අගමැති මහින්ද සමග ශ්‍රීලනිපය කතා බහක


අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් ගෙවුණු සතියේ දේශපාලන කරළිය ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබිණි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද වැඩි දෙනා සිටියේ ගම්බිම් බලා ගොසින්ය. ඒ නිසාම කොළඹ දේශපාලන කරළියෙ දකින්නට ලැබුණේ දැඩි ඇල්මැරුණු ස්වභාවයකි. කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය වසරේ අලුත් අවුරුද්ද සමරන්නට අවස්ථාව ​නොලැබිණි. එහෙත් මෙවර කොරෝනා වයිරසය හමුවේ වුවද ජනතාව අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සැමරූ බව දක්නට ලැබිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද සැමරුවේ මිරිහානේ පිහිටි සිය නිවසේය. ජනාධිපතිවරයා සමග එක්ව අලුත් අවුරුද්ද සමරන්නට එහි විශාල පිරිසක් ද නොසිටියහ. නැකතට අවුරුදු චාරිත්‍ර ඉටුකළ ජනාධිපතිවරයා වැඩ අල්ලමින් සිය ගෙවත්තේ පැලයක් ද රෝපණය කරන්නට අමතක නොකළේය.


අවුරුදු අරගෙන බන්දුල ජනපති බලන්න යයි


වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉකුත් 13 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලන්නට මිරිහානේ නිවසට ගියේය. ඒ නිකම්ම නොවේ. ඒ අවුරුදු කැවිලි පෙවිලිවලින් පිරුණු කදමල්ලක් ද රැගෙනය. කැවුම්, කොකිස්, අතිරස, මුං අළුවා රැගෙන ජනාධිපතිවරයා බලන්නට ගිය බන්දුල සුපුරුදු ආර්ථික විද්‍යා වචන මාලාවක් ද එක් කරමින් සතොස සහන මල්ල ගැන ද ජනාධිපතිවරයාට පැහැදිලි කළේය. අවුරුදු දවස් කීපයේ සතොස කෝටි 275 ක ආදායම් ලැබූ බව බන්දුල කීවේය. ජනාධිපතිවරයා ද කීවේ සහන මල්ලෙන් ජනතාවට සහනයක් ලැබුණු බවය.


මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි මෙවරද අලුත් අවුරුද්ද සැමරුවේ තංගල්ල කාල්ටන්හි පිහිටි සිය නිවසේය. ශිරන්ති රාජපක්ෂ මහත්මියත් දරු මුණුපුරන් ඇතුළු ඥාතීන් ද සමග අලුත් අවුරුද්ද සැමරූ අගමැතිවරයා ඒ දින කිහිපයේම තංගල්ලේ ගත කළේය.


ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී අලුත් අවුරුද්දට සුබ පතන්නට ඉකුත් 13 වැනිදා උදේ තංගල්ල කාල්ටන් නිවසට ගියහ. මේ ගමනට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 30 දෙනෙක් පමණ සහභාගි වූහ. ඔවුන් දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරන අය බැවින් සියලු දෙනාට එදින උදේ 8.30 වෙද්දී තංගල්ල තානායමට එන්නැයි දන්වා තිබිණි. ඒ අනුව පිරිස උදේ 8.30 වෙද්දි තංගල්ල තානායමට එක්වූහ. අනතුරුව නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ද තානායමට පැමිණ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියේය. මන්ත්‍රීවරුන් පැමිණ සිටියේ නිකන් නොවේ. කැවිලි පෙවිලි සහිත කදමලු ද බැඳගෙනය. අනතුරුව සියලු දෙනාම කාල්ටන් නිවසට ගොස් අගමැතිවරයා හමුවී නව වසරට සුබ පැතූහ. අගමැතිවරයා ද පසුපෙළ මන්ත්‍රීවරුන් වටකරගෙන සුහද කතාබහක නිරත වූයේ තමා බලන්නට පැමිණීම ගැන ස්තුතිය පළ කරමිනි.


මහින්ද බලන්න මෛත්‍රීත් යයි.


අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බලන්නටත් නව වසර වෙනුවෙන් සුබ පතන්නටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිසක් ද ඉකුත් සති අන්තයේ අරලියගහ මන්දිරයට ගියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ෂාන් විජයලාල් ද සිල්වා, ආචාර්ය සුරේන් රාඝවන් ඇතුළු ශ්‍රීලනිප මැති ඇමතිවරු සියලු දෙනාම පාහේ ඊට එක්ව සිටියහ. අගමැති මහින්ද ද මෛත්‍රී ඇතුළු පිරිස සමග ආගිය තොරතුරු කතා කරමින් පැයක පමණ කලයක් ගත කළේය. පිරිස අරලියගහ මන්දිරයෙන් පිටව ආවේ අගමැතිවරයාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමිනි.


පළාත් සභා අවුල විසඳෙයි ද?


පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් යමින් තිබෙන්නේ එහි ඡන්දය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර තවමත් එකඟතාවක් නොමැතිවීම හේතුවෙනි. පළාත් සභා නවයෙන් ඇතැම් පළාත් සභාවල නිල කාලය නිමවී දැනට වසර හතරකි. තවත් ඒවායේ නිල කාලය අවසන් වී වසර තුනකි. දිගින් දිගටම කල් යමින් තිබෙන පළාත් සභා ඡන්දය පවත්වන්නේ කවදාදැයි තවමත් නියමිත අදහසක නැත. පළාත් සභා මැතිවරණ කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පත්වන්නට ආණ්ඩුවේ පක්ෂ එකඟ වී හමාරය. එහෙත් කාරණා දෙකක් සම්බන්ධයෙන් ආණ්ඩුවේම පක්ෂ 11ක් විරුද්ධත්වය පළකර ඇත. ඉන් එකක් නම් එකම ආයතනයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමය. දෙවැන්න ප්‍රසාද මන්ත්‍රී ආසන ගණන වැඩි කිරීමය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් මීට පෙර ද වෙනම හමුවී මේ ගැන සාකච්ඡා කළේ ආණ්ඩුවෙන් ද යහපත් ප්‍රතිචාරයක් නොමැති තැනය. අවසානයේ මේ අර්බුදය පක්ෂ නායකයන්ගේ හමුවකින් විසඳෙන තැනට දුරදිග ගියේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අරලියගහ මන්දිරයේ දී හෙට (19) පැවැත්වෙන්නේ මේ අර්බුදය විසඳා ගැනීමේ අපේක්ෂාවෙනි. හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී මේ ගැන එකඟතාවයකට පැමිණියහොත්, අවශ්‍ය අණ පනත් සංශෝධනය කර, ඡන්දය පැවැත්විය හැකිය. එහෙත් අද හෙට නොවේ. නීති විශාරදයන් කියන අන්දමට පනත් සංශෝධනය කර, ඡන්දය පැවැත්වීමට නම් තවත් මාස හය හතක් ගතවනු ඇති බවය. එසේ වුවහොත් ඡන්දය මේ වසරේ පැවැත්වීම අඩමානය. එය ලබන වසර මුල දක්වා කල්යනු ඇත යන්න ඔවුන්ගේ අදහසය.


කොළඹ වරාය නගරය දේශපාලන කරළියේ ආන්දෝලනයට තුඩු දී ඇති අලුත් මාතෘකාවකි. ඒ අාණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත හේතුවෙනි. මේ පනත හේතුවෙන් ශ්‍රී ලංකාවට බරපතළ හානියක් සිදුවන බව ඊට එරෙහිව හඬ නගන පාර්ශ්වවල චෝදනාවය. මෙම පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය මෙන්ම සිවිල් සංවිධාන ගණනක් ද අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ වත්මන් ආණ්ඩුව ගෙන ඒමට දැඩි වෙහෙසක් ගත් නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ද පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යාමය. එතැනින් නොනැවතුණු මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ඉකුත් බ්‍රහස්පතින්දා අභයාරාමයේ දී මාධ්‍ය හමුවක් ද පවත්මින් පනත් කෙටුම්පතට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කළේ, ආණ්ඩුවේ ක්‍රියාකලාපය ද දෝෂ දර්ශනයට ලක් කරමිනි. ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙකු වන විජයදාස රාජපක්ෂ මහතා ද එම මාධ්‍ය හමුවට පැමිණ ආණ්ඩුවේ ක්‍රියා කලාපය දැඩිව විවේචනයට ලක් කළේය.


වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ගණන බ්‍රහස්පතින්දා වනවිට 15ක් විය. එම පෙත්සම් සලකා බැලීම හෙට (19) සිදුකෙරේ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ද අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබීය.


අලුත් අවුරුදු නිවාඩුව කොළඹින් බැහැරව ගත කරන්නට ගිය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා ගිය බ්‍රහස්පතින්දා රංගිරි දඹුලු විහාරයට ගියේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල නාහිමියන් බැහැදැකීම වෙනුවෙනි. ඒ තනිවම නොව, ජනක බණ්ඩාර තෙන්නකෝන් අගමැතිවරයා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ද සමගිනි. ජී.එල්. දඹුල්ල පන්සලට යන්නට පෙර උදේ පාන්දර, ජනකගේ දඹුල්ලේ නිවසට ගියේ උදේ කෑමට එන්නැයි ජනකගෙන් ලැබුණ ආරාධනය පිළිගනිමිනි. ඒ අනුව එහි ගිය ඇමැති ජී.එල්. උදේ කෑම ගෙන, ජනක සහ ප්‍රමිත ද සමග දඹුලු විහාරයට ගියේය. විහාරාධිපති හිමියන් බැහැදුටු ජී.එල්. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය හා ආණ්ඩුවේ කටයුතු ගැන ද නාහිමියන් දැනුවත් කළහ. ආණ්ඩුවේ විවිධ මත තියෙනවා. ඒ මත සාකච්ඡා කරල එක මතයකට එන්න පක්ෂවලට අවස්ථාව තිබෙනවා යැයි ද ඔහු කීවේය.


රහස් රැසක් එළියට ආ සජිත් රොනී හමුව


හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ 96 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය අඟහරුවාදා ය.


රොනීගේ උපන්දිනයට ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙක් එකතුකොට ගෙන කුඩා හමුවක් පැවැත්වීමට ඔහුගේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය විය.


මේ අතර රොනී ඔහුගේ හිතවත් ලේකම්වරයකු වන උපුල් ගලප්පත්ති ට විශේෂ කාරණයක් සිහිපත් කළේය.
“උපුල් මට සජිත්ව මුණගැහෙන්න ආසයි”‍


මේ ඉල්ලීමට උපුල් පුදුම විය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ රොනී ද මැල් අතර එතරම් කුළුපග සම්බන්ධතාවයක් තිබුණේ නැත. එහෙත් රොනී සජිත් හමුවීමට බලාපොරොත්තුව සිටී. ඔහු වහාම විපක්ෂ නායක සජිත් ව සම්බන්ධ කරගත්තේය.
“සර්ව මුණගැහෙන්න ඕන කියලා රොනී ඇමැතිතුමා කියනවා.”‍ උපුල් සජිත්ට කීවේය.


“එතුමාගේ උපන් දිනයට මම එතුමව බලන්න එන්නයි ඉන්නේ උපුල්”‍ සජිත් උත්තර දුන්නේය.
උපුල් ඒ පිළිතුරෙන් උද්දාමයට පත්විය. සිය හිතෛෂීවන්ත නායකයාගේ ඉල්ලීම ඉටුකළ හැකිවීම ගැන ඔහු සතුටු විය.
“සර්, විපක්ෂ නායකතුමා ඔබතුමා බලන්න ඒවි”‍ උපුල් රොනීට කීවේය.


සජිත් අඟහරුවාදා පෙරවරුවේ තිබූ විශේෂ කටයුතු කිහිපයක් ඉක්මනින් අවසන්කොට රොනී හමුවීමට පිටත් විය. ඉකුත් ජනාධිපතිවරණය සමයේ රොනී සජිත් ගැන පුවත්පතකට පිටු දෙකක විශාල සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබූ අතර ඒ පිළිබඳව සජිත් තුළ විශේෂ මතකයක් තිබුණි.


සජිත් රොනීගේ නිවසට ගොඩවෙන්නට පෙරාතුව රොනී “කෝ උපුල් සජිත්. එයා එනකම් මේක සම්පූර්ණ නෑ”‍ යැයි හතර පස් වතාවක්ම කීවේය.


“නෑ සර්, එතුමා එනවා”‍ උපුල් සහතික කළේය.


සජිත් එන්නට පෙරාතුව කිහිපදෙනක් පැමිණ රොනීට සුබපැතුම් එක්කොට පිටත් වූහ. ඒ සියල්ල අතරේත් රොනී සජිත් ආවේදැයි සොයා බලන ලෙස කිහිපවිටක්ම සිය කාර්ය මණ්ඩලයට කීය. හරියටම 10.45 වනවිට සජිත් රොනී ඉදිරිපිට විය.


“වෙල්කම් සජිත් වෙල්කම්”‍


රොනී සජිත්ගේ දෑත් උණුසුම් ලෙස අල්ලාගෙන ඔහු පිළිගත්තේය.
“මම ඔබව බලාපොරොත්තුවෙන් හිටියේ”‍ රොනී කීවේය.


එතැන් සිට දෙදෙනා අතර පැය එකහමාරකට වැඩි සාකච්ඡාවක් සිදුවිය.
“මේ යන ක්‍රමය මහා විනාශයක්. කිසිම වැඩපිළිවෙළක් නෑ. ජාතික න්‍යාය පත්‍රයක් නෑ. මම එදා ඉඳලාම සජිත් ගැන කීවා. නමුත් ඒක මිනිස්සු පිළිගත්තා නම් අද රට මීට වඩා ඉහළ තැනක”‍ රොනී කීවේය.


“හැත්තෑ හතේ විප්ලවයේ ඔබතුමා බල කණුවක් නෙ.”‍ සජිත් සිහිපත් කළේය.


“අද පක්ෂ දේශපාලනය වෙනම තලයකට ගිහින්. මම ඔබතුමාව කාලයක් තිස්සේ නිරීක්ෂණය කළා. මේ රට ගොඩගන්න පුළුවන් එකම සුදුස්සා ඔබතුමා. ඉන් මෙහා කිසිම නායකයෙක් පේන්න නෑ.”‍ රොනී කීවේය.


“යූ.එන්.පී. එක ගැන කතා කරලා වැඩක් නෑ. ඒක අවසන්. ආණ්ඩුව දවසින් දවස ගිලෙන නැවක්. නිදහසෙන් පස්සේ මේ තරම් නරක විදිහට අප්‍රසාදයට පත් වෙච්ච ආණ්ඩුවක් නෑ. ඔබතුමා සමගි එක හදපු එක හොඳයි. ඒක හරි කියලා ජනතාව තීන්දු කළා. එකම බලවේගයත් සජබ කියලා ළඟදීම ජනතාව තීන්දු කරයි.”‍රොනී දීර්ඝ ලෙස කීවේය.
“ඔබතුමාගේ උපදෙස්, අවවාද අපිට අවශ්‍යයි. ඒවා මම ඉතාම ඕනකමින් භාර ගන්නවා”‍ සජිත් කීවේය.
සාකච්ඡාව නිමාවී සජිත් රොනීගෙන් සමුගන්නා අවස්ථාවේ රොනී නැවතත් මෙසේ කීවේය.


“මේ දේශපාලනයේ බොහෝ දෙනා කුණු වෙලා ඉවරයි. ඔබතුමාගේ චරිතයේ කොතැනකවත් කුණු නෑ. ඒ නිසාම ඊරිසියාකාරයෝ එමට ඇති. ප්‍රවේසමෙන් ඔය වැඩපිළිවෙළ කරගෙන යන්න. ඔබ හැර විකල්පයක් රටට නෑ”‍ ඒ රොනීගේ අදහසය.


සජිත් අවුරුදු සැමරූ හැටි


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර පරණ අවුරුදු දිනය යොදාගෙන තිබුණේ විශේෂ කටයුත්තකට ය. ඒ තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙන්ම තමන්ගේ හිතේශිවන්ත මිත්‍රයෙකු ද වූ රංජන් රාමනායක දැකබලා ගන්නට යාමටය.
“සර්, සමහරු කියනවා සජබ රංජන්ව ඇතුළට යනකම් බලාගෙන හිටියා කියලා”‍ එහෙම කීවේ අශෝක් අබේසිංහ ය.
“සමහරු එහෙම කියලා තිබුණා.”‍ මුජිබර් කී කතාවට උත්තර දුන්නේ මහලේකම් රංජිත් ය.


“තමන්ගෙ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස්වල පොල්කෙඳි හොයනවා කියන්නේ ඕකට. රංජන්ට අපේක්ෂකකමවත් නොදුන්න අවස්ථාවාදියෝ තමයි මේ මනස්ගාත කියවන්නේ”‍ රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
“නායකතුමා රංජන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටත් මොනතරම් අරගල කළා ද? පක්ෂය හැටියට මොනතරම් සටන් කළා ද? මේවා නොදන්න කුහකයෝ මිසක් මනසක් තියෙන කවුරුවත් ඔහොම අභූත චෝදනා කරන්නේ නෑ.”‍ එහෙම කීවේ විතාරණය.
“ෆොන්සේකා මහත්තයාගේ මන්ත්‍රීකම ගලවනකොට එදා කට්ටිය මොනවාද කළේ. ඒ අය අද මැරිලා ඉපදිලා වගේ කතාව.”
තරුණ කමිටුවේ රැස්වීමකට පැමිණ සිටි රෙහාන් ජයවික්‍රම එහෙම කීවේය.


සජිත් රංජන් බලන්නට අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට ගියේ පරණ අවුරුදු දා දහවල් ය.
රංජන් සිය නායකයාගේ දෑත් අල්වාගෙන මොහොතක් ගත කළේය.


“ඔයා හිතන්න එපා සේරම ඉවරයි කියලා. සටනවත්, අරගලයවත් ඉවර නෑ. අපි ඉන්නවා ඔයා එක්ක”‍ සජිත් රංජන්ට ශක්තිය දුන්නේය.
“එළියේ යන එක එක කතා එච්චර හිතන්න එපා. ඔබතුමා කරන කැපවීම මම හොඳින්ම දන්නවා”‍
“රංජන් කියන්නේ මානවවාදී නායකයෙක්. එතුමාට ශක්තියක් දෙන්න හැම වෙලාවේම මමත්, පක්ෂයත් පෙනී ඉන්නවා.”‍ සජිත් බන්ධනාගාරයෙන් පිටතට පැමිණ කීවේය.


පරණ අවුරුදු දාත් අලු‍ත් අවුරුදු දාත් සජිත් තවත් විශේෂ කටයුත්තකට එක් විය. ඒ කතරගම සහ හම්බන්තොට ප්‍රතිලාභී පවුල් 750ට අධික පිරිසක් සඳහා සහල් පරිත්‍යාග කිරීමය.


“ලු‍ණුයි බතුයිවත් කන්න හාල් නැතිව හිටියේ. ඔබතුමාට අනේක වාරයක් පිං.”‍ ප්‍රතිලාභී මවක් සජිත්ට කීවාය.
“ඔබතුමාටත් ඕනනම් ගෙදරට වෙලා අවුරුදු චාරිත්‍ර ඉටුකරන්න තිබුණා. ඒත් සැබෑ නායකයෙක් විදිහට ඔබතුමා ජනතාව එක්ක අවුරුදු සමරනවා.”‍ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


දුර්භික්ෂයට හසු වූ රටක් තුළ සැබෑ සුබ අලු‍ත් අවුරුද්දක් ප්‍රාර්ථනා කිරීමට හැකිදැයි යන්න ගැටලුවක් බවත්, තුන් වේල තබා එක් වේලක්වත් හරියට කෑමක් බීමක් ගන්නට නොහැකිව ළතවෙන දහස් ගණනක් ජනතාව මේ රටේ සිටින බවත් සජිත් කීවේය.
”‍ජනතාවගේ කුසගින්දර නිවීම ආණ්ඩුවක වගකීම. ජනතාවගේ දුක් ගින්දර නිවෙන දවස තමයි සැබෑ සුභ අලු‍ත් අවුරුද්ද. ඒ වෙනුවෙන් මට හැකි පමණ කැපවෙනවා.”‍ සජිත් කීවේය.

 

-ගජබා-