අවසන් මොහොතටම ඇදුණු පොහොට්ටු - ශ්‍රීලනිප දීගය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගිය සඳුදා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී රැස්වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. රාත්‍රී 7.00ට රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබුණත් එය ආරම්භ වන විට රාත්‍රී 7.30 පමණ වී තිබුණි. ඊට හේතුව ජනාධිපතිවරයා එනවිට තරමක් ප්‍රමාද වී තිබීමය.


ජනාධිපතිවරයා රැස්වීමට පැමිණියේ මහනුවර සිටය. ‘අස්ගිරි විහාරය සහ 1818 පළමු නිදහස් සටන’ මැයෙන් ලියවුණ පොතක් එදින පස්වරුවේ එළිදැක්වූයේ මහනුවර අස්ගිරි මහා විහාරයේදීය. ඊට සහභාගි වූ ජනාධිපතිවරයා කල්තියාම කොළඹ බලා පිටත්වීමට සූදානම් වූවද, තරමක් ප්‍රමාද වූයේ වැස්ස හේතුවෙනි. ඇමැති කිරිඇල්ල සහ ආණ්‍ඩුකාර සරත් එ්කනායක ද සමග මහනුවර සිට හෙලිකොප්ටරයෙන් කොළඹ ආ ජනපති මෛත්‍රී රාත්‍රී 7.00ට පමණ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි විය.


විනය පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ගැන පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැහැදිලි කළේය. විනය කඩකළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ගණනාවකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නට එමඟින් තීරණය කර තිබිණි. මේ අතර ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ නාමයෝජනා ප්‍රතික්ෂේ‍ප වීමට වගකිව යුතු කිහිප දෙනකු පක්ෂයෙන් ඉවත් නොකර, අවවාද කිරීමට නිර්දේශ කර තිබිණි. ජනාධිපතිවරයා ඊට විරුද්ධ විය. ‘මොන අවවාද ද? නාම යෝජනා ප්‍රතික්ෂේප වුණේ ඔය මිනිස්සු බිලා පිස්සු නටලා කරපු වැඩවලින්. අයින් කරලම දාන්න’ ජනාධිපතිවරය කීවේය.


ජාතික ලැයිස්තුවෙන් පත්ව පොහොට්ටුවට හා එජාපයට එක්වූ මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා, ඩිලාන්, එස්.බී., ෆවුසි හා විජිතමුණි සොයිසා යන පස්දෙනා විනය කමිටුව හමුවට කැඳවීමට ද නිර්දේශ කර තිබිණි. ඒ අනුව ඔවුන් විනය කමිටුවට කැඳවීමේ දින ද එහිදී ප්‍රකාශයට පත් කෙරිණි.


ඊළඟට කතාබහට ලක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය ගැනය. ඒ ගැන පැහැදිලි කළේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාය. ‘ප්‍රතිපත්තිමය කාරණා ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න එයාලා කැමති නැහැ’ දයාසිරි කීවේය. අනතුරුව කතා කළේ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාය. ‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට එක පාරයි. අනික් හැම පාරම අපි ඉල්ලුවේ එකතුවෙලා. ඒ නිසා අපි බලන්න ඕනෑ පොහොට්ටුව ද නැත්නම් වෙන ලකුණක් ගැන ද කියල නෙවෙයි. අපි එකතු වෙලා වැඩකිරීමයි වෙන්න ඕනැ’ දි.මු. කීවේය.


මේ අතර නිමල් සිරිපාල මන්ත්‍රීවරයා පොහොට්ටුව සමග අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත ගැන පැහැදිලි කළේය. එය සකස් කරනු ලැබූවේ නිමල් සිරිපාලගේ මූලිකත්වයෙනි.


ජනාධිපතිවරයා කීවේ අපි එකතුවෙන එක ගැන තීන්දුවක් ගත්තත්, ඇල්පිටියේ ඡන්දය 11 වැනිදා පැවැත්වෙන බැවින්, එය කලින් ප්‍රකාශ නොකළ යුතු බවය. ශ්‍රීලනිපය ඇල්පිටියට තරග කරන නිසා දැන්ම තීරණය ප්‍රකාශ කිරීම ඊට අවාසි වන බව ජනාධිපතිවරයා කීවේය. ආණ්ඩුකාර ෂාන් කී​ෙව් ගියවර ඇල්පිටිය ඡන්දය කල් දැමුවේද අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අතරතුර බවය. ‘‘මම නම් කියන්නෙ තීන්දුවක් ගන්න එක කල්දාන එක අවශ්‍ය නැති බව’’ යැයි ඌව මහ ඇමැති චාමර සම්පත් කීවේය.
මේ කතාබහ යන අතරේ ලසන්ත අලගියවන්න සහ රංජිත් සියඹලාපිටිය අතර සංවාදයක් ගොඩනැගිණි. ඊට හේතුව වූයේ සියඹලාපිටිය කර තිබූ ප්‍රකාශයකි. ශ්‍රීලනිප තරුණ සංවිධානය පොහොට්ටුවට සහාය දීමට තීරණය කර ඇති බව සියඹලාපිටිය ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා තිබිණි. සියඹලාපිටියගේ එම ප්‍රකාශය ලසන්ත විවේචනය කළේ එය වැරදි ප්‍රකාශයක් බව කියමිනි. ‘පක්ෂය තීන්දුවක් නොගෙන ඉද්දී ඔබතුමා එහෙම ප්‍රකාශයක් කරපු එක වැරදියි. ලසන්ත අලගියවන්න කීවේය.
සියඹලාපිටියගේ පිළිතුර වූ ‘මම ශ්‍රී ලංකා කාරයෙක්. ශ්‍රීලනිප උපාධිධාරී සංගමය කියන්නේ වෘත්තීය සමිතියක්. මා ප්‍රකාශ කළේ සංවිධානයේ ඒකමතික මතයයි. පක්ෂය ආරක්ෂා වන මතය හෙළි කරනවා හැර එහෙයියෝ වෙන්න අපි සූදානම් නෑ.’ කතාව එතනින් එහාට ගියේ නැත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ පොදුජන පෙරමුණ සමග එකතු වෙනවා නම්, ඒ සඳහා කෙටුම්පත් දෙකක් සකස් කර ඇති බවය. නිමල් සිරිපාල මන්ත්‍රීවරයා මහන්සි වී කෙටුම්පත් දෙක හැදු බව දයාසිරිත්, මහින්ද අමරවීරත් කියා සිටියහ. එම එක් කෙටුම්පතක් පොදුජන පෙරමුණ සමග අත්සන් කිරීම වෙනුවෙනි. දෙවැන්න පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය සමග අත්සන් කිරීම වෙනුවෙනි. නිමල් සිරිපාල කෙටුම්පත් දෙක ගැන එකින් එක පැහැදිලි කළේය. යෝජිත සන්ධානය ගොඩනැගිම එහි විධායක සභාව නිලධාරී මණ්ඩලය අාදිය ද කෙටුම්පතේ සඳහන්ව තිබිණි. නිමල් පැහැදිලි කරද්දී වරින්වර ඔහුට බාධා කළේ‍ ඌව මහ ඇමැති චාමර සම්පත්ය. ‘ඔබතුමා ඕක තාම යැව්වේ නැද්ද? ඕක යවල ඉවර කරල ඔබතුමා යන තැනකට යන්න’ ඔබතුමා බදුල්ලේදී එකක් කියනවා. මෙතන ඇවිත් තව එකක් කියනවා’ චාමර කීවේය. ඊට හේතුව වූයේ ශ්‍රීලනිපය කුමන තීරණයක් ගත්තත්, තමා පොහොට්ටුවට සහාය දෙන බවට නිමල් සිරිපාල මන්ත්‍රීවරයා ඉකුත්දා බදුල්ලේ දී කර තිබූ ප්‍රකාශයකි.


නිමල් කියපු කෙටුම්පත් දෙක පසුවදාම පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට සහ ගෝඨාභය රාජපක්ෂට යැවීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා මේ අතර වෙනත් කරුණක් මතු කළේය. මෙතන ඉන්න සමහර අය දෙපැත්තටම ගිහින් කේලම් කියනවා. ඒ නිසා පොහොට්ටුවත් වැරදි වැටහීමක ඉන්නවා. ශ්‍රීලනිපය කොන්දේසි නැතිව එන්න කැමතිය කියලා මෙහේ ඉන්න සමහර අය පොහොට්ටුව පැත්තට ගිහින් කියනවා. එහෙට එකක් කියලා මෙහෙට තව එකක් කියනවා. එහෙම දෙන්නෙක් ඉන්නවා යැයි ලක්ෂ්මන් වසන්ත කීවේ චෝදනාවක ස්වරූපයෙනි. ඒ අතර ඔහු කීවේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමෙන්, විශාල ජනප්‍රියත්වයක් ලැබූ බවත්, පොහොට්ටුව සමග එකතු වූවහොත් ඒ ප්‍රසාදය තවත් වැඩිවන බවත්ය.


මේ අතර, ජනාධිපතිවරයා කීවේ, ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීමට ඇති බාධාව පොහොට්ටුව ලකුණ බවය. තමා එදින දහවල් බැසිල් රාජපක්ෂ මහතා ද හමු වී පැයක් පමණ ඒ ගැන සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා කීවේය. ශ්‍රීලනිපය හා පොහොට්ටුව එක්ව කටයුතු කරන්නේද යන්න ගැන තීරණයක් ගැනීම ඊයේ (5) දිනට කල් තබන්නට මධ්‍යම කාරක සභාව තීරණය කළේ ලකුණ සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි පොදුජන පෙරමුණට තවත් කාලය ලබා දෙමිනි. ඒ අනුව අවසන් තීරණයක් ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව ඊයේ (05) රාත්‍රී 7.00ට රැස්වීමට තීරණය විය.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය අඟහරුවාදා උදේ පැවැත්වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. එහිදී වැඩි අවධානයක් යොමු වූ කාරණා දෙකක් තිබිණි. එකක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සති කිහිපයක් තිස්සේ පැවැති රණවිරු උපවාසයයි. දෙවැන්න ආයතන ගණනාවක ඇතිවී තිබෙන වර්ජන රැල්ලයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්, විධායක ශ්‍රේණියේ නිලධාරීන්, දුම්රිය සේවකයින්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක පසුගිය සති කිහිපයේ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක විය.


මුලින්ම සාකච්ඡාවට ලක්වුණේ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ද රණවිරුවන්ට ගෙවන වැටුපම විශ්‍රාම වැටුපක් ලෙස ගෙවන්නැයි ඉල්ලමින් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහ යයි. ඒ ගැන මුලින්ම පැහැදිලි කළේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයායි. සජිත් කලින් දින උදේ පිටකොටුවේ පැවැති රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සත්‍යග්‍රහයට ගොස් තිබිණි. රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ ඉල්ලීම ගැන තමා පියවරක් ගන්නා බව සජිත් එතනදී කියා තිබිණි. ඒ අනුව සජිත් කැබිනට්ටුවේ දී එ් ගැන පැහැදිලි කළේය. ‘මේ අය හමු වෙන්න මම එතනට ගියා. ඒ වෙලාවේ ඒ අය ගැන මට ලොකු වේදනාවක් ඇති වුණා. මේක පිටුපස දේශපාලන වුවමනාවක් තියෙන්න පුළුවන්. හැබැයි මේ ඉල්ලීම අපි දිය යුතුයි’ සජිත් කීවේය. අනතුරුව කතා කළේ මංගල සමරවීර ඇමැතිවරයාය. මේ අය මාසෙකට කලින් මා හමුවුණා. ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම ඉටුකරන්න අපි එතන දී එකඟ වුණා. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය සෙබළාගේ සිට ජෙනරාල් දක්වා හැමෝගෙම වැටුප අපි දෙගුණ කළා’ මංගල ද කීවේ දිගු විස්තරයක් කරමිනි. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඒ ගැන පැහැදිලි කළේය. මේ ප්‍රශ්නය ගැන සති දෙකකට කලින් අපි සාකච්ඡා කළා. එහෙම සාකච්ඡා කරල තමයි ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක්, ඔවුන්ගේ සම්පූර්ණ වැටුප විශ්‍රාම වැටුපක් විදියට ගෙවන්න අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ’ ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ මේ පිටුපස දේශපාලනයකුත් තිබෙනවා කියාය.


පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද කතාවට මැදිහත් විය. ඔහු කීවේ ‘මේ පිරිස රට වෙනුවෙන් කැපවූ පිරිසක් බවය’ මෙතැන ප්‍රශ්නය තිබුණත්, අපි මේක ගෙවන්න ඕනැ. ඒ ගැන තර්කයක් නැහැ. මේක තවදුරටත් ඇදගෙන යන්න අවශ්‍යත් නැහැ. මෙම ඉල්ලීම අපි ඉටු කරමු’ චම්පික කීවේය. මම උදේ ගිහින් මේ අය හමුවෙලා කතා කරලා ආවා. හවස විපක්ෂ නායකතුමා ගිහින් තැඹිලි වතුර පෙව්වා. පුහුල් හොරා කරෙන් දැනේ කියන්නෙ ඕවට තමයි’ සජිත් කීවේය. තලතා අතුකෝරල කීවේ මේ පිටුපස දේශපාලනය තිබෙන බව සවස මාධ්‍යවල යන විඩියෝ එකකින්ද පැහැදිලි වන බවය. අවසානයේ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ ඉල්ලීම සම්බන්ධ ඉදිරි කටයුතු කිරීම සජිත්ට පැවරිණි.
ඊළඟට කතාබහට ලක්වුණේ වර්ජන රැල්ල ගැනය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමැති අනුකමිටුවේ වාර්තාවක් ද රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ද එම කමිටුවේ සාමාජිකයෙකි. ‘අපි ගුරුවරුන්, විධායක නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, දුම්රිය සේවකයන් සමග කතා කළා. අනිත් හැමෝම සමග එකඟතාවලට ආවා, එන්න බැරි වුණේ දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් ගැන පමණයි’ මංගල කීවේය. පරිපාලන සේවයේ හා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ දීමනා ප්‍රශ්නයට විසඳුමක් ද යෝජනා කර තිබිණි. ඔවුන්ට දැනට 3,000, 5,000, 10,000 ආදි වශයෙන් ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000ක මාසික දීමනාවක් පොදුවේ ගෙවීමට යෝජනා විය. ඒ ගැන මද්දුම බණ්ඩාර ඇමැතිවරයා ද දිගු විස්තරයක් කළේය. දුම්රිය සේවකයන්ගේ ගැටලුව සඳහා යෝජනා වූයේ දුම්රිය සංවෘත සේවයක් බවට පත්කර, වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීමටය. රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවල පවතින වැටුප් විෂමතා රනුක්ගේ කමිටු වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන නිවැරදි කිරීමට යෝජනා විය.