19 අහෝසි කර 18 ට යන හැටි ජනපති කියයි


මේ දිනවල දේශපාලන කරළියෙ හැමෝම කතා කරන්නේ 20 ගැනය. ආණ්ඩුව 20 ගැන ගුණ වයයි. විපක්ෂය 20 හි තියෙන අගුණ ගැනම කියයි. රටේ ජනතාව ද අන්දුන් කුන්දුන් වෙලා බලා ඉන්නේ ආණ්ඩුවේ හා විපක්ෂයේ අය දේශපාලන වේදිකාවල කියන මේ කතා හේතුවෙනි. කෙසේ වුවද 20 වැනි සංශෝධනය මේ වන විට පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර හමාරය. දැන් තිබෙන්නේ 20 සම්බන්ධයෙන් ගැටලුවක් ඇති අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට දී ඇති කාලයයි. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සතියක් තුළ ඕනෑම අයකුට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය. ගිය බ්‍රහස්ප්‍රතින්ද‌ා වන විට 20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් ගණන 12 දක්වා ඉහළ ගියේය. ඉදිරි සතිය වන විට එය තවත් වැඩිවනු ඇත.


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිය සඳුද‌ා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූයේ කරුණු දෙකක් හේතුවෙනි. එකක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. දෙවැන්න එම සතිය පාර්ලිමේන්තු සතියක් වීමය. වෙනද‌ා ආණ්ඩු පක්ෂ රැස්වීම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේය. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහෙත් මෙවර ආණ්ඩු පක්ෂ රැස්වීම පැවැත්වූවේ ජනාධිපති කාර්යාලයේය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට ප්‍රධානම හේතුව වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. 20 සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේම සමහර පාර්ශ්ව අතර විවේචනයක් තිබිණි. සමහරු 19 න් ගෙනා විගණන කොමිසම අහෝසි නොකළ යුතු බව කීහ. තවත් සමහරු ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළහ. මේ පසුබිම තුළ ආණ්ඩුවේ ස්ථාවරය සම්බන්ධයෙන් ද ජනතාව තුළ අපැහැදිලි තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව පෙනෙන්නට තිබිණි. ජනාධිපතිවරයා" ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයට කැඳවූයේ මේ පසුබිම තුළය. 20 වැනි සංශෝධනය ගැනත් ඒ පිළිබඳ තමන්ගේ ස්ථාවරයත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කියා දෙන්නට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබිණි. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව එලෙස එක ස්ථාවරයක සිටිය යුතු බව මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දීමටය. සඳුද‌ා හැන්දෑවේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීම විශේෂයක් ගත්​තේ එම කාරණය නිසාමය.


ආණ්ඩු පක්ෂ රැස්වීම සවස 6.30 ට ආරම්භ විය. මුලින්ම සාකච්ඡාවට ගැනුණේ එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේ කටයුතුය. ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත් යෝජනා හා විවාදයට සහභාගි වන කථිකයන් සම්බන්ධයෙන් පළමුව සාකච්ඡා විය. අනතුරුව සාකච්ඡාවට ලක්වූවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ ගැන මුලින්ම පැහැදිලි කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ‘අපි 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 20 ගැන සමහරුන් බොරු බිල්ලෙක් මවන්න හදනවා. 20 ගේන්නේ 19 වැනි සංශෝධනය අහෝසි කරන්න. ඒකෙන් වෙන්නේ 19 අහෝසි වෙලා නැවත 18 ට යන එකයි. 19 අහෝසි කළාම වෙන්නෙ 18 නැවත බලාත්මක වෙන එකයි. දහනවය අහෝසි කරනවා කියලා අපි ජනතාවට පොරොන්දු වුණා. මේ කරන්නෙ ඒ පොරොන්දුව ඉටුකරන එකයි. 20 න් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා වැරදි අර්ථකථන දෙනවා. මෙතන එහෙම එකක් නැහැ. අපි 20 ගෙනාවට පස්සේ ඉතා ඉක්මනින්ම රටට ගැළපෙන අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. අලුත් අදහස් අරගෙන රටට, ගැළපෙන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන නව ව්‍යවස්ථාවක් තමයි අපි හදන්නේ’ යැයි ජනාධිපතිවරයා කීවේ 20 ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි.


දහනව වැනි සංශෝධනයෙන් ඉතිරිවෙන වගන්ති කිහිපයක් ගැන ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 කට සීමා කිරීම, දෙවතාවකට වඩා ධුරය දැරිය නොහැකි වීම, පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 කට සීමා කිරීම යන වගන්ති වෙනස් වෙන්නෙ නැහැ. ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ දීර්ඝ පැහැදිලි කිරීමෙන් අනතුරුව කතා කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. අපි ගැන විශ්වාසය තියන්න. අපි කවද‌ාවත් රටට අහිතක් කරන්නෙ නැහැ. අපිට ඕන මේ රට ගොඩනගල ඉදිරියට ගෙනියන්න.’ මහින්ද කීවේය. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ද මහින්දගෙන් පසුව අදහස් දක්වන්නට ඉදිරිපත් විය. විස්ස ගැන අපටත් අදහසක් තියෙනවා. ඒ ගැන කතා කරන්න අවශ්‍යයි යැයි චන්දිම කීවේය. ඊට පිළිතුරු දුන්නේ අගමැති මහින්දය. ඕනෑ වෙලාවක ඕනෑ කෙනෙකුට අදහස් දැක්විය හැකි බවත් ඊට කිසිම තහංචියක් නැති බවත් අගමැතිවරයා කීවේය. අනතුරුව විමල් වීරවංශ ඇමැතිවරයා අදහස් දක්වන්නට විය. ඔය ගැන අපේ මතය නම් අපි කැබිනට් එකේදී ඉදිරිපත් කළා. අපි එළියෙත් ඒ ගැන අදහස් පළකළා යැයි විමල් කීවේය. විමල්ගේ කතාවෙන් පසුව ජනාධිපතිවරයා යළි අදහස් දැක්වීය. ‘ඒත් මම කැබිනට් එකේදී 20 ගැන ඉදිරිපත් වෙච්ච අදහස් බුල්ඩෝසර් කළා වගෙයි සමහර පත්තරවල ගියේ. ඒත් මම එහෙම කළේ නෑ. මම සියලු දෙනාටම සවන් දෙනවා.’ ජනාධිපතිවරයා කීවේය. නෑ නෑ පත්තරවල ගිය ඒ වාර්තා වැරදියි. ඔබතුමා ඒ ගැන කිසිම බලපෑමක් කළේ නෑ. හැමෝටම විවෘතව අදහස් දක්වන්න අවස්ථාව දුන්නා. අපි ඒක අගය කරනවා.’ යැයි විමල් කීවේය.


අනතුරුව කතා කළේ ඇමැති උදය ගම්මන්පිලය. දහනවය අහෝසි කරල 18 බලාත්මක වෙනව නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසරකින් පසුව විසුරුවා හැරීමේ බලයක් ලැබෙනවා නේදැයි ගම්මන්පිල විමසීය. ඊට පිළිතුරු දුන්නේ අධිකරණ ඇමැති අලි සබ්‍රිය. නෑ නෑ ඒ කාලය වසරක් නෙමෙයි වසර දෙක හමාරක් කියලා පස්සේ වෙනස් කළා යැයි අලි සබ්‍රි පැහැදිලි කළේය. ‘සමහර අය තම තමන්ගේ මත වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි එකතුවෙලා එක තීන්දුවක් ගන්න ඕනෑ.’ යැයි කීවේ රාජ්‍ය ඇමැති නිමල් ලන්සාය. 19 අහෝසි කරල 18 බලාත්මක කිරීමට තමයි 20 ගේන්නෙ කියන එක අපේ ස්ථාවරය නම් අපි හැමෝම ඒ තීන්දුව වෙනුවෙන් පෙනී ඉන්න ඕන.’ එක එක්කෙනාට මේ පිළිබඳව විවිධ අදහස් මත තියෙන්න පුළුවන්. ඒත් අපි ආණ්ඩුව විදියට 20 ගැන එක මතයක ඉන්න ඕන. ඒ නිසා 20 ගැන තැන් තැන්වල එක එක දේවල් කියන එක නතර කළ යුතුයි’ යැයි ලන්සා කීවේය.


ප්‍රසන්න රණතුංග ද අදහස් දැක්වූවේ ලන්සාගේ අදහස අනුමත කරමිනි. දැන් බලන්න අපේම අය 20 ගැන එක එක කතා කියන කොට මිනිස්සුත් කලබලවෙනවා. අපි හැමෝම එක මතයක ඉන්න කොට තමයි ආණ්ඩුව ශක්තිමත් කියලා පේන්නේ. අපට විවිධ පක්ෂ පාට සලකුණු මතවාද තියෙන්න පුළුවන්. හැබැයි අපි දැන් ආණ්ඩුව කියන එක අමතක කරන්න හොඳ නැහැ. අපි හැමෝම වැඩ කරන්න ඕනෑ ආණ්ඩුව ශක්තිමත් කරන්නයි. ප්‍රසන්න රණතුංග කීවේය. ගෙවිඳු කුමාරතුංග ද ඒ ගැන කතා කළේය. ජනාධිපතිවරයා යළිත් කීවේ 20 ගෙනාවේ වෙන මොනවත් නිසා නොව 19 අහෝසි කරන්න බවය.


විපක්ෂය 20 අල්ලාගෙන ජෝගි නටනවා. අපි ශක්තිමත්ව ඒකට මුහුණ දෙන්න ඕන. නැත්නම් පේන්නේ ආණ්ඩුව දුර්වලයි කියලයි. ප්‍රසන්න කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි.


මේ අතර චන්දිම වීරක්කොඩි ගාල්ලේ ප්‍රශ්නයක් මතු කළේය. සමහර ඇමැතිවරුත් අපේ කොට්ඨාසවලට ඇවිත් ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති ගැන විවිධ දේවල් කරනවා. ඒ යන වෙලාවල්වලට අදාළ ආසන සංවිධායකවරුන් ද දැනුම්වත් කරනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. චන්දිම වීරක්කොඩි කීවේය. චන්දිමගේ කතාවට උල්පන්දම් දෙමින් කතා කළේ බදුල්ලේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාය. ඔව්. ඔව්. ඔය අපේ පැත්තෙත් ඊශ්‍රායලය, කොරියා, ජපානය, වගේ රටවලට කියලා රස්සා ෆෝම් බෙදන්නේ. චාමර සම්පත් කීවේ වදින තැනකට වදින්නත් එක්කය. පසු පෙළ මන්ත්‍රීවරයෙකු හෙමින් කීවේ ඔය ඉතින් කියන්නේ නිමල් ඇමැතිතුමාට වෙන්න ඇති යනුවෙනි.


ආණ්ඩු  පක්ෂ රැස්වීමට උපන්දින කේක් එකක්


ආණ්ඩු පක්ෂ රැස්වීමට උපන්දින කේක් ගෙඩියක් ගෙනැවිත් තිබුණේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි. එදින උපන් දිනය යෙදී තිබුණේ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධනගේය. රෝහිත උපන් දින කේක් කැපුවේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සහ අැමැතිවරුන් ද එක්කර ගනිමිනි. ඔහු කේක් කපා පළමු කෑල්ල ජනාධිපතිවරයාට කැව්වේය. ඊළඟ කෑල්ල කැව්වේ අගමැතිටය. රෝහිතට සුබ පතන්නට විමලවීර දිසානායක ඇමැතිවරයා එද්දි නිමල් ලන්සා ඔහුට විහිළුවක් කළේ ‘ආ බුලත් විටක් එක්ක කේක් රස බලන්න ඇවිත් වගේ නේ දැයි’ කියමිනි. ‘බුලත් එක්ක කොයි දේත් රහයි මල්ලි’ යැයි කියමින් විමලවීර ද උත්තර දුන්නේ සිනාසෙමිනි.


20 ගැන මන්ත්‍රීන්ට ජී.එල්.ගෙන් ලිපියක්


20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ කාර්යභාරය අගමැතිවරයා විසින් පවරනු ලැබුවේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ටය. ඒ අනුව ඔහු 20 වැනි සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා ලිපියක් සකස් කළේ එක් එක් මාතෘකා ගැන සරල පැහැදිලි කිරීම් ද සඳහන් කරමිනි. 20 A අවධානයට ලක් විය යුතු වැදගත් කරුණු කිහිපයක් මැයෙන් සකස් කර තිබු පිටු 5 කින් යුත් ලිපියක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මන්ත්‍රීවරුන් අතට පත් කරන්නට මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා පියවර ගත්තේය.


සමස්තයක් වශයෙන් 20 A ව්‍යවස්ථා සංශෝධනයේ පදනම අමාත්‍යාංශ පවරා ගැනීමේ බලය, පොලිසිය පාලනය කිරීමේ බලය, ජනාධිපති මුක්තිය, ස්වාධීන කොමිෂන් සබා, ව්‍යවස්ථාදායක සභාව - කාලසීමාව, ව්‍යවස්ථා දායක සභාවේ විනිශ්චය තුළ ඇති ස්වාධීනත්වය ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාට ඉහළින් පැවතීම, ප්‍රතිවාදී බල ක්ෂේත්‍රයන්, අරාජිකත්වය සඳහා වූ ප්‍රවේශය, ආර්ථිකයට ඇති වන ප්‍රතිවිපාක සම්පූර්ණ ව්‍යවස්ථාවට පෙර 20A ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය ඇයි යන උපමාතෘකා යටතේ 20 ගැන දීර්ඝ විස්තරයක් එම ලේඛනයෙන් මන්ත්‍රීන් අතට පත් කර තිබිණි. බොහෝ මන්ත්‍රීවරුන් ජි.එල්.ගේ උත්සාහය අගය කළේ 20 ගැන අවබෝධයක් එම ලේඛනයෙන් ලබා දී ඇති බව කියමිනි.


කෙහෙලිය ආරණ්‍යයකට යයි


ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපන්දිනය ඉකුත් සඳුදාට යෙදී තිබිණි. එදින ඔහු සිටියේ අනුරාධපුර ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේය. කෙහෙළියගේ උපන් දිනය වෙනුවෙන් එම ආරණ්‍යයේ භික්ෂූන් වහන්සේලාට දවල් දානය සූදානම් කරනු ලැබුවේ කෙහෙළියගේ බිරිඳ විසිනි. උදේ පාන්දරම කෙහෙළියට කතා කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. සුබ උපන්දිනයක් කියමින් සුබ පැතු අගමැතිවරයා ආගිය තොරතුරු ගැන ද බොහෝ වේලාවක් කතා බහ කළේය.


20 එපා ස්ටිකරයක් දුමින්දගේ පිටේ


20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ තිබුණේ දැඩි උණුසුම්කාරි තත්ත්වයකි. ඊට හේතුව 20 ට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විරෝධය පළ කිරීමය. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එදින සභාවට පැමිණියේ 20 එපා යනුවෙන් සඳහන් ස්ටිකරයක් ද කමිසයේ පැළඳගෙනය. පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී දුමින්ද දිසානායක ඇමැතිවරයාගේ කමිසයේ පිටුපස ද ‘20 එපා’ ස්ටිකරයක් අලවා තිබුණේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා විසිනි. එහෙත් ඒ බවක් දුමින්ද නොදැන සිටියේය. පසුව එය දුටු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ස්ටිකරය ගලවා දුමින්ද අතට දුන්නේය.


දුමින්ද එය දැන ගත්තේ ප්‍රමිත එය ගලවා අතට දුන් පසුවය. වහා එතනට දුව ගෙන ආ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා දුමින්දට විහිළුවක් කරමින් කීවේ ‘මචං මං ඒක ඇලෙව්වේ මොකද වෙන්නේ කියලා බලන්නයි’ යනුවෙනි.


බොරැල්ල සුසමයවර්ධන විද්‍යාලයේ සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික ආයතනයක අනුග්‍රහයෙනි. එය නිරික්ෂණය කරන්නට අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් එම පාසලට ගිය සතියේ ගියේය. මෙම ව්‍යාපෘතියේ අරමුණ රැකියා වෙළෙඳපොළේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයන් බිහිකිරීමත් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව ලබාදීමත්ය. එම ව්‍යාපෘතිය සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු ව ඇත්තේ පන්ති කාමරයම අලුතින් නිර්මාණය කරන්නට සිදුවන බැවිනි. ජී.එල්. අදාළ පෞද්ගලික සමාගමට ද ස්තූතිය පළ කළේ මෙම වැඩපිළිවෙළට දක්වන සහාය අගය කරමිනි.


විස්සට එරෙහිව විපක්ෂයේ සද්දය


විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමද‌ාස පසුගිය සති අන්තය ගත කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකේය. දිනමු කමිටු පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව සජිත් ඒ ඒ දිස්ත්‍රික්කවල විහාරස්ථානවලට ගොස් නායක හිමිවරු හමුවූයේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන ආකාරය සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමටය.


‘ඔබතුමා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ කාර්යභාරය හොඳින් ඉටු කරනවා. පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව හිතුවක්කාරී ආකාරයට කටයුතු කරන එකට බාධා වෙලා තියෙන්නේ ඔබතුමන්ලා ශක්තිමත් විපක්ෂයක් විදියට කෙලින් ඉන්න නිසයි’ නායක හිමිවරුන් සජිත්ට කීවේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන විෙශ්ෂ ප්‍රකාශකයන්ගේ අන්තර්ගතයන් ද අගය කරමිනි.


‘19 වැනි සංශෝධනයේ තියෙන නරක ඉවත් කරලා හොඳ දේවල් ඇතුළත් කරන නයින්ටීන් ප්ලස් ගැන අදහසක් තමයි අපි ඉදිරිපත් කරන්නේ.’ සජිත් 19 ප්ලස් ගැන කරුණු පැහැදිලි කළේය.


විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන අවස්ථාව වන විට පාර්ලිමේන්තුවේ කුමක් සිදුවේද කියා බොහෝ දෙනා විමසිල්ලෙන් සිටියහ. මීට පෙර ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාවේ විපක්ෂය ලෙස සමගි ජනබලවේගය දැඩි විරෝධතාවක් පාර්ලිමේන්තු සභා ගැබේදී එල්ල කිරීමට සමත් විය. 20 ගෙන එන අවස්ථාවේ විපක්ෂය ‘නිකං ඉන්නේ නැති බව’ ආණ්ඩුව පවා දැන සිටියහ.


මේක පාර්ලිමේන්තු ඉතිහාසයේ තීරණාත්මක දවසක්. මේ විස්ස සම්මත කළොත් අදට වඩා මතු පරම්පරාව අපිට ශාප කරයි.’


එහෙම කීවේ රාජිතය.


ආණ්ඩුව යන මේ ඒකාධිපති ගමන වහාම නතර කරන්න ඕන. අපි ඊට එරෙහිව උපරිම සටන් කරන්න ඕන.’ මරික්කාර් කීවේය.


‘අපි විස්සට විරුද්ධ වෙන්නේ පුද්ගල කේන්ද්‍රීය හේතුවකට නෙවේ. විස්ස කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කරන ව්‍යවස්ථා සංශෝධනයක් නිසා. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා වෙනුවෙන් අපි අරගල කරමු.’


සජිත් සිය සගයින්ට කීවේය. ඒ අනුව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එයට විරෝධය දක්වන ආකාරය ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දින කිහිපයකට පෙර සිටම සැලසුම් සකස් කරමින් තිබුණි.


‘මරණ දඬුවම හිමි වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා දිවුරුම් දුන් අවසථාවේදී කළු සාටක විරෝධයක් දැක්වූ නිසා ආණ්ඩුවත් අපි දැන් මොකද කරන්නේ කියලා හොඳට බලාගෙන ඇති.’ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කීවේය.


ඊට පෙර විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය ගැනය.


කිසිදු කලබලයකින් තොරව විපක්ෂ නායකවරයාත් තමන්ගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම නිසා ආණ්ඩු පක්ෂයට තරමක සැහැල්ලුවක් ලැබී තිබුණි.


ආණ්ඩුව විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිපත් කළේ ඉන් අනතුරුවය. ඒ එක්කම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තමන්ගේ කමිස සාක්කුවේ ස්ටිකරයක් අලවා ගෙන සිටියහ. ඒ විස්ස එපා යැයි සඳහන් වන ස්ටිකරයකි.


ටික වේලාවක් යන විට තැනින් තැන පෝස්ටර් මතුවන්නට විය. ‘විස්ස එපා’ ‘ඒකාධිපති 20 පරදවමු’ ආදී බැනර් ප්‍රදර්ශනය කරමින් විස්සට එරෙහි විරෝධතාව ඉදිරියට ආවේය.


කිසිවෙකුටවත් සිතාගත නොහැකි ලෙසට විරෝධතා පුවරු පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබුණේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. පෙර දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණි ඔහු ඒවා සූක්ෂමව ගෙනවිත් සඟවා තිබුණි. එහෙත් ඒ පුවරු ප්‍රමාණවත් නොවන නිසා පසු දිනයේදී ද තවත් විරෝධතා පුවරු හරින් රැගෙන ආවේය. ජයන්තිපුර පාර්ලිමේන්තු රථ ගාලට පැමිණි හරින් ෆයිල් කවර ආකාරයකට ඒවා නවාගෙන තමන්ගේ බෑගයට දමා ගත්තේ පරික්ෂා කළහොත් ෆයිල් කවර යැයි කිව හැකි ආකාරයටය. ඔහු පාර්ලිමේන්තුවට එම බෑගය රැගෙන එන විට විපක්ෂනායක කාර්යාලය අසල මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද වූහ.


‘ඉස්සරහට ආණ්ඩු පෙරළන බෑග් එක තමයි මේ.’ හරීන් කීවේ සිනාසෙමින්ය.


‘ඒ මොකද? මන්ත්‍රීවරයෙක් ඇසුවේය.


‘ආණ්ඩු පෙරලන්න ඕන වෙන හැම එකක්ම අරගෙන එන්නේ මේක ඇතුළේ තමයි.’ හරීන් කිවේ සිනහවක් මුවට නංවා ගනිමිනි. එසේ ගෙන ආ විරෝධතා පුවරු පෙන්වමින් විනාඩි ගණනාවක් විරෝධතාවය පැවැත්වූවේය. විරෝධතාවයේ යෙදෙන මන්ත්‍රීවරු සභා ගර්භය මැදටම පැමිණියහ.


‘අගමැතිතුමා වෙනුවෙන් තමයි අපි මේ විරෝධතාවය කරන්නේ. මොකද කියන්නේ අපි කරගෙන යන්න ද, නතර කරන්න ද?’ හරීන්, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අසලටම ගොස් ඇසුවේය.


විරෝධතාව අවසන් කළ මන්ත්‍රීවරු කණ්ඩායමක් විපක්ෂනායක කාර්යාලයට පැමිණියහ.


‘ආණ්ඩුවේ සමහර අය විස්සට විරුද්ධයි. ඔය කොමියුනිස්ට් පක්ෂයෙන් එහෙම ආපු අය රෙදි ඇදගෙන විස්සට සහාය දෙන්නේ කොහොමද කියලා අහනවා.’ අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා කීවේ තමන්ට ලැබුණ තොරතුරකි.


‘පුලුවන් නම් උසාවියට ගිහින් ජනමත විචාරණයක් නැතිව මේක සම්මත කරගන්න බැරි තැනට තල්ලු කරගන්න කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම මට කිව්වා.’ ජේ.සී. අලවතුවල ආණ්ඩුවේ තවත් රහසක් එළිකළේය.


‘ආණ්ඩුවේ ඇතුළේ අයගේ සහාය නැතිව මේක තුනෙන් දෙකකින් සම්මත කරගන්නේ කොහොමද? මන්ත්‍රීවරු කතා කළහ.


විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සජිත් කීවේ එදින පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුතම දිනයක් වන බවය.


‘විසිවැනි සංශෝධනය හරහා විගණකාධිපතිවරයාත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා. විගණකාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, රජයට වැඩි කොටස් තිබෙන සමාගම් විගණනය කරන්න බෑ. මේකට විරුද්ධව තමයි අපි හඬ නගන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදයට, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට මරු පහරක් මේ විසි වැනි සංශෝධනය හරහා එල්ල කරනවා. මැතිවරණ කොමිසම ස්වාධීන, කොමිසමක් බවට පත් වූ පසුව මැතිවරණවලදී කිසිදු ජීවිතයක් අහිමි වෙලා නෑ. මේ වගේ ස්වාධීන මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය කෙළසලා.’ සජිත් කීවේ විසිවැනි සංශෝධනය නිසා ස්වාධීන කොමිෂන් සභාවලට එල්ල වී තිබෙන බලපෑම් ගැන පැහැදිල කිරීමක් ද කරමිනි.
එජාපයේ අරගලය යට යයි


එජාප නියෝජ්‍ය නායක ලෙස පැහැදිළි වැඩි ඡන්දයෙන් රුවන් විජයවර්ධන පත්වීමත් සමග එජාපය තුළ තිබූ අභ්‍යන්තර සීතල අරගලය නිමාට පත්වූ බවක් පෙනේ. එමෙන්ම නව නියෝජ්‍ය නායක මහත් උද්යෝගයෙන් යුතුව එජාප නායක සමග එකමුතුව පක්ෂය යළි ගොඩ නැගීම සම්බන්ධයෙන් සක්‍රීය ද‌ායකත්වයක් දෙමින් කාර්යක්ෂමව කැපවීම ගැන බොහෝ දෙනෙකුට ඇත්තේ සුබවාදී හා හා ප්‍රශංසනීය ආකල්පයකි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ මාතර, තිස්සමහාරාමය, කතරගම යන ප්‍රදේශවල සංචාරයක යෙදුණේය.


එහිදී රුවන් විජයවර්ධන මහතා මාතර පක්ෂ කාර්යාලය විවෘත කරනු ලැබුවේය. ඉන්පසු මාතර දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරීන් හමු වී ඉදිරි වැඩ කටයුතු හා පක්ෂයේ දියුණුවට ගතයුතු ක්‍රියාමාර්ග, අඩුපාඩු, පිළිබඳව සාකච්ඡා කළේය.


කතරගම හා තිස්සමහාරාම ප්‍රදේශවල ආසන සංවිධායකයන් හමුවූ රුවන් විජයවර්ධන මහතා එම ප්‍රදේශවල ආගමික නායකයන් ද හමුවූයේය.


විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ගිය සඳුද‌ා සිරිකොතේදී රැස්වී ඒ සම්බන්ධ අද‌ාළ ලියකියවිලි සකස් කරනු ලැබුවේය. පක්ෂයට අනුබද්ධ සංවිධාන ගණනාවක නියෝජිතයන් හමුවූ රුවන් විජයවර්ධන මහතා එම සංවිධාන සමග ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡා කර ඇත.


‘රුවන් පක්ෂයේ සෙසු පිරිස් එක්ක කතා කර පක්ෂයේ අනාගත ක්‍රියාපටිපාටිය ගැන සැළසුම් මෙන්ම උපක්‍රම පිළිබඳ වාර්තාව හදා පක්ෂයට ඉදිරිපත් කරන්න තීන්දු කර තිබෙනවා. ඒ වාර්තාව මට ලැබුණම මගේ අදහසුත් ඇතුල් කර කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරනවා. එතනදී තවත් ප්‍රයෝජන අදහස මතුවුනොත් ඒවාත් ඊට ඇතුල් කරන්නයි තීන්දු කළේ.


ඊට අද‌ාළ සාකච්ඡා රැසක් මේ වන විට නියෝජ්‍ය නායක රුවන් විවිධ පාර්ශ්වන් එක්ක පවත්වමින් ඉන්නවා.’ එජාප නායක පසුගිය බ්‍රහස්පතින්ද‌ා සිරිකොතේදී පැවැසුවේ එවැන්නකි.


‘දැන් රවී - නවීන්ලා වගේ නියෝජ්‍ය නායක රුවන්ට විරුද්ධ වූ අය මොන වගේ තීන්දු ගනීවිද? ඔවුන් නායකතුමා හමුවුනේ හෝ කතා කළේ හෝ නැද්ද? සිරිකොතේදී නායකට යොමු වූවේ එවැනි ප්‍රශ්නයකි.
‘මට නම් කතා කළේ නැහැ. රවි - නවීන්ලා මොනවා කරයි ද කියා මා දන්නේ නැහැ. ඒ අයයි, තවත් කණ්ඩායමකුත් එකතු කර ගෙන ඉදිරියට යන එක දැන් නව නියෝජ්‍ය නායකගේ වගකීමයි.’ එජාප නායකගේ ස්ථාවරය එය විය.


ගෙවී යන සතිය තුළ එජාප ප්‍රබලයන් වැඩි දෙනෙකු කොළඹ හෝ ශ්‍රී ලංකාව තුළ හෝ සිටියේ නැත. එජාප නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට පාස්කු ඇතුළු කොමිෂන් ගණනාවකින් කැඳවීම් ලැබී ඇති හෙයින් ඒ ගැන අවධානය ලක් කිරීම ද මේ දිනවල සිදුවෙමින් පවතී.


තව ද සති අන්තය තුළ නව නියෝජ්‍ය නායක මාතර සංවිධාන කටයුතු ප්‍රගුණ කිරීම සඳහා නව කාර්යාල විවෘත කිරීමට ද නියමිතය. එසේම නව තනතුර ලැබීමෙන් පසු ඔහු ප්‍රමුඛ රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඉතා විද්වත් මතවාද රැසක් එළිදැක්වීම ද කාගේත් පැසසුමට ලක්ව තිබේ.


එසේම පාස්කු ප්‍රහාරය ගැන කරුණු සෙවීමේ ජනාධිපති කොමිසමේදී හිටපු බුද්ධි අංශ ප්‍රධානියා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හිටුප පොලිස්පතිවරයා මේ දිනවල සාක්සි සඳහා කැඳවා ඇති හෙයින් සියලු දේශපාලකයන් ඇතුළු සමස්ත ජනතාවගේ අවධානය එ් කෙරෙහි යොමුව තිබේ.


‘ඇත්තටම මේ කොමිසමෙන් පහුගිය ආණ්ඩුවට වක්‍රව ප්‍රහාර එල්ල වෙනවා වගේ පෙනුණත් එතනදී බොහෝ කරුණු හෙළිවීමත් රටට, ජනතාවට වැදගත් වෙනවා. විශේෂයෙන් හිටපු ජනපතිවරයා ඒ යුගයේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ගිය ඒකාධිපතිවාදී හා තනිමතයට ක්‍රියා කිරීමේ ආදීනව මුළු රටම භුක්ති විඳි බව කොමිසමේදී හෙළිවුණා.’


ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයාගේ සාක්ෂි තුළ හිටපු ජනපතිවරයා ප්‍රහාරයට සෘජුවම වගකිවයුතු බවත් ඔහු රටේ ආරක්ෂාවට අද‌ාළ වගකීම් ගැන කිසිදු තැකීමක් සහිතව ක්‍රියා නොකළ බවටත් විශාල මතවාදය ජනතාව අතර ලියළමින් තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ ගැන කෙතරම් තැති ගෙන ඇත්ද කියනවා නම් කොමිසමේ සාක්කිවලට එරෙහිව මාධ්‍ය නිවේදන පවා එළි දැක්වූවා. ඒ වගේම කොමිසමේදී බොහෝ දෙනෙකු සාක්කි දෙන අයුරු මුහුණට මුහුණ දැක බලාගෙන සාක්කිකරුවන්ට වක්‍ර බලපෑම කිරීමටත් ඔහු ක්‍රියාකිරීම සද‌ාචාරාත්ම නොවන බවයි රටේ බහුතර ජනමතය වෙන්නේ.’ එජාප නීති අංශ ප්‍රධානියෙකුගේ විග්‍රහය එය විය.


‘ලබන 06 වැනිදා මටත් පාස්කු කොමිසමට එන්න කියා තිබෙනවා. මා යනවා. එතනදී තව බොහෝ දේවල් එළිවේවි. අනිත් කොමිෂන් වලින් මට දින දී නැහැ. ඒවා පොඩි පොඩි ඒවනේ.? එජාප නායක කීවේ උපහාසාත්මක සිනහවක් ද සමගිනි.


එජාපයත් 20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණය හා ලංකාවේ නීති පද්ධතිය ගැන දැඩි විශ්වාසයකින් ඉන්නේ. මුළු ලෝකයත් 20 සම්බන්ධව ඔවුන් දෙන තීන්දුව ගැන දැඩි අවධානයෙනුයි ඉන්නේ. තුනෙන් දෙක පාර්ලිමේන්තුවේ තිබුණට සියල්ල කරන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන ඉතා නිවැරැදි හා මධ්‍යස්ථ තීන්දු දේවි කියලයි ලෝකයම බලාගෙන ඉන්නේ. එජාප නායක කීවේය.

 

-ගජබා-