අගමැති ඉම්රාන් ඛාන්ට ලංකාවේදී හමුවූ පැරණි මිතුරෝ


  • අගමැතිගේ භෝජන සංග්‍රහයට ආ අමුත්තෝ
  • මෛත්‍රී-රනිල් සජිත් එක මේසයේ

 

රටම බලා සිටි පාස්කු ඉරිදා කොමිසමේ වාර්තාව ගිය සතියේ එළි දැක්වීමත් සමඟ දේශපාලන කරළිය ගිනියම් විය. මේ වනවිටත් එය රටම කතා බහ කරන උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබුවේ පසුගිය 1 වැනිදාය. එහෙත් එහි පිටපත් සකස් කර නොතිබූ නිසා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍රමාද විය. 


ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී ද ඇමැතිවරුන් කිහිප දෙනකු පාස්කු කොමිසමේ වාර්තාව ගැන විමසා සිටි අතර ජනාධිපතිවරයා කියා තිබුණේ පිටපත් සකස් කළ වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවය. මේ අතර පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබා දෙන්නැයි කාදිනල්තුමන් ද ඉල්ලා තිබූ අතර එම වාර්තාව ලැබෙන තෙක් තමන් කිසිදු දේශපාලනඥයකු හමු නොවන බවද්‍ එතුමා ප්‍රකාශ කර තිබිණි. ආණ්ඩු පක්ෂයෙ හා විපක්ෂයෙ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනිද්දා (02) කාදිනල්තුමන් හමුවීමට සූදානමින් සිටිය ද එය ද කාදිනල්තුමන් විසින් අවලංගු කරනු ලැබීය.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා පැමිණ සිටියේ පාස්කු කොමිසමේ වාර්තාව ද රැගෙනය. කැබිනට් ලේකම්වරයා එහි පිටපත් ඇමැතිවරුන්ට බෙදා හැරියේය. ජනාධිපතිවරයා කීවේ නීතිපතිවරයාගේ උපදෙස් මත කොමිසම් වාර්තාවේ පිටපත් අනෙකුත් පාර්ශ්වවලට ලබාදෙන බවය. ‘මේ කොමිසම පත් කළේ අපි නෙවෙයි. පසුගිය රජය විසින් පත් කරන ලද කොමිසමක්. අපි කළේ එහි කාලය දිගුකරලා ඉදිරියට පවත්වාගෙන යාමයි.’ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට කීවේය.


කොමිසමේ වාර්තාව අධ්‍යයනය කර නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා ඊට කලින් සතියේ කැබිනට් අනුකමිටුවක් පත් කළේය.


එහි සභාපතිවරයා චමල් රාජපක්ෂය. උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන එහි සෙසු සාමාජිකයෝය. ඒ කමිටුව කාදිනල්තුමන්ගේ ද දැඩි විවේචනයට ලක්විය. ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේ දී ද ඇමැති අනුකමිටුව පත් කිරීමේ හේතුව පැහැදිලි කළේය. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන සොයා බලන්නයි මම මේ කමිටුව පත් කළේ. එහෙම නැතිව ඒ නිර්දේශ වෙනස් කරන්න නෙවෙයි. ජනාධිපතිවරයා කීවේය.


පාස්කු ප්‍රහාර වාර්තාව පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේ දී කීවේය. මේ අතර කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානය යොමු වූවේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙනි. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද කීවේ මණ්ඩලය රජයේ සහතික මිලට වී ගනිද්දී පෞද්ගලික වී මෝල් හිමියන් කෘත්‍රිම මිලක් ඇති කරමින් ගොවීන්ගෙන් වී මිල දී ගන්නා බවය. ඇතැම් මහා පරිමාණ මෝල් හිමියන් කමතටම ගොස් වැඩි මිලට වී ගන්නා බව මහින්දානන්ද කීවේ මිල ගණන් ද ඉදිරිපත් කරමිනි. මහින්දානන්දගේ කතාවට ඌනපූරණයක් එක්කළේ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනය. බන්දුල කීවේ මේ විදියට වැඩි මිලට වී ගන්න දුන්නොත් මෝල් හිමියන් හාල් මිල තවත් වැඩි කරනු ඇතැයි කියාය. එහෙත් රජය සහල් සඳහා ද පාලන මිලක් පනවා ඇති බැවින් සහල් මිල වැඩි කිරීමට ඉඩ නොදිය යුතු බව බන්දුල කීවේය. මේ ගැන ඇමැතිවරු ගණනාවක්ම අදහස් ඉදිරිපත් කළහ. අනතුරුව ජනාධිපතිවරයා කීවේ වී අලෙවි මණ්ඩලය ද තරගකාරී මිලකට වී මිල දී ගත යුතු බවය. එසේ නොවුණහොත් මහා පරිමාණ මෝල් හිමියන් ගොවියන්ගේ වී තොග සියල්ල මිලට ගෙන කෘත්‍රිම හාල් මිලක් ඇති කළ හැකි බවය. එබැවින් තරගකාරී මිල ගණන්වලට වී මිලට ගන්නැයි ජනාධිපතිවරයා මහින්දානන්දට කීවේය.


කලින් දිනයේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව අනුව පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපත් ජනාධිපති ලේකම්වරයා විසින් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුවට බාර දෙනු ලැබීය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ පාස්කු කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයෙ තබා ඇති බවය. පිටපත් සංඛ්‍යාව සීමිත නිසා මන්ත්‍රීවරුන්ට පුස්තකාලයට ගොස් එය බැලිය හැකි බවත් පිටපත් වැඩිපුර ලැබුණ පසුව මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවත් කතානායකවරයා දැන්වීය.


මෛත්‍රී යළිත් පක්ෂ සභාපති පුටුවට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව බ්‍රහස්පතින්දා හැන්දෑවේ පැවැත්වුණේ ගාලුමුවදොර හෝටලයේය. ඒ හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. විධායක සභිකයන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබූ නිසා විධායක සභාව හෝටලයේම රැස්විය. පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීමෙන් පසුව නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම සඳහා එතෙක් සිටි නිලධාරි මණ්ඩලය ඉල්ලා අස්විය. අනතුරුව පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රී යළි පත්කර ගත යුතු යැයි යෝජනා කළේ නිමල් සිරිපාල ය. එය ස්ථිර කළේ මහින්ද අමරවීර ය. සෙසු නිලධාරි මණ්ඩලය නම් කරනු ලැබුවේ මෛත්‍රීය. ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හතර දෙනෙකු පත්කරන්නට යෝජනා විය. එහෙත් පත්කරනු ලැබුවේ තිදෙනකු පමණි. නිමල් සිරිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්, මහින්ද අමරවීර ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පත්වූහ. දයාසිරි ජයසේකර මහලේකම් ධුරයට පත්විය. රංජිත් සියඹලාපිටිය, ෂාන් විජයලාල් ද සිල්වා, තිලංග සුමතිපාල, ජීවන් කුමාරතුංග, චාමර සම්පත්, ෆයිසර් මුස්තාපා, උපසභාපතිවරුන් ලෙස පත්වූ අතර සරත් ඒකනායක, ජගත් පුෂ්පකුමාර, අංගජන් රාමනාදන්, දයාශ්‍රිත තිසේරා, කීර්ති උඩවත්ත, දුෂ්මන්ත මිත්‍රපාල උපලේකම්වරුන් ලෙස පත්වූහ. දුමින්ද දිසානායක ජාතික සංවිධායක ලෙසත් ලසන්ත අලගියවන්න භාණ්ඩාගාරික ලෙසත් පත්වූහ. අනතුරුව මෛත්‍රී පක්ෂයේ සංවිධාන කටයුතු හා ඉදිරි වැඩපිළිවෙළ ගැන පැහැදිලි කළේය.


පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විධායක සභාවේ දී වැඩි අවධානයක් යොමුවිය. එය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවේ ප්‍රධානි නිමල් සිරිපාල සිය වාර්තාව ඉදිරිපත් කරමින් පාස්කු වාර්තාව කොමිෂන් වාර්තාවකට එහා ගිය දේශපාලන ලියවිල්ලක් බව කීවේය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කළ අනියම් ආකාරයක කුමන්ත්‍රණයක් බව ද නිමල් කීවේය. අවසානයේ විධායක සභාව තීරණය කළේ පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට හා හෙළා දැකීමටය. විධායක සභා රැස්වීමෙන් අනතුරුව විධායක සභිකයන්ට රාත්‍රී භෝජනය ගන්නැයි කියා මෛත්‍රී පිටව ගියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට යන බව කියමිනි. මෛත්‍රී සමග නිමල් සිරිපාලත්, මහින්ද අමරවීරත් පක්ෂ නායක රැස්වීමට පිටත්ව ගියහ.


ඉම්රාන් ඛාන් පිළිගන්න මහින්ද කටුනායකට


පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගිය අඟහරුවාද‌ා හැන්දෑවේ දිවයිනට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහාය. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනයක් පිළිගනිමිනි. ඉම්රාන් ඛාන් පිළිගැනීමට අගමැති මහින්ද කටුනායක ගුවන්තොටුපොළටම ගියේය. මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද ඊට එක්ව සිටියහ.


පාකිස්ථාන අගමැතිවරයා සහ අගමැති මහින්ද අතර නිල හමුව එදින හැන්දෑවේ පැවැත්වූවේ අරලියගහ මන්දිරයේය. කටුනායක සිට ෂැංග්‍රිලා හෝටලයට පැමිණි ඉම්රාන් ඛාන් අනතුරුව අරලියගහ මැදුරට ආවේය. මුලින්ම පැවැත්වුණේ අගමැතිවරුන් දෙපල හා දෙරටේ නියෝජිතයන් අතර හමුවය. මහින්ද සමග දිනේෂ්, ජී.එල්. පීරිස්, බන්දුල, ප්‍රසන්න, ඩලස් ඇතුළු මැති ඇමැතිවරු ද පාකිස්ථාන රජයේ නියෝජිතයෝ ද ඊට සහභාගි වූහ. දෙරටේ අධ්‍යාපන, ක්‍රීඩා, සංචාරක වෙළෙඳ ආදී ක්ෂේත්‍ර පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. මෙරට උසස් පෙළ සමත් සිසුන් සඳහා පාකිස්ථානයෙන් ලබා දෙන ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ ගැන ජී.එල්. සඳහන් කළේය. අනතුරුව දෙරටේ අගමැතිවරුන් දෙපළ අතර හමුව පැවැත්විණි.
මෛත්‍රී - රනිල් - සජිත් කලකට පසු එකට හමුවෙති.


දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි පාකිස්ථාන අගමැතිවරයා වෙනුවෙන් එදින රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබුවේ අගමැති මහින්ද විසිනි. මැති ඇමැතිවරු රැසක් ද සහභාගි වූ මේ හමුවට හිටපු ජනපති මෛත්‍රී, හිටපු අගමැති රනිල් සහ විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස ද ඇරියුම් ලැබ සිටියහ. ඉම්රාන් ඛාන් අගමැති මහින්ද ඇතුළු දෙරටේ නියෝජිතයන් පිරිස සිටියේ එකම මේසයකය. මහින්ද එහි සිටි මැති ඇමැතිවරුන් ඉම්රාන් ඛාන්ට හඳුන්වා දෙද්දී, ‘මේ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග. මෙයා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සහෝදරයා’ යැයි කියමින් ප්‍රසන්න හඳුන්වා දුන්නේය. ඉම්රාන් ඛාන් ප්‍රසන්න දෙස බලමින් කීවේ ‘මට දෙදෙනාගේ සමානකම් පෙනුණා.’ යනුවෙනි.
මෛත්‍රී, රනිල්, සජිත් තිදෙනාම සිටියේ එකම මේසයකය. තිදෙනා කලකට පසුව එකට හමුවූවේ මේ භෝජන සංග්‍රහයේ දීය. පාස්කු කොමිසමේ වාර්තාව ද ඒ වන විට නිකුත් වී තිබූ අතර රටේම කතාබහ ඒ ගැනය. මෛත්‍රී, රනිල් හා සජිත් තිදෙනාම ඒ ගැන කතා කළහ. රනිල් ද මෛත්‍රීගෙන් ඒ ගැන විමසීය. ‘මට තාම වාර්තාව බලන්න බැරි වුණා. හැබැයි මාව කොටුකරන්නනේ හදල තියෙන්නේ’ යැයි මෛත්‍රී කියා තිබිණි.
ජනපති ගෝඨාභය - 


ඉම්රාන් ඛාන් හමුව


පාකිස්ථාන අගමැති හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව පැවැත්වුණේ බද‌ාද‌ා උදේය. ඒ ජනාධිපති මන්දිරයේ දීය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේ දී පාකිස්ථානය දුන් විශේෂ සහයෝගය ජනාධිපතිවරයා සිහිපත් කළේ ස්තූති පූර්වකවය. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා දෙරටේ සහයෝගය වර්ධනය කර ගැනීම ගැන ඉම්රාන් ඛාන් සඳහන් කළේය.


ඉම්රාන් ඛාන්ට නාමල්ගෙන් භෝජන සංග්‍රහයක්.


ඉම්රාන් ඛාන් වෙනුවෙන් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ෂැන්ග්‍රිලා හෝටලයේ දී බද‌ාද‌ා දවල් විශේෂ භෝජන සංග්‍රහයක් පිරිනැමීය. ඊට ඉම්රාන් ඛාන් සමග ක්‍රිකට් පිටියේ එකට ක්‍රිකට් ගැසූ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද පසුකාලීනව බිහිවූ ක්‍රිකට් තරු රැසකට ද නාමල් ආරාධනය කර තිබිණි. ඒ අනුව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, රොමේෂ් කළුවිතාරණ, සංගක්කාර, සනත් ජයසූරිය, මුරලිදරන් ඇතුළු ක්‍රිකට් තරු රැසක් ද ඊට සහභාගි වූහ. ඊට අමතරව කතානායක මහින්දයාපා, ජී.එල්. පීරිස්, දයාසිරි ඇතුළු පිරිසක් ද නාමල්ගේ ආරාධනය පරිදි දිවා භෝජන සංග්‍රහයට එක්ව සිටියහ. ඉම්රාන් ඛාන් අර්ජුන සමග ද බොහෝ වේලා කතාබහ කරනු දක්නට ලැබිණි.


මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටුව ගිය අඟහරුවාද‌ා පරිපාලන සංවර්ධන ආයතනයේ දී රැස්වුණේ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙනි. චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, අලි සබ්‍රි, සරත් වීරසේකර, නාමල් රාජපක්ෂ යන ඇමැතිවරු ද ඊට සහභාගි වූහ. මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධනය ගැන ඇමැතිවරුන් අදහස් දක්වද්දී නාමල් ද තරුණ ඇමැතිවරයකු ලෙස සිය අදහස් යෝජනා තර්කානුකූලව ඉදිරිපත් කළේය. ‘කාලෙකට පස්සෙ අපට හොඳ ක්‍රීඩා ඇමැතිවරයෙක් ලැබිලා තියෙනවා’ යැයි ජනක කීවේ නාමල්ගේ අදහස අනුමත කරමිනි.


ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු බැසිල් හමුවෙති.


ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 40 දෙනෙක් ගිය බ්‍රහස්පතින්ද‌ා අරලියගහ මන්දිරයේ දී පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ. ඒ පසු පෙළ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. ඔවුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද හමුවීමට වේලාවක් ඉල්ලා ඇත. බැසිල් හමුවූ මන්ත්‍රීවරුන් කියා සිටියේ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙලෙස එක්වූයේ ආණ්ඩුව රැකීමට බවය. ආණ්ඩුවේම ඇමැතිවරුන් පසුගිය දවස්වල ආණ්ඩුවට ගහද්දී පසුපෙළ විදියට අපි අසරණ වුණා. සමහරු ඔබතුමාටත් ගැහුවා. ආණ්ඩුව ගන්නා සමහර තීරණ අපි දන්නෙ නැහැ. ආණ්ඩුව ගන්න තීන්දු අපිත් දැනගන්න ඕන. එතකොට තමයි අපිට ඒ වෙනුවෙන් පෙනී ඉන්න හැකි වෙන්නෙ. අනෙක අපි සියලු දෙනාම ඔබතුමා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.’ යැයි කීවේ ප්‍රමිත තෙන්නකෝන්ය. ජගත් කුමාර, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ.


අනතුරුව බැසිල් දිගු පැහැදිලි කිරීමක් කළේය. ‘පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හරි ප්‍රබල කණ්ඩායමක්. එහෙම කට්ටියක්, මන්ත්‍රීවරයෙක්වත් නොවන මා හමුවෙන්න ආපු එක ගැන මට සතුටුයි’ බැසිල් කීවේය.


රන්ජන් බලන්න විපක්ෂනායක බන්ධනාගාරයට


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ දී බන්ධනාගාරයට ගියේය. ඒ සිරගතව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුව දුක් බැලීමටය. අඟුණකොළපෑලැස්සේ බන්ධනාගාරයට ගිය ඔහු රංජන්ගේ ආරක්ෂාව ගැන ද සොයා බැලු‍වේය.


‘‘මම ඉන්නේ අනාරක්ෂිත තත්ත්වයක. ජීවිත තර්ජන මැද තමයි මම ඉන්නේ. අඟුණකොළපෑලැස්සෙන් මාව වැලිකඩට මාරු කරලා දෙන්න’’ රංජන් කීවේය.


‘‘ඔයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව වග කිව යුතුයි. වහාම ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මමත් අපේ පක්ෂයේ සියලු‍ දෙනාමත් ඔබ වෙනුවෙන් නිතරම පෙනී සිටිනවා’’ සජිත් සහතිකයක් දුන්නේය. රංජන් බලා පාර්ලිමේන්තුවට පැමිණි සජිත් පාර්ලිමේන්තුවේදීත් ඔහු ගැන අවධානය යොමු කළේය.


‘‘රංජන් රාමනායක නැවත වරක් පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා අපි කතානායකතුමාගෙන් ඉල්ලා සිටියා. සති තුනක් ඇතුළත ඔහු කැඳවීම ගැන තීන්දුවක් දෙනවා කියලා කිව්වට කතානායකතුමා තවම ඒ ගැන තීන්දුවක් ලබාදී නැහැ. රංජන් රාමනායක ගැන ප්‍රශ්නයක් මතු කරන විට ඒක හැම විටම මග හරිනවා. ඔහු කුඩුකාරයෝ මැද ඉන්නේ. ඒක ඔහුගේ ජීවිතයට තර්ජනයක්. ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ’’ සජිත් කීය.


සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය මේ වනවිට 50ට ආසන්න වෙමින් තිබේ. එය හුදෙක් ජංගම සේවයක් පමණක් නොව, ඉතාම විධිමත් අගයක් එකතු කරන වැඩසටහනක් බව පාක්ෂිකයෝ කියති.


“ආණ්ඩුව ගස්ටික කපනවා. ඔබතුමා පුළුවන් හැම ජංගම සේවයකදීම පැළයකුත් හිටවනවා”‍ දිලිප් වෙදආරච්චි කීවේය.


“එයාලා රටට කරන දේ එයාලා ගෙනියයි. අපි රටට කරන දේ අපි ගෙනියයි”‍ සජිත් කීවේය.


‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවයේ 42-43 පසුගිය සතියේ දී පැවැත්වුණේ දෙහිවල මැතිවරණ කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින්ය.


“මගේ දුව බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන්නේ. එහි විදුහල්පතිනිය මූල්‍ය අක්‍රමිකතා නිසා වැඩ තහනම් කරලා තියෙන්නේ. මේ ගැන විමර්ශන අදිසි හස්තයකින් යට ගහලා තියෙන්නේ. මේ ගැන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සමග කතා කළාම මේ වගේ වැරදි හැම තැනම වෙනවා, ඒ නිසා විදුහල්පතිනියගේ වෘත්තිය ජීවිතය විනාශ කරන්න බෑ කියලා කියනවා. මේ ගැන අවධානය යොමු කරන්න” අධ්‍යාපන ගැටලු‍ විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කරමින් මවක් කීවාය.


“අපි ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන්නේ. පවුල් දහ අටකට ගම් පෙරළිය වැඩසටහනින් ගෙවල්වලින් භාගයක් හදාගත්තා. ඉතිරි ටික හදාගන්න උදව් කරන්න” කාන්තාවක් ඉල්ලා සිටියාය.


“මම ආණ්ඩුවේ නෙවෙයි ඉන්නේ. විපක්ෂයේ. ගෙවල්වලට උදව්වක් කරන්න මම බලන්නම්” සජිත් කීය.
“තැන්කියූ වෙරි මච් සර්” කාන්තාව ස්තුති කළාය.


“දැන් ස්තුති කරන්න ඕන නෑ. වැ​ඩේ කෙරෙනකොට ස්තුති කරන්න” සජිත් පෙර ස්තුතියක් බලාපොරොත්තු නොවීය.


“කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදය වල් වැදිලා. විදින ක්‍රමවේදයක් නෑ. රටේ ජනතාවගේ මුදල්වලින් මිලියන දහයක එන්නත් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට හදනවා. එන්නත ලබාදීමේ ක්‍රමවේදය ගැන පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කරන්න” පොදු යෝජනාවක් ඉදිරිපත් විය.


“බොහෝ රටවල එන්නත ලබාදෙන ක්‍රමවේදය ප්‍රසිද්ධියේ තිබෙනවා. ඒත් අපේ රටේ එහෙම නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ගැහුවත් මම එන්නත ගහගත්තේ නෑ. තමන්ට පෙර රටේ ජනතාව යැයි කියමින් අපිට කොවිඩ් එන්නත ගහගන්න බෑ” සජිත් කීය.


විපක්ෂනායකවරයා විදේශගත ශ්‍රමිකයින් ගැන පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේ ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමේ දී ඉතා ඉහළ මුදල් ප්‍රමාණයක් අය කරගැනීම ගැනත් සඳහන් කරමිනි.
“විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රුපියල් බිලියන 14ක අරමුදලක් තියෙනවා. මේ අරමුදල් යොමු කරමින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි” සජිත් ඇසුවේය.


එයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් විරෝධය මතු කළේ කතාවටත් බාධා කරමිනි.
“විදේශගත ශ්‍රමිකයින් ගැන කතා කරන විට ඒකට බාධා කරන්නේ ඇයි” සජිත් කියන විට සභාව කල් තැබුවේ කතාවටත් බාධා කරමිනි.


අතීත කතාවක් සිහිපත් කළ ඉම්රාන් - සජිත් හමුව


පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුව වඩාත් රසවත් සහ සුහදශීලී එකක් විය. “ඒ කාලේ ඔබතුමා ක්‍රිකට් වීරයෙක් විදිහට මම පුදුම ප්‍රිය කළා. ඒ කාලේ තුන් ඉරියව්වෙන් ලෝකේ හිටපු දක්ෂම ක්‍රීඩකයෙක් ඔබ.”‍ සජිත් කතාවට මුල පිරුවේය.


ඒ අතරේ සජිත් අතීත සිදුවීමක් සිහිපත් කරන්නට අමතක නොකළේය.


“මගේ තාත්තා අගමැති කාලේ පාකිස්තානයේ සංචාරයකට ආවා. ඒ වෙලාවේ එයාර්පෝට් එකෙන් බැහැලා රාජ්‍ය අමුත්තන්ගේ ආගන්තුක නිල නිවස අසලට තාත්තා එනකොට පිළිගන්න ආවේ ෂියා උල් හක් ජනාධිපතිතුමා. ඒ තරම් එතුමා ප්‍රේමදාස අගමැතිතුමාට ළෙංගතු වුණා.”‍ සජිත් කීවේය.


ඉතාම කෙටි කලක් තුළ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කොට විපක්ෂය බවට පත් කිරීමට හැකිවීම ගැන පාකිස්තානු අගමැති ඉම්රාන් සජිත්ට සුභ පැතුවේය.


“92 ඔබතුමා පාකිස්තානයට ලෝක කුසලානය දිනා දෙනවා. 96 අපේ රට පාකිස්තානයේ දී ලෝක කුසලානය දිනනකොට ඔබතුමා දේශපාලන පක්ෂය ආරම්භ කරනවා. එක ආසනයක් දිනලා බාධක මැද ගමනක් ඇවිත් අද ඔබතුමා රටේ නායකයා වුණා. මේක ආදර්ශමත් ගමනක්.”‍ සජිත් කීවේය.


සමගි ජන බලවේගයේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව ඉම්තියාස් බාකීර් මාකාර්, ඉම්රාන්ට පැහැදිලි කළේය.
ඒ ප්‍රතිපත්ති සියල්ල පාහේ ඉම්රාන් ගේ ප්‍රතිපත්තිවලට සමපාත විය.
“සමාජ සුභසාධනය, ජාතික එකමුතුව, මේ සියල්ල අපි දෙපාර්ශවයම පිළිගන්න ප්‍රතිපත්ති”‍ ඉම්රාන් කීවේය.
“ඔබතුමාට පාකිස්තානයේ සංචාරයකට ආරාධනා කරනවා.”‍ හමුව අවසන් කරමින් ඉම්රාන් සජිත්ට ආරාධනා කළේය.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් පසුගිය සතියේ දී හමුවූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දීය. පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන ඔවුන්ගේ අවධානය යොමුවිය.
ඔවුන් සාකච්ඡා කරමින් සිටින විට විපක්ෂ නායකවරයා ද එහි පැමිණියේය.
“හිටපු අගමැතිතුමා බුරියානි හමුවකට ගිහින් තිබුණා. ඔබතුමා යන්නේ නැද්ද” ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා ඇසුවේය.


“මට ඔය කළු කෝපි බොන්න, බුරියානි කන්න යන්න ඕන නෑනේ. මට මේ වෙලාවේ ඕන රටේ හැමෝටම වැක්සින් දෙන එක ගැන බලපෑමක් කරන්නයි” සජිත් සිනාසෙමින් කීවේය.


සජබ සංවත්සරයට සැරසෙයි


සමගි ජන බලවේගයේ පළමු සංවත්සරයට ඇත්තේ තව දින කිහිපයකි. ඊට අදාළව සංවත්සර උත්සවයක් පැවැත්වීමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටී. එහි වගකීම පැවරී තිබෙන්නේ මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දුට ය.


“මේක මෙතෙක් කිසිම පක්ෂයක් නොකරපු මට්ටමේ විධිමත්, විනයවත් සංවත්සර උත්සවයක් විදිහට කරමු”‍ සජිත් හරීන්ට කීවේය.


“සියලු‍ දෙනා එකතු කරගෙන මේ වැඩේ උපරිම සාර්ථක විදිහට කරමු”‍ හරින් කීවේය.


සාමාජික ප්‍රවර්ධනයට එජාප නියෝජ්‍ය නායක කුරුණෑගලට


එක්සත් ජාතික පක්ෂ අරමුදල තර කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන 1000 එම්. වැඩපිළිවෙළ යටතේ ඉකුත්දා කුරුණෑගල දී විශාල පිරිසක් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතින් සාමාජිකත්වය ලබා ගත්හ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරින් පළාත් පාලන නියෝජිතයන් පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් පසුගිය සති අන්තයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී හා හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවසේ දී රැස්වූහ.


පාලිත රංගෙ බණ්ඩාර, සමන් රත්නප්‍රිය, සන්දිත් සමරසිංහ, ආශු මාරසිංහ යන හිටපු මන්ත්‍රීවරු අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවසට පැමිණ සිටියහ.


මෙම රැස්වීමේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින ගැටලු සාකච්ඡා කෙරිණ. එහිදී රුවන් විජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන අදහස් ප්‍රකාශ කළේය. රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදයක් නැති ජනතාව රජයට විරුද්ධව නැගී සිටින බවත් විකල්ප දේශපාලන පක්ෂ වෙත යොමු වන බවත් ඒ මහතා කීවේය.


එම රැස්වීමෙන් පසු රුවන් විජයවර්ධන මහතා අකිල විරාජ් කාරියවසම් මහතාගේ පියා වූ ජී.ඩබ්ලිව්. කාරියවසම් මහතා වෙසෙන නිවසට ගොස් ඔහු හමුවී කතා බහ කළේය.


ඉන්පසු දඹදෙණිය විජයසුන්දරාරාම රජමහා විහාරයට පැමිණි රුවන් විජයවර්ධන මහතාට අපූරු පුවරුවක් දක්නට ලැබුණි.


ශ්‍රී දළදාව තැන්පත් කර තිබූ මෙම විහාරස්ථානයේ පිහිටි දළදා මන්දිරය හා එහි බිතු සිතුවම් අලුත්වැඩියා කර තිබුණේ විජයවර්ධන පරපුරට සම්බන්ධ අයවීම විශේෂත්වයක් විය.


ඉන්පසු රුවන් විජයවර්ධන මහතා මාතර හා දෙණියාය ප්‍රදේශවල පක්ෂ ක්‍රියාකාරීන් හමුවිය.
එම සංචාරයට ද සමන් රත්නප්‍රිය මහතා ඇතුළු හිටපු මන්ත්‍රී පිරිසක් සහභාගි වූහ.
පසුගිය සතියේ දී රුවන් විජයවර්ධන මහතා කොරෝනා එන්නත ද ලබා ගත්තේය.

 

- ගජබා -