අපේ ප්‍රශ්න විසඳාගන්න අපට ඉඩ දෙන්න


ජනපති ජගත් සමුළුව අමතා කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතිය පුරාම සිටියේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය අමතන්නට ජනාධිපතිවරයා ගිය සති අන්තයේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේ සිය බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය ද කැටුවය. ජනාධිපතිවරයාගේ මේ ගමනට, ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, තිලක් මාරපන, මනෝ ගනේෂන්, මධ්‍යම මහඇමැති සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද එක්ව සිටියහ.


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ආරම්භ වූයේ ඉකුත් 25 වැනිදාය. ඊට පෙර මත්උවදුරින් ලෝකය බේරාගැනීම පිළිබඳ විශේෂ සැසිවාරයක් ද එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේම ආරම්භ විය. ජනාධිපතිවරයාත්, සෞඛ්‍ය ඇමැති රාජිතත් ඊට සහභාගි වූයේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිතයා ඇතුළු කිහිප දෙනකු ද සමගිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගි වූ එම සමුළුව විනාඩි 30කට සීමාකර තිබිණි. ඉන් අනතුරුව පිරිස සහභාගි වුණේ නෙල්සන් මැන්ඩෙලා අනුස්මරණ උත්සවයටය. මෛත්‍රීට ද එහි දේශනයකට ඇරයුම් ලැබ තිබිණි. ඔහු දේශනය කළේ නෙල්සන් මැන්ඩෙලාගේ අගය දිනෙන් දින වැඩිවන බව උදාහරණ සහිතව ද පෙන්වමිනි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සැසිවාරය ඉකුත් 25 වැනිදා ඇමෙරිකාවේ නැගෙනහිර කලාප වේලාවෙන් උදේ 9.00ට පමණ ආරම්භ වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රජ්‍ය නායකයින් රැසකගේ සහභාගිත්වයෙනි. සැසිවාරය විවෘත කරමින් කතා කළේ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා විසිනි. එහි දෙවැනි දේශනය පවත්වන්නට නියමිතව සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයාය. එහෙත් ඔහුගේ පැමිණීම තරමක ප්‍රමාදයක් සිදු වූ බැවින්, දේශනය තරමක් ප්‍රමාද වී කරන්නට සිදුවිය. ජනපති මෛත්‍රී ද සැසිවාරය අමතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ලොව සෙසු නායකයින්ගේ ද අවධානය දිනා ගනිමිනි. ‘‘අපේ ප්‍රශ්න අපට විසඳාගන්න ​ඉඩ දෙන්න - අපට බලපෑම් කරන්න එපා’’ මේ ජනපති මෛත්‍රී එක්සත් ජාතීන්ගේ 73 වන සැසිවාරයේ දී කළ ආන්දෝලනාත්මක කතාවේ හරයයි.


එදින රාත්‍රියේ සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයින් සියලු දෙනා වෙනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයට ද ජනපති මෛත්‍රී, සිය බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය සමග ගියේය. සිය නිව්යෝර්ක් සංචාරයේදී මැලේසියාවේ අගමැති මහතිර් මොහොමඩ් ඇතුළු රාජ්‍ය නායකයින් ගණනාවක් සමග සාකච්ඡා කර රටට යමක් දිනා ගන්නට මෛත්‍රීට හැකිවිය. ඔහු සිය සංචාරය නිමවා මේ සති අන්තයේ යළි දිවයිනට පැමිණීමට නියමිතය.


සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වෙන සතියේ කැබිනට් රැස්වීමද මෙවර නොපැවැත්විණි. ඊට හේතුව ජනපති මෛත්‍රී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමැතීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටීමය. මීට පෙරදී නම් ජනාධිපතිවරයා නොමැතිවිට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම් පැවැත්වී තිබිණි. එහෙත් මෛත්‍රී ජනපතිවීමෙන් පසුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමක් පැවැති බවක් වාර්තා නොවීය.   


රට තුළ පැන නැගී ඇති ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ දේශපාලන කරළියේ තිරය පිටුපස සිදුවීම් ද වාර්තා වෙමින් තිබේ. ජනපති මෛත්‍රී හා ඒකාබද්ධ විපක්ෂය එකතු කිරීමේ තවත් උත්සාහයක් යළි ආරම්භ වී ඇති බවටද වාර්තාවේ. මීට පෙර ඒ සඳහා ඍජුව මැදිහත් වී සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමේ එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් දෙදෙනාය. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන්ද පක්ෂ නායකයින්ගේ මට්ටමින් කිහිප දෙනකු හවුල්වී ඇති බවටද ආරංචි මාර්ග වලින් දැන ගන්නට තිබේ. ඊට මැදිහත්වී සිටින කණ්ඩායමේ අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රීලනිපයත් ඒකාබද්ධයත් මුල්වී ආණ්ඩු වෙනසක් ඇති කිරීමය. එසේ නොමැති වුවහොත් ලබන වසරේ මුලදී ආණ්ඩු වෙනසකට අවශ්‍ය පසුබිම සැකසීම මේ පිරිසේ අරමුණ වී ඇති බවද පැවැසේ. 


ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ ආසන සංවිධායක ධුර අහිමි වූයේ ජනපති මෛත්‍රී ඒ සඳහා අලුතින් සංවිධායකයින් කිහිප දෙනකු පත් කිරීම හේතුවෙනි. රත්නපුරේ ජෝන් සෙනෙවිරත්න, හක්මන ලක්ෂ්මන් යාපා සහ කටුගම්පොළ අනුර යාපාද සංවිධායකධුරවලින් ඉවත්කර අලුතින් සංවිධායකයින් පත් කරන්නට සියල්ල සූදානම් කර තිබුණ ද අවසානයේ එය මඟහැරී ගියේ අලුතින් පත් කරන්නට යන සංවිධායකයින් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් සැළකිල්ලට ගනිමිනි. කෙසේ හෝ 15 දෙනාගේ කණ්ඩායමට ඔවුන් ශ්‍රීලනිපයේ සිටි ආසනවලට පොහොට්ටුවේ සංවිධායකයින් ලෙස පත් කරන්නට ඒකාබද්ධ විපක්ෂය එකඟවී ඇති බව වාර්තා විය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද ඊට කැමැත්ත පළකර ඇතැයි ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා ද ගිය සතියේ මාධ්‍ය හමුවේ කියා තිබිණි.