අර්බුද මැද අර්බුද


වසර අවසානයත්, නත්තල් නිවාඩුවත් හේතුවෙන් තරමක නිහැඬියාවක් තිබූ දේශපාලන කරළිය ගිය සතියේ යළිත් උණුසුම් විය. නිවාඩුව ගත කරන්නට පිටරටවල හා සිය ගම්බිම්වලට ගොස් සිටි මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ගිය සතියේ කොළඹට පැමිණ දේශපාලන කටයුතුවල යෙදී සිටිනු දක්නට ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද මෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදද ගිය සතියේ කරළියට පැමිණ තිබුණේ දේශපාලන පොරපිටිය උණුසුම් කරමිනි.


දින ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබූ ඇමැතිවරුන්ගේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ජනපති මෛත්‍රී විසින් ගිය සති අන්තයේ නිකුත් කරනු ලැබීය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත සකස් කෙරුණු විෂය බෙදීම් ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණයට යැවීමට පෙර ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා වෙත ඊමේල් පණිවිඩයකින් යවා තිබුණි. ජනාධිපතිවරයා ඒ වනවිට පෞද්ගලික සංචාරයක් සඳහා පවුලේ අය සමග තායිලන්තයට ගොස් සිටි බැවිනි. ඒ අනුව ගැසට් නිවේදනය සිකුරාදා රාත්‍රියේ නිකුත් කෙරුණු අතර පොලිසියත් රජයේ මුද්‍රණාලයත් ජනාධිපතිවරයා යටතට පත් කර ගෙන තිබිණි. ලේක්හවුස් ආයතනය හා රජයේ රූපවාහිනි ආයතන දෙක ජනාධිපතිවරයා යටතට ගැනීමේ සූදානමක් ඇති බවට කලින් සිට ආරංචි පැතිර ගියද රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල මංගල සමරවීර ඇමැතිවරයාගේ මුදල් අමාත්‍යාංශය යටතට පවරා තිබිණි. ලක්ෂ්මන් කිරි ඇල්ල ඇමැතිවරයා යටතට වසා දමා ඇති රාජ්‍ය ආයතන කිහිපයක් පමණක් පවරා තිබීම සම්බන්ධයෙන්ද විවිධකතා පැතිර ගියේය. තම අමාත්‍යාංශයට බෝඩ් ලෑලිවලට පමණක් සීමාවූ ආයතන පවරා ඇත්තේ තමාගෙන් පළිගැනීමට බවට කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍ය වෙත ද ප්‍රකාශ කර තිබිණි.


පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය ඉරිදා යළි දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරයා සඳුදා උදේ මහනුවර බලා පිටත්ව ගියේ උදාවන නව වසර වෙනුවෙන් දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීම වෙනුවෙනි. කොළඹ සිට ගුවනින් නුවරට ගිය ජනාධිපතිවරයා නුවර ජනපති මැදුරට ගොස් මුලින්ම දළදා වහන්සේ වැඳ පුදා ගන්නට මාළිගාවට ගියේය. ජනාධිපතිවරයා සමඟ එස්. බී, දිසානායක මන්ත්‍රීවරයාත් මධ්‍යම හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ එදිරිවීර වීරවර්ධන හිටපු පළාත් සභා ඇමැතිවරයාත් පැමිණ සිටියහ. දළදා වහන්සේගේ ආශිර්වාද ලබා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහ නාහිමියන්ද බැහැ දුටු ජනාධිපතිවරයා අස්ගිරි විහාරයට යෑමට සැලසුම්කර තිබුණද අස්ගිරි මහ නාහිමියන් දිවයිනෙන් බැහැරව සිටි නිසා අස්ගිරියට නොගියේය. අස්ගිරිය ගෙඩිගේ විහාරයට ගොස් ජනාධිපතිවරයා වෙඬරුවේ උපාලි අස්ගිරි අනුනාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ රජයේ අනුග්‍රහය ඇතිව විහාරස්ථානයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු ගැනද සොයා බලමිනි. ඍජු තීන්දු ගන්නා හිට්ලර් වැනි නායකයකු මේ රටට අවශ්‍ය බවට වෙඬරුවේ උපාලි අනු නාහිමියන් මීට පෙර අනු ශාසනාවක්ද කර තිබූ ප්‍රකාශයේ ඇත්ත රහසද අනු නාහිමියන් ජනාධිපතිවරයා හමුවේ හෙළිකර තිබූ බව වාර්තා විය.


ජනාධිපතිවරයා එදින දහවල් කෑමට මහනුවර මන්දිරයට ගියේ එස්. බී., සරත් ඒකනායක, එදිරිවීර ඇතුළු පිරිසත් සමඟිනි. පසුගිය දින කිහිපයේ ශ්‍රීලනිප අභ්‍යන්තරයේ හා පක්ෂ මූලස්ථානයෙ සිදුවූ ඇතැම් සිදුවීම් ගැන ජනාධිපතිවරයාට පිටරට සිටියදීම ආරංචි ලැබී තිබිණි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා ඔවුන් සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ජනාධිපතිවරයා කල් තියාම තීරණය කර තිබිණි. රෙජිනෝල්ඩ් කුරේ හිටපු ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ පැවැති එවැනි සාකච්ඡාවක් ගැන ජනාධිපතිවරයාට තොරතුරු ලැබී තිබුණේ මීට සති කිහිපයකට පෙරය. ආණ්ඩුකාරවරුන් ඉවත් කර අලුතින් පත් කරන්නට ද මෙම සාකච්ඡාව පාදක වූ බව සමහරුන්ගේ මතය වි ඇත. ඉකුත් 31 වැනිදා මහනුවර ගොස් ජනාධිපති මන්දිරයට දවල් කෑමට ගිය අවස්ථාවේදීද ජනාධිපතිවරයා එහි සිටි පිරිස සමඟ කියා තිබුණේ තමන් පක්ෂය තුළ පුළුල් ප්‍රතිසංවිධානයක් ළඟදීම කරන බවය. බ්‍රහස්පතින්දා උදේ පක්ෂ මූලස්ථානයට යන බව කී ජනාධිපතිවරයා කීවේ එදින හැන්දෑවේ මධ්‍යම කාරක සභාව රැස්වී වැදගත් තීන්දු රැසක් ගන්නා බවය. පක්ෂ මූලස්ථානය තුළ සිටිමින් තමාට එරෙහිව කටයුතු කරන රජික කොඩිතුවක්කු ඇතුළු පිරිස එළවා දමන බව ද ජනාධිපතිවරයා එහිදී දැඩිව ප්‍රකාශ කර තිබිණි.


මෙ අතර ජනාධිපතිවරයා එදිනම හවස අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය ද වැඳ ආශිර්වාද ලබාගෙන හැන්දෑවේ පොළොන්නරුවට ගියේ පහුවදා සෝමාවති පුද බිමට ගොස් නව වසරට ආශිර්වාද ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී රැස්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම ආරම්භ වූයේ රාත්‍රි 7.20ට පමණය. පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පිළිගැනීමේ කතාව කර වාර්තාවද ඉදිරිපත් කළ පසු ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන සාකච්ඡා විය. එහිදී ජනාධිපතිවරයා විනාඩි 45ක් පමණ කතාවක් කළේ ආන්දෝලනාත්මක කරුණු කාරණා රැසක්ද හෙළිදරව් කරමිනි. මම ඊයේ පක්ෂ මූලස්ථානයට ගියා. අද උදෙත් ගියා. හැබැයි ඒකෙ ක්‍රියාකාරිත්වය ගැන මම සතුටු නැහැ. මම රජිත කොඩිතුවක්කු එතනට යැව්වෙ පක්ෂයෙ වැඩ ටික කරන්න. හැබැයි එතන ඉඳන් කර තියෙන්නෙ මට විරුද්ධව වැඩ කරපු එක. ජනාධිපති කාර්යාලයේ සේවකයින් හතර දෙනකු මගේ අනුදැනුමකින් තොරව එතැන වැඩට ගෙන්වගෙන. මම ඒ අය වහාම ආපසු යැව්වා. 2014 දි මම මහලේකම් වෙලා ඉද්දි අයින් කරපු මිනිහෙකුත් එතන වැඩ. හොයල බැලුවම එයා නගර සභාවෙනුත් පඩි අරන්. පක්ෂ මූලස්ථානයෙනුත් පඩි අරන්. මම ඒ කෙනා එළවා දැම්මා. මට විරුද්ධව වැඩ කරන ප්‍රධාන තැන බවට අද පක්ෂ මූලස්ථානය පත්වෙලා යැයි ජනාධිපතිවරයා කීවේ තරමක කේන්තියකින් යුතුවය. ඒ සමඟම ජනාධිපතිවරයා කීවේ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුද පක්ෂ මූලස්ථානයේ සිට තමාට එරෙහිව කටයුතු කර ඇති බවය.


අද චන්ද්‍රිකා මැතිනිය වැඩ කරන්නෙ යූඑන්පිය වෙනුවෙන්. මට යූඑන්පිය ගැන ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නය තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ එක්ක. අද මට විරුද්ධව කට්ටියක් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ ඔක්කොම මම ගාව තියනවා. එතනදි ඒ අය කිව්වා ඔවුන්ගේ සහායට ආණ්ඩුකාරවරයෙකුත් ඉන්නවා කියලා. මාධ්‍යයෙන් ඇහුවම කවුද කියල රෙජිනෝල්ඩ් කුරේ කියල කිව්වා යැයි ජනාධිපතිවරයා කියද්දි රෙජිනෝල්ඩ් කුරේද මධ්‍යම කාරක සභාවේ සිටියේය. රෙජිනෝල්ඩ් ඔයාත් දකින්න ඇතිනෙ යැයි ජනාධිපතිවරයා රෙජිනෝල්ඩ් දෙස බලමින් කියද්දි ඔහු කීවේ ඔව් සර් මාත් දැක්කා කියාය. රෙජිනෝල්ඩ් ඒ ගැන ඊට වඩා යමක් කියන්නට නොගියේය.


ඔයාල දන්නවද අද මට විරුද්ධව මාධ්‍ය හමුව තියපු අය ඒ ඉවර වෙලා දවල් කෑමට ගියේ කොහෙද කියලා. ඒ අය දවල් කෑමට ගියෙ රාජිත සේනාරත්නගෙ ගෙදර. එතනදි කියල තියනවා ඔය විදියට දිගටම කරගෙන යන්න අපි සහාය දෙන්නම් කියලා. දැන් ඒ අය චන්ද්‍රිකා මැතිනියගෙ ගෙදර සාකච්ඡාවක ඉන්නෙ යැයි ජනාධිපතිවරයා කීය.


සංවිධායකවරුන් ඉවත්කර අලුතින් සංවිධායකයින් පත් කරන බව කී ජනාධිපතිවරයා පොදුජන පෙරමුණ සමග නව සන්ධානය ගොඩනැගීම ඉක්මන් කරන බව කීවේ සන්ධාන හැදීමේ ඉතිහාසය ගැනද සිහිපත් කරමිනි. 2004 දී පොදුජන එක්සත් පෙරමුණ ජවිපෙ සමග සන්ධාන ගතවීමට පැවැත්වූ සාකච්ඡා ගැනද ජනාධිපතිවරයා කීවේ සන්ධාන පිහිටුවීමට ඇති බාධා ගැනද සිහිපත් කරමිනි. සන්ධාන ගහන එක ලේසි නෑ. අපි ජේවීපී එකත් එකක් සන්ධාන ගහද්දි සවස ඉඳන් පසුවදා එළිවෙනකම් කතා කළා. සාකච්ඡා මාස ගණන් ඇදිලා ගියා. උදේ ඉඳන් රෑ වෙනකම් සාකච්ඡා කළාට පසුවදා උදේ චන්ද්‍රිකා මැතිනියගේ දරුවො දෙන්නා එතුමියගෙන් අහල තියෙනවා තාත්ත මරපු ජේවීපී අයත් එක්කද සන්ධාන ගහන්නෙ කියලා. ජනාධිපතිවරයා කීය.


කොතරම් අසීරු වුවද පුළුල් සන්ධානය පොහොට්ටුව සමඟ ගොඩනඟාගත් බව ජනාධිපතිවරයා කීවේය. මහින්ද සමරසිංහ, සියඹලාපිටිය, ශ්‍රියාණි වි​ෙජ්වික්‍රම ඇතුළු පස් දෙනකු එදින මධ්‍යම කාරක සභා රැස්වීමට ලිපියක් එවා තිබුණේ නොඑන බව දන්වමිනි.


මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හැඟීම්බර කතාවක් කරමින් කීවේ තමා පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවය. පසුගිය කාලය පුරාම තමා මුහුණ දුන් අභියෝග ගැනද සඳහන් කළ මහලේකම්වරයා කීවේ හිටපු ජනාධිපතිනියද තමාට බැණ වදිමින් පිටු තුනක ලිපියක් එවා ඇති බවය. එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාටත්, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා රෝහණ ලක්ෂ්මන් යන පිරිසටද එවා තිබිණි. රෝහණ ලක්ෂ්මන් කීවේ තමාට තව දුරටත් ලේකම් ධුරයේ වැඩ කිරීමට හැකියාවක් නැති නිසා ඉල්ලා අස්වන බවය. රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අසීරු අවස්ථාවේ පක්ෂයේ ලේකම් ධුරය භාරගෙන කළ මෙහෙවර ජනාධිපතිවරයා ඇතුළු මධ්‍යම කාරක සභාවද අනුමත කළේය. ජනාධිපතිවරයා කීවේ රෝහණ ලක්ෂ්මන් ලේකම් ධුරයෙන් ගියද ඔහු ජනාධිපති උපදේශකයකු ලෙස දිගටම තබාගන්නා බවය.


රෝහණ ලක්ෂ්මන්ගෙන් පුරප්පාඩු වූ වැඩ බලන ලේකම්ධුරයට දයාසිරි ජයසේකරගේ නම යෝජනා කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. මධ්‍යම කාරක සභාව එය අනුමත කළේය.


මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රීලනිප මහලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවෙනි. ඊට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය ලැබිණි. දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. නීතිඥයකු ද වන ඔහු ගායකයකු වශයෙන් ද ප්‍රකටය. එජාපයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා ද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙකේම මහලේකම්වරුන් කුරුණෑගලින් පත්වීම ද විශේෂත්වයකි.  


අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ළඟදී ගෙන එන බවට දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් කර ඇති ප්‍රකාශය ගැන ද මෙවර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දැඩි අවධානයක් යොමු විය. ජනාධිපතිවරයා කීවේ, එසේ ගෙන ඒමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර නැති බවය. මේ කියන්නේ සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්න යන දෙදෙනාගේ උපදෙස් මත හදා ඇති වෙනත් කෙටුම්පතක් ගැන බව ජනාධිපතිවරයා කීවේය.  


එස්.බී. හා ඩිලාන් පෙරේරා ද ව්‍යවස්ථා කමිටුව ගැන පැහැදිලි කළේය. ‘‘මේ කමිටුවට 7 දෙනෙක් පත් කළා. ඒකෙන් හතර දෙනෙක් අල්ලගෙන සුමන්තිරන් හා ජයම්පති වික්‍රමරත්න උපදෙස් දීලා හදපු කෙටුම්පතක් ගැන මේ කියන්නේ. එහෙම නැතිව ව්‍යවස්ථාවක් හදලා නැහැ. එහෙම එක එක්කෙනාට ඕන විදිහට ව්‍යවස්ථා ගේන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ’’ යැයි එස්.බී. කීවේය.