අවසන් කැබිනට් රැස්වීමට මෛත්‍රී වාඩිවෙයි


රටම බලාසිටි ජනාධිපතිවරණයේ ඡන්දය විමසීම ඊයේ (16) අවසන් විය. ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂද නැතිනම් සජිත් ප්‍රේමදාස ද යන්න අද (17) සවස වනවිට දැනගත හැකි වනු ඇත. ජනාධිපතිවරණය සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබාසිටි ඡන්දදායකයන් ගණන 1,59,92,096කි. මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් ගණන 35කි. ඒ නිසාම ඡන්ද පත්‍රිකාවද දිගින් අඩි දෙක ඉක්මවීය.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වී නව ජනාධිපතිවරයා දිවුරුම් දීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය ද අවසන් වනු ඇත. ඒ අනුව, ජනපති මෛත්‍රීගේ ධුර කාලය අදින් නිමාවට පත්වනු ඇත. 2015 ජනවාරි මස 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 62කට වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින්, මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනවාරි 9 වැනිදා දිවුරුම් දුන්නේය. එවකට බලපැවැත්වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෛත්‍රීගේ ජනාධිපති ධුර කාලය අවසන්වීමට නියමිතව තිබුණේ 2021 ජනවාරි 9 වැනිදාය. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෛත්‍රීගේ ජනාධිපති ධුරයේ කාලය වසරකින් අඩු කරනු ලැබීය.


මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයක් තිබේ. ඒ වෙනත් ඡන්දවලට සාපේක්ෂව ප්‍රචණ්ඩක්‍රියාවලින් තොර මැතිවරණයක් වීමය. එය පක්ෂ විපක්ෂ සියලු දෙනා පිළිගන්නා පොදු කාරණයක් ද වේ. ඊට ප්‍රධාන කාරණා දෙකක් බලපෑවේය. එකක් තනතුරේ සිටින ජනාධිපතිවරයා යළිත් වරක් ජනාධිපතිවරණයට තරග නොකිරීමය. දෙවැන්න මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දැඩිව ක්‍රියාත්මක වීමය.


සතියේ කැබිනට් රැස්වීම ගිය සඳුදා උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. වෙනදා අඟහරුවාදා උදේ රැස්වන කැබිනට් මණ්‍ඩලය මෙවර සඳුදා රැස්වුණේ අඟහරුවාදා දිනය පොහෝ දිනයක් වූ බැවිනි. මේ අතර මෙවර කැබිනට් රැස්වීමේ තවත් විශේෂත්වයක් විය. එනම්, ජනපති මෛත්‍රී සහභාගි වූ අවසන් කැබිනට් රැස්වීම එය වීමය.


ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්‍ඩලයේ සහ ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්‍ඩලවල සේවය ස්ථිර කිරිමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකා දෙකක් මීට සති කිහිපයකට පෙර ඉදිරිපත් කර තිබිණි. එම දෙකම මීට සති දෙකකට පමණ ඉහතදී ජනාධිපතිවරයාගේ නියමයෙන් නැවත ඉවත් කරනු ලැබූවද මෙවර කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට එය ඇතුළත්ව තිබිණි. ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම ආරම්භයේදීම කීවේ එම පත්‍රිකා දෙක න්‍යාය පත්‍රයෙන් ද ඉවත් කරන ලෙසය. ‘අපි මේක සති දෙකකට කලින් ඉවත් කළා. ඇයි මේ නැවත න්‍යාය පත්‍රයට දාලා තියෙන්නෙ. මේවා ගැන මාධ්‍යවලත් 700, 800 ස්ථිර කරන්න යනවා කියලා වැරදියට යනවා. මේක න්‍යාය පත්‍රයෙනුත් අයින් කරල දාන්න. ජනාධිපතිවරයා කීවේය. අනතුරුව කතා කළේ අගමැතිවරයාය. මේකට කැබිනට් පත්‍රිකා දාන්න අවශ්‍ය නැහැ. මන්ත්‍රීවරයකුට වසර 5 සම්පූර්ණ වුණාම වැටුපෙන් තුනෙන් එකක් විශ්‍රාම වැටුප විදියට ලැබෙනවා. කාර්ය මණ්ඩලයටත් ඒකට චක්‍රලේඛයක් තියෙනවා. දැන් එ්ක මෙතනට වලංගු නැත්තෙ අවුරුදු පහක් සම්පූර්ණ වී නැති නිසයි.’ අගමැතිවරයා කීවේය.


රෝයල් පාර්ක් මිනීමැරුමේ වරදකරු වී මරණ දඬුවම් නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව දීමද ගිය සතියේ දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්විය. ගිය සඳුදා කැබිනට් රැස්වීමේදී ජනපති මෛත්‍රී ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් ද කළේ එම තීන්දුව ගැනීමට හේතු වූ කරුණු කාරණා ගැනද කියමිනි. ‘මම මේ ගැන මෙතන කියන්නෙ කැබිනට්ටුවේ අනුමැතිය ගන්න නෙවෙයි පාර්ශ්ව ගණනාවකින් ආපු නිර්දේශ සැලකිල්ලට ගෙනයි මේ තීන්දුව ගත්තෙ.


විශ්‍රාමලත් ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් අභියාචනා කමිටුවකින්ද මේ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. මේ තරුණයා අවුරුදු 19දී මේ ඝාතනයට සම්බන්ධ වෙලා තියෙන්නෙ, ඔහු පසුව උපාධියක් ලබාගෙන, ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා. පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් නිර්දේශ වගේම ඔහු ලැබූ අධ්‍යාපනය ද සැලකිල්ලට අරගෙනයි මේ තීන්දුව ගත්තෙ’ යැයි ද ජනාධිපතිවරයා කීවේය.


ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබපැතීමට ද ඇමැතිවරු එය අවස්ථාවක් කරගත්හ. මුලින්ම කතා කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ‘ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි 2015දී ආණ්ඩුවක් පිහිටෙව්වා. අපි අතර ප්‍රශ්න, ගැටුම් ඇති වුණා. නමුත් මේ කාලය තුළ ජයග්‍රහණ රැසක් ලබාගත්තා. මේක මේ විදියට පවත්වාගෙන යාම ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනැ’ අගමැතිවරයා කීවේය. අනතුරුව රාජිත සේනාරත්න, ඇමැතිවරයා කතා කළේය. අපි වෙනසක් කරන්න ඔබතුමා සමග එළියට බැහැල ඇවිත්, ආණ්ඩුවක් හැදුවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය යළි ගෙනාවා. තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා. ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වා. ඒ ගැන අපට සතුටු විය හැකියි. රාජිත කියද්දී චම්පික රණවක ඇමැතිවරයා ද රාජිතගේ අදහස අනුමත කරමින් කතා කළේය.


ඔබතුමා දින 1800ක් පමණ බලයේ හිටියා. ඒ කාලය තුළ ආණ්ඩුවට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ තුන්දහසක් පමණ ඇතිවුණා. නමුත් ආණ්‍ඩුවේ තුවක්කුවකින් කාටවත් වෙඩි තිබ්බේ නැති අවුරුදු හතර හමාරක් මේක. ඒ ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනැ’ චම්පික කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි.


ඇමැතිවරුන්ගේ අදහස් දැක්වීම්වලින් අනතුරුව ජනපති මෛත්‍රී කතා කළේය. ‘මේ ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ රජයේ තුවක්කුවක් පත්තුවෙලා කවුරුවත් මැරුවේ නැහැ. මම පොදු අපේක්ෂකයා විදියට ඡන්දය දිනලා මේ පුටුවේ වාඩිවුණේ සැහැල්ලුවෙන්. අද මම මේ පුටුවෙන් යන්නෙත් සැහැල්ලුවෙන් ජනාධිපතිවරයා සිය හැඟුම්බර කතාව අවසන් කළේ, මත ගැටුම් මැද වූවද දැක්වූ සහයෝගය වෙනුවෙන් ඇමැතිවරුන්ට ස්තුතිය පළකරමිනි.


මේ අතර, ගිය සඳුදා හැන්දෑවේ ජනපති මෛත්‍රී ආණ්ඩුකාරවරුන් නව දෙනා හමුවිය. මේ හමුව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. සරත් ඒකනායක, ඒ.ජේ.එම්. මුසම්මිල්, ෂාන් විජයලාල් ද සිල්වා, පේෂල ජයරත්න, මෛත්‍රී ගුණරත්න, කීර්ති තෙන්නකෝන්, හේමාල් ගුණසේකර, සුරේන් රාඝවන්, ධම්ම දිසානායක යන ආණ්‍ඩුකාරවරුන් නව දෙනාම ඊට සහභාගි වූහ. ජනාධිපති වරයා ලෙස කටයුතු කිරීමේදී දැක්වූ සහයෝගය වෙනුවෙන් ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් වෙත ස්තුතිය පළකර තිබූ අතර, හමුව පැයකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තා වේ. දේශපාලන කරුණු කාරණා ගැන ද එහිදී සාකච්ඡා වී ඇති නමුත් ඒ පිළිබඳ මාධ්‍යවලට තොරතුරු වාර්තා නොවීය.
ජනපති මෛත්‍රී ගිය බ්‍රහස්පතින්දා දහවල් කොටුව ජනාධිපති මන්දිරයේදී සිය කාර්ය මණ්‍ඩලය හමුවිය. එය සූදානම් කර තිබුණේ ද ජනාධිපති කාර්ය මණ්ඩලය විසිනි. මේ හමුවේ නිමිත්ත වූයේ විශ්‍රාම යන ජනාධිපතිවරයාට සුබපැතිමය. ජනාධිපතිවරයාට සුබ පතමින්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා කතාවක් ද කළේය. ඔහු කීවේ දූෂණය වංචාව සහ අක්‍රමිකතා පිටුදැකීමට ජනාධිපතිවරයා සෘජු තීරණ රැසක් ගත් බවය. ජනාධිපති කොමිෂන් සභාවද පත් කරමින් පිරිසිදු රාජ්‍ය පාලනයක්, යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථවත් කළේ ජනපති මෛත්‍රී බව ඔහු කීවේය. තමා වෙත එල්ල වූ නින්දා අපහාස, චෝදනා උපේක්ෂාවෙන් විඳදරා ගත් ජනාධිපතිවරයා උපේක්ෂාව සහ නිහතමානි බව ප්‍රගුණ කළ අයකු බවද ලේකම්වරයා කීවේ තම ධුරකාලය ද අඩුකර ගනිමින්, එතුමා ලොව කිසිදු රාජ්‍ය නායකයකු නොදුන් ආදර්ශයක් ද ලබාදුන් බවය.