අලුත් අයවැයත් එක්ක රට නිවැරැදි මාවතේ ගමන් කරන්නේ මහ ඡන්දයෙන් පසුවයි


කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ   

  • පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා කොරෝනා වසංගතය නතර වෙනවද?  

 

රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳවත් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- ආණ්ඩුවට මාස දෙකහමාරයි. ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහිලා?   


පිළිතුර:- ඕක ඔය අපේ ප්‍රතිවාදීන් හදන ප්‍රබන්ධයක්. ඔවුන් බලනවා මහ මැතිවරණය නොබෝ දිනකින් එන නිසා මහ මැතිවරණයට පෙර ආණ්ඩුවට එරෙහිව නැති අප්‍රසාදයක් ඇති කරන්න. මේ රටේ පොදු ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කෙරෙව්වේ ප්‍රධාන වශයෙන් ජාතික අභිලාසයන් පෙරදැරි කරගෙන. එකක් ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීම. ඒ සම්බන්ධයෙන් සහතිකයක් අද මේ රටේ ජනතාවට ලැබිලා තියෙනවා. අන්තවාදීන්ට රිසිසේ රඟන්න තිබෙන වාතාවරණය අහිමි කරලා තියෙනවා. ඒ වගේම රටේ අභිමානය හා ගෞරවය රකින්න. රාජ්‍ය නායකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය මේ රටේ අභිමානය හා ගෞරවය රැකෙන ආකාරයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම එතුමා ඡන්දයට කලින් තමන් සරළ ජනාධිපති කෙනෙක් වෙනවා කියන පොරොන්දුව නොදුන්නට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරළ භාවිතාවක් පෙන්නුම් කරලා තියෙනවා.   


ප්‍රශ්නය:- ඒවා මාධ්‍ය සංදර්ශන වලින් වෙනස් වෙන්නේ කොහොමද?   


පිළිතුර:- නෑ. මේවා මාධ්‍ය සංදර්ශන නොවෙයි. ඒවා මාධ්‍ය සංදර්ශන වෙන්නේ ‘මාර්කටින් ප්ලෑන්’ එකක් ඇතුළේ කරනවා නම් තමයි. නමුත් මෙතැන මාර්කටින් ප්ලෑන් එකක් නෑ. එතුමා අඳින ඇඳුම් තීරණය කළේ එතුමා. දිවුරුම් දෙන්නේ කොහොමද කියලා තීරණය කළේ එතුමා. දෙද‌ාස් ගානක් හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක සංඛ්‍යාව දෙසීය ගානට අඩු කළේ එතුමම හිතලා. ඒකේ ගොඩගහලා තිබුණ වාහන තොගයෙන් සෑහෙන ප්‍රමාණයක් අනෙකුත් අමාත්‍යාංශවලට බෙද‌ා හැරියේ එතුමම හිතලා. අවුරුද්දක් ගියහම ඔබට බලන්න පුළුවන් අනෙක් ජනාධිපතිවරුන්ගේ වියදම් සහ වර්තමාන ජනාධිපතිතුමාගේ වියදම් අතර තියෙන වෙනස. ජනතාව බලාපොරොත්තු වූ පරිදි ඒ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. මහ මැතිවරණයෙන් පසුව අපේම ස්ථාවර පාලනයක් පිහිටුවා ගැනීමත් සමඟ තමයි අපිට මිනිස්සු බලාපොරොත්තු වෙන බොහෝ දේවල් ඉටු කිරීමේ හැකියාව ලැබෙන්නේ. දැනට තියෙන්නේ සුළුතර පාර්ලිමේන්තු බලයක්. ඒ නිසා තමයි අපි අයවැයක් ඉදිරිපත් කරන්නේ නැතිව අතුරු සම්මත ගිණුමකින් ආර්ථික ක්‍රියාවලිය මෙහෙයවන්නේ. කොහොමටත් අප්‍රේල් මාසයේ අන්තිම මහ මැතිවරණය තියෙන නිසා එතැන් සිට තමයි අලුත් අයවැයකුත් එක්ක රට නිවැරැදිම දිශාවට ගමන් කරන්නේ.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රීගේ ඔබ කී වෙනස්කම් මහින්ද අයියට එරෙහිව ගෝඨාභය මල්ලී කියලා ඔබට හිතෙන්නේ නැද්ද?   


පිළිතුර:- ඒක කාට හරි එරෙහිවයි කියලා අර්ථ කථනය කරන එක වැරැදියි. එකම පවුලේ සහෝදරයන් වුණාට එකිනෙකා අතර වෙනස්කම් තියෙනවා. අනන්‍ය වෙනස්කම් තියෙනවා. ඒවා එකිනෙකාට ප්‍රතිවිරෝධි වෙනස්කම් නොවෙයි. එකිනෙකාගේ අනන්‍යතාවන් ගෝඨාභය රාජපක්ෂ මාදිලිය එක මාදිලියක්. මහින්ද රාජපක්ෂ මාදිලිය තව මාදිලියක්. ඒ මාදිලිවල තියෙන වෙනස කෙනෙකුට පේනවා නම් දෙපාර්ශ්වයක් අතර ගැටුමක් විදියට අපි ඔවුන්ට අනුකම්පා කළ යුතුයි.   


ප්‍රශ්නය:-කොරෝනා භීතිය රටම වෙළාගෙන. විපක්ෂය කියනවා ‘මේක ජාතික ආපද‌ා අවස්ථාවක් වශයෙන් සලකලා වහාම පාර්ලිමේන්තුව රැස්කරන්න’ කියලා. නමුත් ආණ්ඩුව ‘මීක්’ නෑ.   


පිළිතුර:- පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා කොරෝනා වසංගතය නතර වෙනව ද? රජයක් හැටියට ගන්න පුළුවන් ඉහළම ප්‍රශස්ත පියවර අපි මේ වන විටත් අරගෙන තියෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි අපි දෙවැනි වුණේ. අවද‌ානම් ප්‍රදේශවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ පියවරට. එය වෙනත් රටවල මාධ්‍යවල පැසසුමට පවා ලක්වුණා. ඒ දරුවන් ගෙනල්ලා අපි එකපාරටම මුද‌ා හරින්නේ නෑ. දියතලාව හමුද‌ා කඳවුර ඇතුළේ පැය 48 කින් වෙනම ඔවුන්ට ඉන්න ගොඩනැගිලි ඉදිවුණා. එතකොට ඔය තර්ජනයට වඩාත් ලක්වෙච්ච ප්‍රදේශවල ඉන්න දරුවෝ සති 2 ක් පමණ කාලයක් ඒ ස්ථානයේ රඳවා තබා ගන්නවා. ඔවුන්ව සමීපව නිරීක්ෂණය කෙරෙනවා. ඒ වගේම අර කොරෝනා ආසාදිත වුණා යැයි කියපු චීන ජාතික කාන්තාවත් සුව අතට හැරිලා. එතකොට ත්‍රාසජනක තත්ත්වයක් ලංකාව ඇතුළේ තියෙනවා කියලා අපට දැන් කියන්න බෑ. චීනයේ වුණත් රෝගය වැළඳිච්ච අයගෙන් සියයට 3 ක් වගේ අඩු ප්‍රතිශතයක් තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළින් තියෙන කෙනෙකුට කොරෝනා වෛරසයට මුහුණ දීමේ ශක්තිය තියෙනවා. අනික මියගිය අයගෙනුත් වැඩි පිරිසක් ඉතාම වියපත් අය. අපි බියට පත්විය යුතු නෑ. නමුත් ඒකෙන් පාස්කු ඉරිද‌ා සහරාන්ලාගේ මරාගෙන මැරෙන ප්‍රහාරය වගේම මේ වෛරසයෙනුත් අපේ ආර්ථිකයටත් විශාල බලපෑමක් වෙලා තියෙනවා. ඔවුන්ගේ අලුත් අවුරුදු නිවාඩුවට ඔවුන්ගෙන් වැඩි පිරිසක් තමන්ගේ ගමනාන්තය වශයෙන් තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකාව. ඉතින් අපේ රටේ සංචාරක ව්‍යාපාරයට මේකෙන් විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළේ වුණත් අරගෙන තියෙන විද්‍යාත්මක ක්‍රියාමාර්ග හරහා කොරෝනා වෛරසය තව කෙනෙකුට වැළදෙන්න තියෙන අවස්ථාව මග හරින්න. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ අවද‌ානමට අපි මුහුණ දීලා තියෙන්නේ ඉතාම අඩුවෙන්.   


ප්‍රශ්නය:- චීනයේ ඉන්න ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට ගේන්න ආණ්ඩුව කඩිනමින් ක්‍රියාත්මක වුණේ ඔබේ පුතත් චීනයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න නිසා?   


පිළිතුර:- මමත් දැක්කා සීයට තුනේ රතු අලි පැටව්ට අයිති වෙබ් අඩවි කිහිපයක ඔහොම කතාවක් කියලා තිබුණා. ඇත්තටම මගේ පුතා ඉගෙන ගන්න විශ්වවිද්‍යාලය නිවාඩු දුන්නේ ජනවාරි 8 වැනිද‌ා. පුතා එද‌ා රෑම එහෙන් පිටත්වෙන ශ්‍රී ලංකන් එයාර්ලයින් එකට අයිති ගුවන් යානයකින් 9 වැනිද‌ා පාන්දර වෙනකොට ලංකාවට ආවා. කොරෝනා ප්‍රශ්නය උද්ගත වෙන්නේ ඊට පස්සේ. කොරෝනා මතුවෙන කොට මගේ පුතා ලංකාවේ. තාමත් ඉන්නේ ලංකාවේ. මේක කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා චීනයේ ඉන්න ලාංකිකයන් කඩිනමින් ගෙන්වන්න පියවර ගත්ත නිසා. ඒ ක්‍රියාමාර්ගය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වෙච්ච නිසා සීයට තුනේ රතු අලි පැටව් සහ එන්ජීඕ කාක්කෝ ටිකට ඒක උහුලගන්න බැරිවුණා. ඒ ගත්තු පියවරේ වටිනාකම හෑල්ලු කරන්න බැලුවා මොකක්ද තියෙන ක්‍රමය කියලා. ඒකට තමයි මගේ පුතා අල්ල ගත්තේ. ඒ අය ඇත්තටම දැනගෙන හිටියේ නෑ ජනවාරි 9 වැනිද‌ා මගේ පුතා ලංකාවට ආවා කියලා.   


ප්‍රශ්නය:-අමාත්‍යාංශවලට සල්ලි නෑ. එදිනෙද‌‌ා නඩත්තු වියදම් විතරයි තියෙන්නේ. කොහොමද මෙහෙම ඉස්සරහට යන්නේ?   


පිළිතුර:- අපි මේ යන්නේ අතුරු සම්මත ගිණුමකින්නේ. එතකොට මේකේ මුදල් වෙන්වෙලා තියෙන්නේ ප්‍රාග්ධන වියදම්වලට වඩා අනෙකුත් සාමාන්‍ය වියදම් වලට. කෙහොමත් අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන් අලුත් ව්‍යාපෘති වලට යන්න වෙලා තියෙන්නේ අලුත් අයවැයත් එක්ක කියලා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තමයි මේ තත්ත්වය යහපත් අතට වෙනස් වෙන්නේ. 

 
ප්‍රශ්නය:-එතකන් අහස උසට ගිය බඩු මිල දිහා බල බලා හූල්ල හූල්ල ඉන්න ජනතාවට සිද්ධ වෙනවා?   


පිළිතුර:- නෑ. පහුගිය දවස්වල එළවළු මිල විශාල වශයෙන් ඉහළ ගියා. දැන් ආයෙමත් පහළ වැටිලා තියෙනවා. ඒ පහළ වැටිච්ච එක ගැන කතා කරන්න කවුරුවත් නෑ. ඒකයි වෙලා තියෙන වරද. අනික එළවළු මිල ඉහළ ගියේ අපි ආණ්ඩුව ගත්ත නිසා නොවෙයිනේ. එළවළු මිල තීරණය කරන්නේ රජය නොවෙයි. වෙළෙඳපො​ළේ ඉල්ලුම වැඩි වෙනවා. සැපයුම අඩු වුණා වැස්ස නිසා. ඒ නිසා මිල වැඩි වුණා. දැන් සැපයුම වැඩිවෙලා තියෙනවා. දැන් මිල අඩුවෙලා තියෙනවා. අවුරුදු සමය කියන්නේ එළවළු ඇතුළු බොහෝ දේවල්වල මිල පහත වැටෙන කාලයක්.   


ප්‍රශ්නය:-රජය අවශ්‍ය මට්ටමින් මේ ප්‍රශ්නවලට මැදිහත් නොවීම තමයි මෙතැන තියෙන ප්‍රශ්නය?   


පිළිතුර:- එහෙම කියන්න බෑ. දැන් වී අස්වැන්න මිලදී ගන්න රජය මැදිහත් වෙනවා. රුපියල් 50 ට වී මිලදී ගන්නවා. එමගින් වී ගොවියව කොල්ලකන්න තියෙන අවස්ථාව අහුරලා තියෙනවා. සෑම දිසාපති කෙනෙකුටම ලිඛිතව උපදෙස් දීලා තියෙනවා දැනට අස්වනු කැපෙන දිස්ත්‍රික්කවලට මුදල් වෙන් කරලා තියෙනවා. හාල් මිල ඉහළ ගියත් අපි රටින් හාල් ගෙනාවේ නෑ. එහෙම ගෙනාවා නම් මේ අස්වැන්න නෙළන කාලේ වී ගොවියට සාධාරණ මිලක් දෙන්නත් විදියක් නෑ. ඒ වගේ අපි වඩාත් සැලකිලිමත් වෙන්නේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගන්නයි. ඒ පැත්ත අපි වැඩියෙන් බලන නිසා තමයි සමහරු තෝරන ක්‍රියාමාර්ග ඒ කියන්නේ පිටරටින් ගෙන්වලා හරි මිල බස්සමු වගේ තැනකට අපි නොයන්නේ.   


ප්‍රශ්නය:-ඔබම කියනවා අමාත්‍යාංශවලට මුදල් නෑ කියලා. ඔබ මාධ්‍යයට කියනවා වාලච්චේන කඩද‌ාසි කම්හල යළිත් ආරම්භ කරනවා කියලා. සල්ලි නැතිව ඕවා කොහොමද කරන්නේ?   


පිළිතුර:- ලෝකයේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ සිතිවිලි වලින් මිසක් මුදල් වලින් නොවෙයි. මිනිහෙකුට ‘මම මේ දේ කරනවා’ කියලා හිතෙන වෙලාව තියෙන්නේ. ඒක තමයි ආරම්භය. ඒක තීරණය වෙන්නේ මුදල් වලින් නොවෙයි. වාලච්චේන කඩද‌ාසි කම්හල අපි පහුගිය 1 වැනිද‌ා ඒකේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. ඒකට අපි ශතයක්වත් වියදම් කරලා නෑ. යුද හමුද‌ාවේ ඉංජිනේරු බළකාය ඒකට මැදිහත් වෙනවා. නාවික හමුද‌ාවේ ඉංජිනේරු බළකාය ඒකට සම්බන්ධ වෙනවා. ඒ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්න. ඒ වගේම ඒ යන්ත්‍ර සූත්‍ර යථා තත්ත්වයට පත් කරන්න. ඔවුන් අපට පොරොන්දු වෙලා තියෙනවා මාසයක් ඇතුළත වාලච්චේන කඩද‌ාසි කම්හල ක්‍රියාත්මක වන තැනට අරගෙන දෙනවා කියලා. අපිට ඒකට සුළු මුදලක් විතරයි වියදම් වෙන්නේ. ආරක්ෂක හමුද‌ා සාමාජිකයන්ට අවශ්‍ය දේවල් අරගෙන දෙන්න යන වියදම පමණයි.   


ඒ එක්කම අපි බලාපොරොත්තු වෙනවා වාලච්චේන කඩද‌ාසි කම්හල ඒ තත්ත්වයට ගෙනාවම බැංකු ණයක් ලබාගන්න. ඒ බැංකු ණය ඉදිරි කටයුතු වලට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය බවට පත්කරගන්න. අනිවාර්යයෙන්ම අපිට පුළුවන් තව මාසයක් එකහමාරක් යනකොට වාලච්චේන කඩද‌ාසි කම්හල වැඩ කරනවා දකින්න. ඒකට උවමනා කරන්නේ අධිෂ්ඨානයයි. ඒ විතරක් නොවෙයි ඔඩ්ඩුසුඩාන්වල තියෙනවා පිඟන් සංස්ථාවට අයිති වැඩ බිමක්. ඒකේ උළු සහ ගඩොල් විශාල වශයෙන් නිපදවලා තියෙනවා. ඒකට ඉතාම සුදුසු පසක් එහෙ තියෙන්නේ. ඒක පහුගිය කාලේ වහලා ද‌ාලා තියෙනවා. මාර්තු මාසයට කලින් අපි ඒක පටන් ගන්නවා. ඒ වගේම පිඟන් සංස්ථාවටම අයිති තවත් පෝසිලේන් හදන කර්මාන්ත ශාලා 2 ක් අපි ආරම්භ කරනවා. ඒවත් අතහැරලා ද‌ාලා තියෙන්නේ. අපි ඒවා නැවත ආරම්භ කරනවා. ඊළඟට දැනට අපි සාකච්ඡා කරගෙන යනවා කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාව දැන් කරන්නේ ඉන්දියාවෙන් සිමෙන්ති ගෙනල්ලා පැකට් කරලා විකුණන එක. ඒ වෙනුවට දේශීය හෝ විදේශීය ආයෝජකයන් සම්බන්ධ කරගෙන ඒ කර්මාන්ත ශාලාව පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට පාර්ශව කිහිපයක් කැමැත්ත පළකරලා තියෙනවා. සමහර ඒවා රජය හැටියට අපිට තනියම කරන්න බැහැ. එ් නිසා අවශ්‍ය තැන්වලට අපි පෞද්ගලික අංශයේ සහභාගිත්වය ලබා ගන්නවා රජයේ අයිතිය හා වගකීම තියාගෙන. මිනිරන් වුණත් අපි කරන්නේ හාරලා අගය එකතු කිරීමකින් තොරව පිටරට යවනවා. ඒ වෙනුවට අපි දැන් සාකච්ඡා කරගෙන යනවා අගය එකතු කිරීමේ සමාගමක් වෙනම පිහිටුවන්න. පතලේ අයිතිය සංස්ථාවට තියෙන ගමන් ඒ ගන්න මිනිරන් එක පාරටම රටින් පිට කරන්නේ නැතිව ඒකට අගය එකතු කරන වැඩේට රාජ්‍ය ආයතනයයි පෞද්ගලික අංශයයි එකට එකතු වෙච්ච සමාගමක් පිහිටුවලා ඒ සමාගමෙන් අගය එකතු කරලා ඉහළ මිලකට අපේ මිනිරන් ජාත්‍යන්තර වෙළෙඳපොළට යවන්න. ඒවා අමාරු වැඩ නොවෙයි. ඒවාට රජයේ මුදල් බිලියන ගණනින් වැයවෙන වැඩ නොවෙයි. ඒවා බොහොම සුළු මුදලකින් ගොඩගන්න පුළුවන් වැඩ.   


මට මුලදී මේ අමාත්‍යාංශය ගැන එච්චර සතුටක් තිබුණේ නැහැ. හැබැයි මම ගොඩාක් සතුටෙන් මේ අමාත්‍යාංශයේ වැඩ කරන්නේ. මට පේනවා මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙනකොට දේශීය ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ එක්ක කතාකරන කොට ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නම ඔවුන් නැවත නැගිටිනකොට වැටිච්ච රජයේ කර්මාන්ත ශාලා යළිත් ගොඩගන්න පුළුවන් කියලා දැනෙන කොට මේක තමයි මම වැඩියෙන්ම කැමැති අමාත්‍යාංශය කියලා මම විශ්වාස කරනවා.   


ප්‍රශ්නය:- මේ අමාත්‍යාංශය ලැබුණාම ඔබ සතුටු නොවුණේ ඔබ හිතුවා ඔබට කැපිල්ලක් කියලා?   


පිළිතුර:- නෑ. නෑ. නෑ. කැපිලි කියන ඒවා මට එච්චර අද‌ාළ නෑනේ. මොකද අපි සම්මාන බලාගෙන වැඩ කරන අය නොවෙයි. දේශපාලනයේ කෘතවේදීභාවයනේ නැතිම. ඒ නිසා ඒවා එච්චර අද‌ළ නෑ. සාමාන්‍යයෙන් මම දෙයක් කරන්නේ යමක් බලාපො​රොත්තුවෙන් නොවෙයි. ජනවාරි 8 වැනිද‌ා මහින්ද රාජපක්ෂ පැරදිලා ගෙදර යනකොට 10 වැනිද‌ා ඉඳන් යළිත් ඒ වෙනුවෙන් හිට ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩුවක් ආවොත් මට මේ අමාත්‍යාංශය දෙන්න කියන එකඟතාවයකට අනුව නොවෙයි. පරගැති ආණ්ඩුවක් තිබ්බා. ඒක එළවන්න ඕනැ. එය කළ හැකි වෙන්නේ මහින්ද රාජපක්ෂ නැවත ගෙන ඒමෙන්. ඒක කරන්න ඕනැ. ඒක කරන්නේ රටේ උවමනාවට මිසක් වෙන දේකට නොවෙයි. ඉතින් ඒ නිසා ලැබෙන දේ ගැන සතුට නොසතුට මට අද‌‌‌ාළ නැහැ. මොක ලැබුණත් ඒකෙන් කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා.   


ප්‍රශ්නය:- ආණ්ඩුව මහ මැතිවරණයෙන් තුනෙන් දෙක ඉල්ලනවා. පුළුවන් වෙයිද?   


පිළිතුර:- මහ මැතිවරණයෙන් තුනෙන් දෙක ගන්න පුළුවනි. මහ මැතිවරණයෙන් පොඩි හරි අඩුපාඩුවක් ආවොත් මහ මැතිවරණයෙන් පස්සේ නිවැරැදි ක්‍රමයට තුනෙන් දෙක පුරවන්නත් පුළුවන්.   


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබලාම කියපු අන්තවාදයට යළිත් අවස්ථාවක් ලැබෙනවා?   


පිළිතුර:- නෑ නෑ කිසිසේත්ම නෑ. මොන අන්තවාදියකුවත් ගෑවිච්චවත් නැති ආණ්ඩුවක් අපි මහ මැතිවරණයෙන් පස්සේ හදන්නේ.   


ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ හදිසියේම රට ගියා. ඒ නිසා ගැටුමක් තියෙන බව වසන් කරන්න බැරි වුණා?   


පිළිතුර:- මම දන්න විදියට අපි මේ සාකච්ඡාව කරන මොහොත වන විට එතුමා ලංකාවට ඇවිත්. ඒකෙන් ඔබේ ප්‍රශ්නය අවලංගු වෙනවා.   


ප්‍රශ්නය:- නෑ නෑ මම ඇහුවේ ආපු එක ගැන නොවෙයි ගිය එක ගැනයි?   


පිළිතුර:- ඔහු කොහොමත් ප්‍රධාන මැතිවරණයක් අවසන් වුණාම ඔහුගේ බිරිය සහ දරුවන් ඉන්නේ විදේශගතවනේ. ඒ නිසා ඒ අයත් සමඟ කාලය ගතකරන්න සාමාන්‍යයෙන් බැසිල් රාජපක්ෂ මහත්මයා මේ විදියට යනවා. ඒක හැම ප්‍රධාන මැතිවරණයකින් පස්සේම දකින්න පුළුවන් දෙයක්.   


ප්‍රශ්නය:- මහ මැතිවරණයට යන්නේ පොහොට්ටුවෙන් ද? වෙනත් සන්ධානයකින් ද?   


පිළිතුර:- අපේ නම් අදහස අප යා යුත්තේ සන්ධානයකින්. සන්ධානයේ ලකුණ පොහොට්ටුව වුණාට කමක් නෑ. සන්ධානයකින් තමයි යන්න ඕනැ.   


ප්‍රශ්නය:-පක්ෂයක ලකුණකින් කොහොමද සන්ධානයක් හැදෙන්නේ?   


පිළිතුර:- ඒ පක්ෂයට පුළුවන් ඒ ලකුණ සන්ධානයට පිරිනමන්න. මොකද ලකුණ කියන එක දැන් ඕනෑ තරම් ඔප්පු වෙලා තියෙනවනේ. අද ලකුණ තීරණය කළොත් මාසෙන් මුළු රටම දන්න ලකුණක් වෙනවා. මහරගම බයිසිකලය දිනුවේ පොහොට්ටුව නිසායැ. මහින්ද රාජපක්ෂ නිසා. බයිසිකලය තමයි ලකුණ කියලා සතියයි ගියේ. දැන් මේ තියෙන්නේ සමාජ මාධ්‍ය දියුණු වෙච්ච යුගයක්. ඒ නිසා ලකුණකට මරා ගන්නවා කියන්නේ අමු ගොං පාට් එකක්.   


ප්‍රශ්නය:-හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුවෙන් තරග කරන බව කියනවා.   


පිළිතුර:- ඉතින් මගෙන් මොකක්ද අහන්නේ?   


ප්‍රශ්නය:- ඒ ගැන ඔබේ අදහස?   


පිළිතුර:- කිසිවක් නොකියමි.   

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්