අර්බුද විසඳාගෙන ආණ්ඩුව එජාපයට


දින 52 ක් පුරා රට අක්‍රිය කළ දේශපාලන කුමන්ත්‍රණය සහ ව්‍යවස්ථා අර්බුදය පසුගිය ඉරිදා නිමාවට පත් වූයේ රනිල් වික්‍රමසිංහ යළිත් අගමැතිධුරයේ දිවුරුම් දීමත් සමඟය.


ඊට කළින් දින රාත්‍රියේ ජනපති සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුව සිදු වූ අතර අගමැති දිවුරුම් දීමේ අවස්ථාවට අදාළ ක්‍රියා පටිපාටිය කතා බහ වූයේ එහිදී ය. ඒ අනුව තෝරා ගත් 18 දෙනකු දිවුරුම් දීමේ අවස්ථාවට එක් වූ අතර එජාප ප්‍රබලයන් කිහිප දෙනකුගේ නම් ඉන් ඉවත්ව තිබිණ.


දිවුරුමෙන් අනතුරුව ජනපති සහ එජාප පිරිස් අතර හමුව ද පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා කළ ප්‍රහාරාත්මක දේශනය විශේෂත්වයක් ගත්තේය.


එ් කතාව ප්‍රචාරය වීමත් සමඟ මධ්‍යස්ථ බොහෝ මිනිසුන් ඊට දොස් කීමට පටන් ගත් බව පෙනිණ. අගමැති බිරිඳ ළඟ තබාගෙන රාජතාන්ත්‍රික නොවන අයුරින් ක්‍රියා කිරීම ගැන ද ජාතික සහ ජාත්‍යන්තර වික්ෂිප්තභාවය ද පළ විය.


කෙසේ නමුත් අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා ඉතා සෞම්‍ය හා රාජතාන්ත්‍රික මට්ටමේ ගෞරවනීය පිළිතුර ජනපතිගේ දේශනය වෙනුවෙන් රටට ඉදිරිපත් කළේය. එ් ක්‍රමවේදය කාගේත් පැසසුමට ලක්විය.


සඳුදා එජාපෙ ජන රැලිය ගෝල්පේස් පිටියේ දී සංවිධානය වී තිබිණ. රැලිය පැවැති මුළු පිටිය පුරා පමණක් නොව දෙපැත්තේ තිබු මාර්ගවල ද ජනතාව පිරි ඉතිරි ගියහ. කොල්ලුපිටිය ආසන්නයෙන් පටන්ගත් ජනගඟ අවසන්ව තිබුණේ ලේක්හවුස් වට රවුම ආසන්නයෙනි.


ජන රැලියේ දී ඊට කළින්දා ජනපති කළ රළු කතාවට කිසිදු ප්‍රතිචාරය නොදැක්වීම ද විශේෂත්වයක් විය. මීට පෙර ගෝල්පේස් පිටිය පිර වූයේ පොහොට්ටුවය. එහෙත් ගෝල්පේස් හෝටලයේ සිට මීටර් 200 ක් ජනපති කාර්යාලය දෙසට යොමුවන ලෙස ඔවුන් වේදිකාව ගසා තිබුණ ද එජාපෙ වේදිකාව මීටර 50 ක් පමණක් ඉදිරි පසින් ඉදිකර තිබීම විශේෂත්වයකි.


ඉන් අනතුරුව පැන නැඟුණු අර්බුදය වූයේ කැබිනට් මණ්ඩලය 30 කට සීමා කර දිවුරුම් දීමය. එය ජනාධිපතිවරයා සමගත්, එජාප අභ්‍යන්තරයේත් යම් අර්බුදකාරි ස්වභාවය ගත්තේය. එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු තම රුචිකත්වය මත විවිධ අමාත්‍යාංශ ඉල්ලීම සහ රංගේ බණ්ඩාර ඇතුළු අලුත් අය කිහිප දෙනකු ඇතුළත් කිරීමට එජාපය තීන්දු කිරීම මෙන්ම ශ්‍රීලනිපයෙන් පැමිණි පිරිසට තනතුරු දීමේ උත්සාහය ද මෙහිදී අවධානයට ලක්විණ.


තත්ත්වය ඉතා සමබර ලෙස විසඳා ගැනීමට අගමැතිවරයා දැඩි වෙහෙස ගත්තේය.


බ්‍රහස්පතින්දා උදෑසන නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන් අතර එය ඉපැරණි සාම්ප්‍රදායිකත්වය තුළ සිදු නොවී එක් එක් ඇමැතිවරයා වෙන වෙනම කාමරයකට ගෙන දිවුරුම් දීම ද මෙරට දේශපාළන සම්ප්‍රදායට අභියෝග කළ එමෙන්ම කැබිනට් සාමුහිකත්වය උල්ලංඝනය වූ කනගාටුදායක අවස්ථාව බව බොහෝ දෙනෙක්ගේ විග්‍රහය විය.


ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස වූ නාම ලේඛනය ද අදාළ පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුවට දී තිබිම ද විශේෂත්වය වූ අතර එහි තිබු නම් වලින් වැඩිම නම් සංඛ්‍යාවකට හිමිකම් කීවේ ශ්‍රීලනිප සාමාජිකයන්ගේ බව ද කියැවේ.


දිවුරුම නිමවා අරලියගහ මන්දිරයට පැමිණි අගමැතිවරයා, කැබිනට් ඇමැතිවරුන් හා එහි පැමිණ සිටි සෙසු එජාප සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවට එක් විය.
‘‘ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ආයතන මෙන්ම නීතිය හා සාමය වගකීම ජනාධිපති තබා ගැනීමට උත්සාහ කිරීම ව්‍යවස්ථාවට අනුකූළ ද? එතුමාට ළඟ තියාගන්න පුළුවන් ඇමැතිකම් දෙකයි?’’ ඇමැතිවරු කිහිප දෙනෙක් මුලින්ම ප්‍රශ්න කළහ.


‘‘එජාපයේ ඉදලා කුමන්ත්‍රණකරුවන් ළඟට ගිය අයට ඇමැතිකම් දීපු ජනාධිපතිතුමා ශ්‍රීලනිපයේ සිට නීත්‍යානුකූල ආණ්ඩුවට පැමිණි පිරිසට ඇමැතිකම් දෙන්න බැහැ කීම පුදුමයක්’’ චමින්ද විජේසිරි කීවේය.


‘‘ඔය සියලු ප්‍රශ්න කතා බහ කර බේරගන්න පුළුවනී. අලුත් ක්‍රමවේද වලින් ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් හොයන්න බැරි වෙන්නේ නැහැ.’’ අගමැතිවරයා කීවේ ඉතා සැහැල්ලුවෙනි.
‘‘මාස තුනේ අතුරු සම්මත ගිණුම කවදද ගේන්නේ..?’’ හේෂා විතානගේ විමසීය.


‘‘අතුරු සම්මත ගිණුම සිකුරා දා දාලා එදාටම සම්මත කර ගන්නවා. ස්ථාවර නියෝග අත්හිටුවලා හදිසි කටයුත්ත ලෙස එවැනි දේ කළ හැකියි. මහින්දට විරුද්ධව මුල් විශ්වාසභංග යෝජනා දෙක අප නීත්‍යානුකූලව සම්මත කළේත් ඒ ක්‍රමයටයි...’’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘‘එජාපෙ නම් කිහිපයක් කැබිනට් මණ්ඩලයෙන් කැපී යාම ප්‍රශ්නයක් නේද..? නවීන් දිසානායක විමසීය.


‘‘ෆොන්සේකාට දෙන්න බැහැ කිව්වා. රංගෙ බණ්ඩාරට ඉඩ නැහැ කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදිව මේවාත් අපට විසඳ ගන්න බැරි වෙන එකක් නැහැ’’ අගමැතිවරයා පැහැදිළි කළේය.
‘‘හොඳ ඇමැතිකමක් දීලත් රවි එපා කිව්වේ ඇයි..? දයා ගමගේ විමසීය.


‘‘ඔහු මුදල් ඉල්ලුවා... එතනදී ප්‍රශ්න ආවා... කොහොම කළත් රවි කැබිනට් එකේ ඉදීම අත්‍යාවශ්‍යයි... ඔහු ප්‍රබලම ඇමැතිකම ඉක්මණින් ලබා ගනිවි...’’ අගමැතිවරයා කීවේය.
‘‘දැන් අපට ජනාධිපතිතුමාත් එක්ක එකට යන්න පුළුවන්ද? කියා මිනිස්සු අහනවා... පුළුවන් කියා අප දෙපාර්ශවයම රටට ඔප්පු කරන්න ඕනෑ... ගයන්ත කරුණාතිලකගේ අදහස එය විය.


‘‘හොර අගමැතිකමේ දිවුරුම් දී මෛත්‍රීටත් කොකා පෙන්නලා දින දෙකකින් පොහොට්ටුවේ සාමාජිකත්වය මහින්දයි තව මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසකුයි ගත්තා... ඊට අදාළ සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා...’’


‘‘ඒ නිසා දැන් අගමැතිකම හෝ විපක්ෂනායකකම හෝ විතරක් නොව, මහින්දටයි නඩයටයි මන්ත්‍රීකමුත් ෂුවර් නැහැ. එහෙම කරන්න ශ්‍රීලනිප හා එජනිස නායකයන්ට කොන්දක් තිබෙනවාද? කියලායි දැන් රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ...’’ ලක්ෂ්මන් කිරිඇල්ල කී විට සියලු දෙනාම උස් හඬින් සිනාසෙන්න වූහ.


‘‘දැන් මහින්දටයි, මෛත්‍රීටයි කොච්චර දුර එකට යන්න පුළුවන් වේවිද..? චමින්ද විජේසිරි විමසීය.


‘‘මෛත්‍රීට කොකා පෙන්නලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙනත් දැන් ගත්තේ නැහැ කියා රටට බොරු කියනවා. මේ මිනිස්සු එක්ක කොහොම විශ්වාසය තියා ජනාධිපති වැඩ කරාවි ද කියා තේරෙන්නේ නැහැ.

 


එජාපය එතුමා දිනවා ජනපති කර සියලු ගෞරව දී සහජීවනයෙන් ඉදිරියට ගිය හැටි කොච්චර වටිනව ද කියා ජනාධිපති මහින්ද හා නඩයත් එක්ක ටික දවසක් වැඩ කර ගෙන යනවිට තේරේවි...’’ දයා ගමගේ කීවේය.


‘‘අගමැතිවරුන් දෙන්නෙකු හිටපු රටට දැන් විපක්ෂ නායකවරුන් දෙන්නෙකු ඉන්නවා... කතානායකට ගහන්න හදපු, කුණු හරුපෙන් බැණ, වතුරවක්කර, පුටුව පෙරළලා, මිරිස් කුඩු ගහලා, මයික් ඇතුළු තාක්ෂණික උපකරණ කඩා, පහත් විදියට මඩ ගහලා, අපහාස කළ දිනේෂ් ගුණවර්ධනලා ඇතුළු පොහොට්ටු කාරයන් දැන් පාර්ලිමේන්තුව ඇතුළෙදි කතානායකගේ තීන්දුව අවසන් තීන්දුවයි කියනවා’’ නවීන් දිසානායක කීවේ කාගේත් සිනා මැදය.


‘‘ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගය අනුව හමුදාවල සිය ගණනක් බලෙන් වගේ විශ්‍රාම ගන්වන්න හදනවා. එ්කෙන් රණවිරුවන්ට විශාල කෙනෙහිළිකමක් වෙනවා. ඒ වරද එජාපෙ ආණ්ඩුවේ එකවුන්ට් එකට දාන්නයි, මේ ගොල්ලන්ගේ සැළසුම වෙලා ඇත්තේ. රණවිරුවන් රැක ගැනීමට අප දැඩි බර දාන්න ඕනෑ? ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කී විට අගමැතිවරයා ඊට දැඩි අවධානය දැක්වූවේ නළල රැළි ගන්වමිනි.