​රෝම ශාක්‍යමුනි විහාරයේ වස් පිංකම්


 

 

වසරකට එක් වරක් පමණක් උදාවන උතුම් වස්සාන කාලය බෞද්ධ පින්වතුන්ට පින් කුසල් රැස්කර ගැනීමට හැකි පින්බර සමයකි. වස් තුන්මාසය පුරාවට ඉතාලියේ සෑම විහාරස්ථානයකම ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් ඒකරාශිවී බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව ලොවුතුරා අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ අපිරිමිත බුදුගුණයන් සිහිපත් කරමින් බෝධි පූජා බෝධි වන්දනා පිරිකර පූජාවන් පැවැත්වීම නිතර අසන්නට දකින්නට ලැබේ.  


ඒ අනුව අප ශාක්‍යමුනි විහාරයේද විසි නවවැනි ඉරුදින සවස දායක පින්වතුන් රාශියකගේ එකමුතුවෙන් අටවිසි බුද්ධ වන්දනා පිංකමක් සිදු කළහ. දායක පින්වතුන් කිහිප දෙනෙකුගේ මියගිය ඥාතීන් සිහිපත් කරමින් චාරිත්‍රයට අනුව පැන් වඩා එම ඥාතීන්ට පින් අනුමෝදන් කළ අතර දායක පින්වතියකගේ උපන්දිනයක්ද මූලික කරගෙන ආශීර්වාද ලබාගැනීම සඳහාත් ඉගෙනීමේ කටයුතුවල නිරතවෙන තම දුවා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කර ගැනීමද මෙම පින්කමේ අරමුණ විය.  


අප ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේ විසින් බෝධි වන්දනා කාව්‍යයන් ඉතා මිහිරි ලෙස ගායනා කරමින් සුමධුර වූ බෝධි වන්දනාවක් සිදු කළහ. ඔක්තෝබර් මස දහනවය විස්ස යන දෙදින තුළ පැවැත්වෙන කඨින මහා පිංකම පිළිබඳව දායක පින්වතුන් සමඟ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සාකච්ඡා පැවැත්වූ අතර බෞද්ධ පින්වතුන් බොහෝ පිරිසක් මෙම අටවිසි බුද්ධ වන්දනාමය පිංකම සඳහා සහභාගීවී සිටියහ.  

 

 

 

 

 


මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.  
සටහන - ප්‍රේමා කංකානම්ගේ  
ඡායාරූප - අනුරුද්ධි සිල්වා  
රෝමය