් හතර පස් වැනි වතාවටත් ව්‍යාජ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පරාද කළාටත් පසු ජනාධිපති සාධාරණ තීන්දුව නොගත්තොත් මොකද වෙන්නේ?” ලක්ෂ්මන් කිරිඇල්ල ඍජුවම ප්‍රශ්න කළේ අගමැති රනිල් ගෙනි.


“ රටේ ආණ්ඩුව අපේ බව ජනසම්මතවාදීව හා සාමකාමීව අප මේ වෙනවිට ඕනෑවටත් වඩා ජනාධිපතිට විතරක් නොව ලෝකය හමුවේම ඔප්පු කර අවසානයි. අදින් පසු ජනාධිපතිවරයා නිසි තීන්දුව නොගත්තොත් ජනතාව මේක අතට ගන්නා තත්ත්වය තිබෙනවා. මහනුවරදී හා කළුතරදී වගේම රට පුරාම ජනතාව අපට බල කරන්නේ වීදි බහිමු කියලායි. දුප්පත් රට තවත් ආරාජික වෙනවාට, ලේ හැළෙනවාට අප විරුද්ධයි. ඒ නිසා ජනාධිපතිවරයා නිසි තීන්දුව ඉක්මණින් ගනීවි කියා අප බලාපොරොත්තු වෙනවා.” අගමැති රනිල් කීවේ නළල රැලි ගන්වමිනි.


“ඊයේ මහින්දට ඉල්ලලා අස්වෙන්න කියා ජනාධිපති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අත පණිවුඩය යැව්වා ලු. මා අස්වෙන්නේ නැහැ. පත් කරපු එවුන් පුළුවන් නම් අස් කරපල්ලා කියා මහින්ද ඝෝෂාව දාලා ශ්‍රීලනිප කට්ටිය එලවා යැව්වා කියලාත් ආරංචියි.” වජිර අබේවර්ධන කීවේ තමාට ලැබුණු නිශ්චිත තොරතුර මත පදනම් වෙමිනි.