අපේ ජනපති අපි බලාගන්නම් - මහින්ද


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය සති අන්තයේ අහුන්ගල්ලේ පන්සලක පැවැති උත්සවයකට සහභාගි විය. සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා ජනාධපිතිවරයා විවේචනය කරමින් කර තිබූ ප්‍රකාශ සහ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගිය හොත්, දෙමළ ජාතික සන්ධානය හා එජාපය එක්ව ආණ්ඩුව කරගෙන යන බවට පළවන ප්‍රවෘත්ති ආදිය ගැන එහිදී මාධ්‍යවේදීහු මහින්දගෙන් විමසා සිටියහ. ‘එකතු වෙන්න කියන්නකො. එතකොට අපි අපේ ජනාධිපතිතුමා බලා ගන්නම්කො’ යැයි මහින්ද කීවේ සිනා සෙමිනි. මහින්දගේ කතාව එදින රාත්‍රියේ මාධ්‍යවලින් ද ප්‍රචාරය විය. පහුවදා උදේ පාන්දර මහින්ද දුරකථනයෙන් ඇමතූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ‘මොකද්ද ඔබතුමා අර ජනාධිපතිතුමා රකිනවා කියල කියන කතාව’ යැයි විමසා සිටියහ. ‘මම එතනදී කිව්වෙ මහ බැංකු බැඳුම්කර සිද්ධිය අදාළ කරගෙන එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට ගහන්න ගත්තොත්, අපි ජනාධිපතිගේ පැත්ත ගන්නවා කියලනෙ අපේ හාමුදුරුවනේ’ යැයි මහින්ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කීවේය.