ආණ්ඩු පක්ෂ රැස්වීම


 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිය අඟහරුවාදා පෙරවරුවේ අරලිය ගහ මැදුරේදී පැවැත්වූවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන සාකච්ඡා කරන්නට ආණ්ඩු පක්ෂ රැස්වීම කැඳවා තිබුණද රැස්වීම පුරාම සාකච්ඡාවට ලක්වූයේ රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියයි. මැති ඇමැතිවරුන් සියලු දෙනාම පාහේ කීවේ මේ සිද්ධිය රටේ අධිකරණ පද්ධතියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොදුවේ රටටත් එල්ල කර ඇති බලපෑම සුළු පටු නොවන බවය. පසුගිය ආණ්ඩුව අධිකරණයට කෙතරම් නම් බලපෑමක් ඇති කළේද යන්නට රන්ජන්ගේ හඬපට සිද්ධියම ප්‍රමාණවත් බව ඔවුහු කියා සිටියහ. මේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් මේ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවත් මැති ඇමැතිවරු අගමැති මහින්දගෙන් ඉල්ලා සිටියහ. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා මතු කළේ තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට එජාපයේ තව අයද සම්බන්ධ බවය. මේ ගැන තමා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක්ද මතුකර පොලිස්පතිවරයාටද පැමිණිලි කරන බව මහින්දානන්ද කීවේය. හඬපට සිද්ධිය රන්ජන් රාමනායකට පමණක් සීමා නොකර එය පොදුවේ පසුගිය රජයේම සැලැස්මක් ලෙස සැළකිය යුතු බවද මැති ඇමැතිවරු කියා සිටියහ.   


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය බ්‍රහස්පතින්දා හදිසියේම කොළඹ ජාතික රෝහලට ගියේ කිසිවකුට නොදන්වමිනි. අඩුම තරමින් රෝහලේ අධ්‍යක්ෂවරයාට හෝ නොදැන්වීමට ජනාධිපතිවරයා වග බලා ගත්තේ රෝහලේ සාමාන්‍ය කටයුතු සිදුවන ආකාරය සියැසින්ම දැක බලා ගත යුතු බැවිනි. ජනාධිපතිවරයා මීට පෙරද ඒ ආකාරයටම හදිසියේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයටත් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයටත් ගියේය. වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිදුවෙමින් තිබූ අක්‍රමිකතා රැසක් මේ වනවිට මඟහැරී ගොස් ඇත්තේද ජනාධිපතිවරයාගේ හදිසි සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙනි. කොළඹ ජාතික රෝහලට ගිය ජනාධිපතිවරයා එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් මෙන්ම බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන්ද වෛද්‍යවරුන්ද හමුවී ගැටලු ප්‍රශ්න විමසා බැලුවේ ඊට කඩිනම් විසඳුම් ලබාදීමේ අපේක්ෂාවෙනි.   
තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ගිය බ්‍රහස්පතින්දා තිස්සමහාරාම රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය බලන්නට ගියේය. පසුගිය කාලයේ ටෙලි සිනමා ගම්මානය නිසි නඩත්තුවක් නොමැතිව අතහැර දමා තිබිණි. එය විනාශ වෙමින් පවතින බව ඇමැතිවරයාට දැන ගන්නට ලැබිණි. ඇමැතිවරයා සමඟ නිලධාරින් පිරිසක්ද ගිය අතර ඇමැතිවරයා උපදෙස් දුන්නේ රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය කඩිනමින්ම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙසය. එහි හදන චිත්‍රපට පෙන්වීමේදී ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බවත් ටෙලි සිනමා ගම්මානය ආදායම් උපයන දෙයක් බවට පත්කළ යුතු බවත් ඇමැතිවරයා කීවේය.