අපි ‘‘ලෙන්ත්’’ තියලා මේ ඡන්දය දිනන්නෙ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක

වාසුදේව නානායක්කාර   

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කර තිබේ. ඉදිරි අභියෝග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් කර ගත්තා. ඔබට සතුටුද?   


පිළිතුර - අප ඒක අනුමත කරනවා. ඒ වගේම අපේ පූර්ණ එකඟතාව ඒකට පළ කරනවා. පොහොට්ටුවේ අපේක්ෂකයා පමණක් නොවෙයි අනිකුත් පක්ෂවලටත් අයිති අපේක්ෂකයෙක්.   


ප්‍රශ්නය -පොහොට්ටුවට අනුබද්ධ පක්ෂ කිව්වා ‘ඒ සියලු පක්ෂවල එකමුතුවෙන් ගොඩනැගෙන සන්ධානයකින් අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතුයි’ කියලා. ඔබ හිටියෙත් ඒ ස්ථාවරයේ?   


පිළිතුර - ඔව්! දැන් එහෙමනේ වෙන්න යන්නෙත්.   


ප්‍රශ්නය - එහෙම වෙන්නේ කොහොමද? ගෝඨාභය කියන්නේ පොහොට්ටුවේ ​අපේක්ෂකයා?   


පිළිතුර - මෙහෙමනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ සමුළුවේදී ගෝඨාභය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවා. මහින්ද මහතා පොදුජන පෙරමුණේ නායකයා ලෙස පත් කළා. දැන් ඉක්බිතිව අපේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ ගණනාවක් තියෙනවා.   


අපි පොදුජන පෙරමුණත් සමග ඒකාබද්ධ සන්ධානයක් හදනවා. ඒකට තියන්න යන නම ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’. එම ඒකාබද්ධ පොදුජන පෙරමුණත් ඊළඟට ගෝඨාභය මහතා අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගනු ලබනවා.   


ප්‍රශ්නය - මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සන්ධානයකින්?   


පිළිතුර - ඔව්! ඒකාබද්ධ පොදුජන පෙරමුණ හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ.   


ප්‍රශ්නය -එතකොට ලාංඡනය?   


පිළිතුර - ලාංඡනය මම හිතන්නේ පොහොට්ටුවම ගනී. ඒ අපි හැමෝගෙම එකඟත්වයෙන්. ඒකට කවුරුත් එකඟත්වයට ගත යුතුයි.   


ප්‍රශ්නය - හවුල්කාර පක්ෂ අතර ඒ සංවාදය දැනට ඇරැඹිලා නෑ?   


පිළිතුර - නෑ. ආරම්භ වෙලා කලක් දැන්. සන්ධානය හැදීමේ ප්‍රමාදයක් නෑ. ව්‍යවස්ථාවට යෝජිත සංශෝධනවලට අදාළ සංවාදයක් ඉදිරි දිනවල පවත්වනවා. ඒ අනුව කාගෙත් එකඟත්වයෙන් පොදු ව්‍යවස්ථාවකුත් පොදු සන්ධානයකුත් හදාගෙන ඒක ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින් හඳුන්වමින් අපේ ලාංඡනයත් අපි අරගෙන (බොහෝවිට ​ෙපාහොට්ටුව විය හැකියි) අපි ජනාධිපතිවරණයට සූදානම් වෙනවා.   


ප්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර නම් කියන්නේ ‘අපි කා ළඟවත් දණ නවන්නේ නෑ’ කියලයි?   


පිළිතුර - කවුරුවත් දණ නමන්නේ නෑ. අපිත් දණ නවන්නේ නෑ. අපේ පක්ෂය දණ නවන්නෙත් නෑ. කවුරුවත් මේ පක්ෂයේ පක්ෂ අනෙක් පක්ෂවලට දණ නවන්නේ නෑ. අපි ඔක්කොම සහෝදර පක්ෂ හැටියට එකතු වෙනවා.   


ප්‍රශ්නය -පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කරලා ඉවරයි. අගමැති අපේක්ෂකයා නම් කරලා ඉවරයි. මේ පරිසරය තුළ ඔබලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්නේ ‘එනවා නම් වරෙන්’ කියලයි?   


පිළිතුර - නෑ. පොදුජන පෙරමුණ මේ රටේ ප්‍රධාන පක්ෂය. ඔවුන්ට අයිතියක් තියෙනවා ඔවුන්ගේ අපේක්ෂකයා කවුද කියලා නම් කරන්න. ඒ වගේම ඔවුන්ට අයිතියක් තියෙනවා අගමැති අපේක්ෂකයා කවුරු විය යුතුද කියලා නම් කරන්න. ඒ පිළිබඳව අනියම් ලෙස අපෙන් කරපු විමසීම්වලදී අපේ එකඟත්වයක් ඔවුන් ලබාගත්තා.   


දැන් එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ‍ සමුළුවේදී මෙය ප්‍රකාශයට පත් කිරීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාවකදී මේ බව පළමුව අපට දැනුම් දුන්නා. ඊට පසුව අපේ අනුමැතිය ලබා ගත්තා. ඒ ලබාගෙන තමයි පොදුජන පෙරමුණ සමුළුවට ගියේ.   


ප්‍රශ්නය - ඔබට අනුව ඔබේ සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආ යුතුද? නැද්ද?   


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූඑන්පී විරෝධී පක්ෂයක් හැටියට දැන් පෙළගැසී සිටින තත්ත්වය තුළ ඔවුන් අනිවාර්‌යයෙන්ම අපේ මේ ඒකාබද්ධ පොදුජන පෙරමුණත් සමග එකට සම්බන්ධ විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් සම්බන්ධ වෙයි කියලත් මම විශ්‍වාස කරනවා.   

 

සජිත් එක්කලා තරගය අනෙක් කෙනෙක් එක්ක තියෙන තරගයට වඩා බලවත් වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් අපි ලෙන්ත් තියලා ඉන්නේ. අපි ගව්වක් ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා සජිත්ට අපේ ගව්වෙන් කොච්චර අඩු කරන්න පුළුවන් ද කියන එක විතරයි බලාගන්න තියෙන්නේ.  

 


ප්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක කියනවා ‘මේ ජනාධිපතිවරණයේ තීරක බලය ඔවුන් කියලා’ ඔබ එය පිළිගන්නවද?   


පිළිතුර - දුමින්ද දිසානායක මහතා මේ අපේ එකතුවීම් ගැන කොයි වෙලාවකවත් අනුකූලත්වයක් දක්වමින් හිටියේ නෑ. ඒ නිසා එතුමාගේ ප්‍රකාශ බොහෝවිට අපේ මේ එකතු වීම වැළැක්වීමට ගන්නා වූ ප්‍රයත්නයක් විය හැකියි.   


ප්‍රශ්නය - ඔබේ කඳවුරේ හිටපු ප්‍රබලයෙක් කුමාර වෙල්ගම කියන්නේ. නමුත් ඔහු දැඩි උග්‍ර ගෝඨා විරෝධියෙක්?   


පිළිතුර - කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයත් එක්ක එකට ඉඳීවි කියලා මම විශ්‍වාස කරනවා.   


ප්‍රශ්නය -ඔබත් මුල ඉඳලා ගෝඨා විරෝධී ස්ථාවරයක හිටියේ. කොහොමද මෙහෙම නැමුණේ?   


පිළිතුර - ඔව්! ඇත්ත වශයෙන්ම, ඒ විරෝධය තිබුණා. ඒකට හේතු මම ප්‍රකාශ කළා. ඉන්පසු අනුමාන වශයෙන් ඔහු අපේක්ෂකයා විය හැකිය යන පදනම මත චමල් රාජපක්ෂ වගේම ගෝඨාභය රාජපක්ෂත් අපි හමු වුණා. අපේ වැඩපිළිවෙළ දුන්නා. අපේ අදහස් උදහස් හා ඒ සම්බන්ධයෙන් තියෙන සැක සංකාවන් අපි පළ කළා. ඔවුන් ඒවට උත්තර දුන්නා.   


එයින් පසුව අපි පොදුජන පෙරමුණ ගෝඨාභය මහතා අපේක්ෂකයා ලෙස තෝරාගත යුතුයි කියලා හිතනවා නම් එය ප්‍රබලම පක්ෂය යූඑන්පී විරෝධී කඳවුරේ. ඒ නිසා එය අපිත් අනුමත කළ යුතුයි කියලා අපි තීරණය කළා.   


ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණ කියනවා ‘ගෝඨාභය කියන්නේ පොහොට්ටුවේ දුර්වලම අපේක්ෂකයා’ කියලා?   


පිළිතුර - එහෙම කියන්න වෙනවනේ. එහෙම කියන්න වෙනවා ජනතා විමුක්ති පෙරමුණට. ඒ මොකද ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්න විදිය ගත්තොත් ඔවුන් යූඑන්පීයේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි වෙච්ච කාලයක ඉතිහාසය මකා ගන්න බැරි තැනක ඉඳගෙන අද මේ වෙනම පෙනීහිටින්න හදන්නේ. ඒ වෙනම පෙනීහිටීම තුළත් ඔවුන්ගේ තිබෙන දෙගිඩියාව ඉතාම පැහැදිලියි. ඒ නිසා ඔවුන් අද එක්සත් ජාතික පක්ෂයට වඩාත්ම ධෛර්යවන්තකම ලැබෙන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම අපට පුදුමයක් නොවෙයි.   


ප්‍රශ්නය -ජවිපෙ එහෙම කියනකොට බැසිල් රාජපක්ෂ කිව්වේ අපි ඉදිරිපත් කරන්නේ ‘කම්මුතු කරන්නෙක්’ කියලයි?   


පිළිතුර - ඔව්! ඉතින් යූඑන්පී බලය කම්මුතු කරන්නෙක්.   


ප්‍රශ්නය - අගමැති රනිල් කියනවා ‘අපට අවශ්‍ය කම්මුතු කරන්නෙක් නොවෙයි එකමුතු කරන්නෙක්’ කියලා?  


පිළිතුර - එකමුතු කරන්න ඕනෑ යූඑන්පීයෙන් තොරව, යූඑන්පී විරෝධීව. යූඑන්පී විරෝධීන් එකමුතු කරන එකත් යූඑන්පීය කම්මුතු කරනවා කියන එකත් දෙකම එකක්.  


ප්‍රශ්නය - ඔබ මුලින් කිව්වා අනාගතයේ දී අලුත් සන්ධානයක් හැදෙනවා, ලාංඡනය ගැන කතා කරනවා කියලා. ඒ අනුව ඉදිරියේ දී පොහොට්ටුව තුළත් ගිනි කෙළි සංදර්ශන දැකිය හැකියි?  


පිළිතුර - නෑ එහෙම වෙන්නේ නෑ. අපේ වෙනස් මත තියෙන්න පුළුවන්. ඒවා සංවාදයට භාජනය වෙයි. ඉන් පසුව අපි එක් මතයකට එයි. අපි ළඟ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය කියලා සිද්ධාන්තයක්. ඒ කියන්නේ අපි වෙන වෙනම අදහස් උදහස් පළ කළත් එකිනෙකට පරස්පර දේවල් කතා කළත් අන්තිමේදී අපි ගන්නා වූ තීරණය ඒකමතිකව ගන්නේ. ඒක තමයි මධ්‍යගතවාදය.  


ප්‍රශ්නය -ගෝඨාභය රාජපක්ෂ ගත්තොත් ‘ගෝඨා - භයක්’ ගැනත් කතා වෙනවා. ඔහුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කළ හැකි ද කියන ප්‍රශ්නයත් තියෙනවා?  


පිළිතුර - එතුමාට නොයෙක් චෝදනා කරන්න පුළුවන්. චෝදනා පමණක් ප්‍රමාණවත් නෑ. ප්‍රතිචෝදනාවලට පිළිතුරු නොදී චෝදනා නගන්න කාටවත් අයිතියක් ඇත්තෙත් නෑ. ඒ 1988-89 කාලයේ තිබුණ මහා භීෂණය, ඒ කාලයේ සිදුවුණු මහා අපරාධ, ඒ කාලයේ ඝාතනය වූ විශාල සංඛ්‍යාව ඔක්කොම එක්ක අරගෙන බලනකොට ඔවුන්ට චෝදනා නගන්නට අයිතියක් නෑ. අපිට චෝදනා කරන්න ඔවුන් ඉදිරිපත් කරන කරුණුවලට පිළිතුරු දීම වෙනම එකක්. නමුත් අපි පළමුව ඒගොල්ලන්ගෙන් අහනවා ‘ඔබට ඔය චෝදනාව කරන්න තියෙන අයිතිය මොකද්ද?’ කියලා. ‘මෙන්න ඔබගේ පැටිකිරිය’.  


ඊට පසුව ඔබ නගන චෝදනාවලට අපිට පිළිතුරු දෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණත් ඒ රංචුවටම වැටිලා 2015 ඉඳලා මේ දක්වා ආපු ගමනෙන් පසුව ඔවුන්ටත් චෝදනා නගන්න අයිතියක් නෑ. ඒ ඔක්කොම ක්‍රියාදාමයන් එතුමන්ලාගේ නායකයා විනාශ කිරීමේ ඉඳලා හැටදාහක් පමණ විනාශ කරපු ඒ මහා ඝාතනය. ඒවායේ ප්‍රධානම චූදිතයාට පක්ෂපාතීව සම්මුතිවාදීව ඉඳලා ජනතා විමුක්ති පෙරමුණට මෙවැනි ප්‍රශ්න මතු කරන්න තියෙන අයිතිය අපි ප්‍රශ්න කරනවා.  


ප්‍රශ්නය -ගෝඨාභය ඒකාධිපතියෙක් කියන චෝදනාව ගත්තොත්?  


පිළිතුර - ඒක මහා අනියත බියක්. අස්ථාන බියක්. ඒ කියන්නේ හේතු කාරණා නොමැතිව ඇතිකර ගන්නා වූ බියක්. එබඳු බියක් ඇතිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ සනුහුරේ කෙනෙක් බලය ගන්නවා නම් තමයි.  


ප්‍රශ්නය - ජවිපෙ කියනවා ‘ගෝඨාභය කියන්නේ මූල්‍ය විනයක් නැති’ කෙනෙක් කියලා?  


පිළිතුර - මූල්‍ය විනය පවත්වාගෙන යන්නේ ජනාධිපතිවරයා නෙවෙයිනේ. ඒ ආණ්‍ඩුවේ නායකයා මහින්ද මහතා. මහින්ද මහතාගේ නායකත්වය යටතේ තමයි ජනාධිපතිට වැඩ කරන්න වෙන්නේ.  


ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේ විභාග වන නඩු ගණනාවක චූදිතයෙක්?  


පිළිතුර - නෑ. නෑ. නඩු පවරලා නෑ. නඩු පවරලා ඒ නඩු ඉදිරියට ගෙන යන්න ඉහළ අධිකරණයෙන් අවසර ලැබිලා නෑ. ඒ නීති ප්‍රශ්න උඩ.  


ප්‍රශ්නය - යම් හෙයකින් මේ නඩු විභාග කරන්න තීන්දු කළොත්?  


පිළිතුර - නඩු විභාග කරන්න ඕනෑ. අපිත් කියන්නේ විභාග කරන්න ඕනෑ කියල තමයි. එහෙම විභාග කළාම අර ගාමිණී සෙනරත්ගේ නඩුව වගේ වෙයි. මොකද මේවා ඔක්කොම දේශපාලන චේතනාවලින් දේශපාලන විරුද්ධවාදීකම් මුල්කරගෙන ගෙනාපු චෝදනානේ. පොලිසියත් තමන්ට ඕනෑ විදියට නවාගෙන දාපු පැමිණිලිනේ.  


ප්‍රශ්නය - වාසුදේව නානායක්කාර වගේ වමේ නායකයොත් මැදමුලන වලව්වේ වහල්ලු වෙලා කියලා කියනවා?  


පිළිතුර - ඕවා ඉතින් හැමදාම කියන කතානේ. වහල්ලු වුණත් මොකද මේ රටේ යූඑන්පී බලය විනාශ කිරීමට අපට ඒ නිසා පුළුවන් වෙනවානම්.  


ප්‍රශ්නය - ඇයි ඔබලා අසමත් වුණේ‍ විකල්ප නායකයෙක් හොයගන්න?  


පිළිතුර - නායකයෝ අපට ඕනෑ ඕනෑ විදියට හදන්න බෑ. ඓතිහාසික භෞතිකවාදය කියන පාඩම ඉගෙන ගන්න. අපි දන්නවා ඉතිහාසයේ භෞතිකවාදී පෙළගැසීම් අනුව තමයි සමාජ දේශපාලන බලවේග මතුවෙන්නේ කියලා. ඒවා කාටවත් බලහත්කාරයෙන් නිර්මාණය කරන්න බෑ. දැන් යූඑන්පී එකත් එක්ක ශ්‍රී ලංකා එක එකතුවුණ නිසා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන බලවත් පක්ෂය හැදෙන්නේ.  


ඉතිහාසයේ සංසිද්ධීන් හරහා ඒවායේ අපෝහක පරිවර්තනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි පෙළගැසීම් ඇතිවෙන්නේ. ජන පෙළගැසීම්, සමාජ පෙළගැසීම්, ජන මතයන් හැදෙන්නේ. අද තියෙන තත්ත්වයේ හැටියට ඒ කඳවුර යූඑන්පී විරෝධී කඳවුරේ ප්‍රබලම කොටස්කාරයා හැටියට ඉන්න පොදුජන පෙරමුණ... ඒකේ නායකයා හැටියට ඉන්​න මහින්ද මහතා... ඒකට අනික් අතකින් දායකවන ගෝඨාභය ආදීන්ගෙන් සමන්විත බලවේගයක් අද මතුවෙලා තියෙනවා. ඒ මතුවීම කාටවත් වළක්වන්නත් බෑ. එබඳු මතුවීමක් හිතුවක්කාරකමට බලහත්කාරයෙන් කරන්නත් බෑ.  


ප්‍රශ්නය - මල්ලි ජනාධිපති වෙලා අයියා අගමැති කරන්න කතා කරනවා. තව රාජපක්ෂවරු කී දෙනෙක් කැබිනට් එකේ ඉඳීවිද කියලත් ප්‍රශ්න කෙරෙනවා? 

 
පිළිතුර - ඒක ඒතරම්ම ලොකු තර්කයක් නොවෙයි. මොකද ඒ රාජපක්ෂවරු වෙනත් ආකාරයකින් ජනතාවගේ නියෝජිතයන් හා ජනතාවගේ හදබැඳගත් නායකයන්. මේ රටේ ඔවුන්ට හිමිකමක් තියෙනවා ඒ ජනතාවගේ නියෝජිතයන් හැටියට ඒ වගකීම් බාරගන්න. රාජපක්ෂවරුන් හෝ රාජපක්ෂවරුන් නොවන අයටත් ඒ වරම හිමියි.  


ප්‍රශ්නය - එබඳු ආණ්ඩුවක් වරිග සභාවකින් වෙනස් වෙන්නේ කෙහොමද කියලා ඔබෙන් ඇහුවොත්?  


පිළිතුර - එය වරිග සභාවකින් වෙනස් වෙන්නේ විශාල ජන පදනමකින් විශාල ජන මතයකින් ජන තීරණයකින් තේරී පත්වන්නා වූ පුද්ගලයන්ගෙන් සමන්විත සභාවක් නිසා. වරිග සභාවක් පාරම්පරික උරුමයෙන් පත්වන සභාවක්. ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයෙන් ජනතාවගේ පරමාධිපත්‍යයෙන් පත්වන්නා වූ සභාවක් ඒ සභාව ඇතුළේ කොයිතරම් නෑ සබඳකම් ඇති අය හිටියත් ඒ අය ඔක්කොම මහජන නියෝජිතයෝ.  


ප්‍රශ්නය -‘මහින්ද සමග නැඟිටිමු.’ කියලා මහින්ද සුළඟ අරගෙන රට වටේ ගිය ඔබ ඇතුළු පිරිවරම තමයි මුලින්ම ගහලා එළවන්නේ කියලත් කියනවා?  


පිළිතුර - මේක එබඳු ප්‍රශ්නයක් නොවෙයිනේ. අපිව එළවන්න උවමනාවකුත් නෑ. අපට ගහන්න උවමනාවකුත් නෑ. අපි දෙගොල්ලෝ තුන්ගොල්ලෝ හතර පස්ගොල්ල අතරේ ලොකු සංවාදයක් තියෙනවා අපේ ආණ්ඩුවක් හදලා ඒක ඉදිරියට ගෙනියන්න. ඒවා අප අතර විවාදයට වාදයට සංවාදයට ලක්වන කරුණු වේවි. ඒවා අතර අපට එකඟවෙන්න බැරි කාරණා තිබුණොත් ඒ අනුව තමයි අපි ඊළඟ පියවර ගන්නේ.  

 

ලාංඡනය මම හිතන්නේ පොහොට්ටුවම ගනී. ඒ අපි හැමෝගෙම එකඟත්වයෙන්. ඒකට කවුරුත් එකඟත්වයට ගත යුතුයි.   


ප්‍රශ්නය -සජිත් වගේ ගම ඉල්ලන නායකයෙක් ආවොත් ඒක ඔබේ කඳවුරට අභියෝගයක් නෙවෙයිද?  


පිළිතුර - සජිත් නම් ගම ඉල්ලන නායකයකුට වඩා ඉහළම ධනපති පංතිය මේ රටේ ඉල්ලන්නේ සජිත්. ඒ වගේම මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් යූඑන්පීය නඩත්තු කරන ඒ බලවේගය ඉල්ලන්නෙත් සජිත්. මොකද ඒගොල්ලන් හිතනවා මේ කුජීත වෙච්ච රනිල්ට වඩා මේ වෙලාවේ සජිත් හොඳ අශ්වයෙක් කියලා.  


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ‍ ඒ සජිත් ආවොත් ඔබලාට ඒක ලොකු අභියෝගයක් නේද කියලයි?  


පිළිතුර - මම මුලිනුත් කිව්වේ සජිත්ව ඉල්ලන්නේ ගම නොවෙයි. ඉහළම ධනපති පංතිය ඉල්ලන්නේ සජිත්ව. ගම මම දන් නෑ. ඉහළම ධනපති පංතිය කියනවා යූඑන්පීයට දිනන්න ඕනෑ නම් මෙන්න මේකව දාපං කියලා ධනපති පංතියනේ යූඑන්පීයේ අයිතිකාරයෝ.  


ප්‍රශ්නය -ඔබ මගේ ප්‍රශ්නය මගහරිනවා. සජිත් ඔබේ කඳවුරට අභියෝගයක්?  


පිළිතුර - නෑ. අපි කොහොමත් ලෙන්ත් තියලා තමයි මේ ඡන්දය දිනන්නේ. සජිත් එක්කලා තරගය අනෙක් කෙනෙක් එක්ක තියෙන තරගයට වඩා බලවත් වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් අපි ලෙන්ත් තියලා ඉන්නේ. අපි ගව්වක් ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා සජිත්ට අපේ ගව්වෙන් කොච්චර අඩු කරන්න පුළුවන් ද කියන එක විතරයි බලාගන්න තියෙන්නේ.  


ප්‍රශ්නය - ජවිපෙන් ඉල්ලන්නේ අනුර කුමාර කියලා කියනවා?  


පිළිතුර - ඒක හොඳයි. ඒක හොඳයි. එතකොට එයාට පුළුවන් ජේවීපී එකේ පහළ මට්ටමේ අයට ලැබෙන්න තියෙන ඡන්දවලින් කොටසක්වත් එයාට අරගෙන අපේ ජයග්‍රහණයට යම් කඩතොලුවක් ඇති කරන්න.  


ප්‍රශ්නය - මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දෙවැනිවර ගණන් කිරීමට සිදුවෙයි කියලත් අනුමාන කරනවා.  


පිළිතුර - ​ෙවන්න පුළුවන්. වෙන්න පුළුවන්.  


ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබට සියයට 50යි. එක ඡන්දය ෂුවර් නෑ?  


පිළිතුර - පනහයි තව එකකුයි නොතිබුණොත් දෙවැනි වර ගණන් කරන්න වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී පනහකුයි තව එකක් ඕනෑ වෙන්නේ නෑ. ඒකයි දැන ගන්න ඕනෑ.  


ප්‍රශ්නය -ඔබ කිව්වා ‘සජිත් එක්ක ගත්තම’ ලෙන්ත් එකක් තියලා තියෙන්නේ කියලා. එහෙම නම් ඇයි මේ දෙගිඩියාව?  


පිළිතුර - නෑ නෑ මම දෙගිඩියාවක් ගැන කිව්වේ නෑ. මම කිව්වේ 50යි එක නැත්නම් දෙවැනි වටය ගණන් කරන්න වෙයි. දෙවැනි වටය ගණන් කරලා ඉවර වුණාම 50යි එක උවමනා නෑ කියලයි. වැඩි ඡන්ද ගත්ත එක්කෙනාට ලැබෙනවා ධුරය.  


ප්‍රශ්නය -ඒ ධුරය පොහොට්ටුවට ලැබෙනවා කියලා ඔබට ඒකාන්ත විශ්‍වාසයක් තියෙනවා?  


පිළිතුර - ඔව්? ඒ නිසා තමයි මම මෙහෙම කතා කරන්නේ. නිකම් ප්‍රචාරකවාදීව නොවෙයි. යූඑන්පී එකේ සියයට 15ට වඩා අද අන්ත කලකිරීමකින් ඉන්නේ. ඒ මිනිස්සු එක්කෝ අපට ඡන්දය දෙනවා. නැත්නම් ඡන්දය නොදී ඉන්නවා. මම මේ කියන්නේ බිම් මට්ටමේ මගේ සමීක්ෂණයක ප්‍රතිඵලය.  

 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්