​රෝමයේ ‘සුපිපි’ සිංහල පාසලේ අවුරුදු


හිස තෙල් ගෑම

අපේ සිංහල හින්දු අලුත් අවුරුදු දිනය ඉරිදා දිනයක් වීම නිසා විදේශගත ශ්‍රී ලාංකික සිංහල දූ දරුවන්ට උණු උණුවේම අවුරුදු සමරන්නට හැකිවීම වාසනාවක් ලෙස සැලකිය හැකිය. ඒ වාසනාව උදාවෙන්නේ එහෙමත් නිවාඩු දිනයක් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. නිවාඩු දිනයක් නොවුනොත් අපේ අවුරුද්ද මේ රටේ උදවියට කිසිම වැදගම්මකට නැති නිසාවෙන් දෙමාපියෝ වැඩට යා යුතුය. දරුවෝ පාසල් යා යුතුය. එම නිසා ලැබුණු ඉරුදින නිවාඩුව ශ්‍රී ලාංකිකයින්ට හිතේ හැටියට අවුරුදු කන්නට ලැබීම සතුටකි.  


 ඒ අනුව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන අවස්ථා බොහොමයක් රෝමයේ දැකගන්නට ලැබුණි. එය වැඩිහිටි අපට කෙසේ වෙතත් පුංචි දුවා දරුවන්ට සිංහල අවුරුද්ද ගැන වැටහීමක් ඇතිවීම සඳහා සිදුකරන බොහෝම අගනා සමාජ මෙහෙවරකි. එම සමාජ මෙහෙවර ඉටුකිරීම සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කරන අපූරු ගුරුතුමියකි රෝමයේ ’සුපිපි’ සිංහල පාසලේ මනීෂා ගුරුතුමිය.  


 වසර ගණනාවක් පුරාවටම සෑම සති අන්තයේ දිනකම රෝමයේ සුපිපි සිංහල පාසල නමින් පාසලක් අරඹා දුවා දරුවන් රාශියකට සිංහල අකුරු ලියන්නට කියන්න පුරුදු පුහුණු කිරීම ඉතාමත් අගනා සමාජ මෙහෙවරකි.  
 සුපිපි පෙර පාසලින් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උත්සවය මෙවරද ඉතාමත් අලංකාර ලෙස රෝමයේ VIA Filippo (ෆිලිප්පො) Meda No 140 ක්‍රීඩාංගණයේදී පැවැත්වීය.  


පුංචි දුවා දරුවන් රාශියක් සහ සුපිපි සිංහල පාසලේ ඉගෙන ගත් (ආදි ශිෂ්‍යයෝ) තරුණ දරුවන්ද මෙම අවුරුදු උළෙලේ ක්‍රීඩාවන්වල දස්කම් දක්වන අයුරු දුටුවෙමි. චාරිත්‍රානුකූලව පහන් දල්වා කිරි ඉතිරවීම අලියට ඇස තැබීම, ඉදිකටුවට නූල දැමීම, දෙහිගෙඩිය හැන්ද මත තබා දිවීම, ගෝනි බැස දිවීම මේ ආදී පැරණි ක්‍රීඩා රාශියක් සඳහා පොඩි දරුවන් මෙන්ම වැඩිහිටි අයද සහභාගි වී සිටිනු දුටුවෙමි. මේ අතරින් රබන් ගැසීමද විශේෂිත දර්ශනයකි. ලැබූ සිංහල අවුරුදු සුබම වේවායි ආශිර්වාද කරමි.  

 

 

 


ප්‍රේමා කංකානම්ගේ  - රෝමය.