අධීක්ෂණ මන්ත්‍රී දීමනා කැබිනට් පත්‍රිකාව මෙවරත් නෑ


ගෙවී ගියේ එතරම් කැලඹිලි සහිත නොවූ සතියකි. ඉකුත් සතියේ දුම්රිය වර්ජනයත්, අධීක්ෂණ මන්ත්‍රීන්ගේ ප්‍රවාහන දීමනා ප්‍රශ්නයත් දේශපාලන කරළිය ගිනියම් කළද ගිය සතියේ අසාර්ථක බස් සේවක වර්ජනය දේශපාලන කරළියට කිසිදු බලපෑමක් එල්ල නොකළේය. ඒ නිසාම ගිය සතියේ දේශපාලන කරළිය වෙනද‌ාට සාපේක්ෂව සාමකාමී යැයි කීම අසාධාරණ නොවන්නේය. මතුපිටින් හැල හැප්පිලි නොවූවද ඇතුළත දේශපාලනයේ අළුයට ගිනි එලෙසින්ම තිබූ බව ද අමතක කළ යුතු නොවේ.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාද‌ා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙනි. කලින් සතියේ ප්‍රතික්ෂේප වූ අධීක්ෂණ මන්ත්‍රීන්ට පහසුකම් සැපයීමේ කැබිනට් පත්‍රිකාව මෙවර ඉදිරිපත් වනු ඇතැයි ප්‍රකාශ වුව ද මෙවර එය ඉදිරිපත් නොවිණි. එපමණක් නොව දුම්රිය සේවක වැටුප් වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව ද අඟහරුවාදා කැබිනට් රැස්වීමට ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ද එය ද ඉදිරිපත් නොවීය. ඒ වෙනුවට ඉදිරිපත් වූයේ රාජ්‍ය අංශයේ සියලුම සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අලුතින් වැටුප් කොමිසන් සභාවක් පත්කිරීමේ යෝජනාවකි. එය ඉදිරිපත් කරන ලද්දේ මුදල් ඇමැති මංගල සමරවීර විසිනි. ඔහු යෝජනා කර තිබුණේ රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අලුතින් වැටුප් කොමිසමක් පත්කිරීමේ යෝජනාවකි. වැටුප් විෂමතා පිළිබඳ සියලු නිර්දේශ ඇතුළත් වාර්තාවක් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවට ද ඔහු යෝජනා කර තිබිණි. දුම්රිය සේවක වැටුප් විෂමතා ප්‍රශ්නය ද මීට ඇතුළත් බව මංගල කීවේය. ඒ අනුව අද‌ාළ වැටුප් කොමිසම පත් කරන්නට තීරණය විය. එහි සාමාජිකයින් පත් කිරීම ජනපති මෛත්‍රීට පැවරෙන කාර්ය භාරයකි.
ඇමෙරිකාව ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක ද මෙවර කැබිනට් රැස්වීමේ මාතෘකාවක් විය. ඉරානය ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරන රටවල් අතර ප්‍රමුඛ රටකි. ඉරානයෙන් තෙල් ගෙන්වන ලංකාව ඉරානයට අපනයනය කරන්නේ තේ ය. සාකච්ඡාව ආරම්භයේදී ආචාර්ය සරත් අමුණුගම අදහස් දක්වමින් කීවේ ඇමෙරිකාව සම්බාධක දමා ඇතත් ඉරානය ශ්‍රී ලංකාව සමග ආර්ථික ගනුදෙනු කිරීමට කැමැත්තෙන් සිටින බවය. සම්බාධක නිසා ඩොලර් වලින් ගනුදෙනු කළ නොහැකි වුවද රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය කැමැත්ත පළකර ඇතැයි සරත් අමුණුගම කීවේ දීර්ඝ විස්තරයක් ද කරමිනි. ඒ ගැන සොයන්නට අමුණුගම, මංගල, අර්ජුන හා මාරපන ඇතුළු ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා කීවේය.


මේ අතර මහින්ද අමරවීර, සජිත් ප්‍රේමදාසට එරෙහිව කැබිනට් රැස්වීමේදී පැමිණිල්ලක් ඉදිරිපත් කළේ හම්බන්තොට ඉඩම් ප්‍රශ්නයක් මුල්කර ගනිමිනි. වීරවිල පිහිටි වාණිජ වශයෙන් වටිනා ඉඩම් උද‌ාගම්වලට යැයි කියමින් සජිත් ප්‍රේමද‌ාස ඇමැතිවරයා සිය අමාත්‍යාශයට ගන්නා බව අමරවීර කීවේය. ඔහු කීවේ දිස්ත්‍රික්කයේ ඉඩම් අවශ්‍ය තරම් තිබියදී වාණිජ වශයෙන් වටිනා ඉඩම් උද‌ාගම්වලට ගැනීම ගැටලුකාරී බවය. එහෙත් අමරවීරගේ චෝදනාවට පිළිතුරු දෙන්නට සජිත් ප්‍රේමද‌ාස ඇමැතිවරයා කැබිනට්ටුවේ නොසිටියේය.


සයිටම් සිසුන්ගේ ප්‍රශ්නයක් ගැන රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට්ටුවේදී මතු කළේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කර ඇති සයිටම් සිසුන් අතරින් දුප්පත් දරුවන්ට ද තවත් ලක්ෂ 13 ක් ගෙවන්නට සිදුවීම අසාධාරණ බව රාජිත කීවේය. ඔවුන්ට සහනයක් දෙන්නැයි රාජිත කියද්දී ජනාධිපතිවරයා කීවේ අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කර ඒ ගැන තීන්දුවක් ගන්නා බවය.