හත් අවුරුදු සැලැස්ම


එක හෙළාම පිළිතුරක් දීමට නොහැකිව දෙගිඩියාවෙන් සිටි තාත්තගේ මුහුණේ වේදනාවේ රේඛාවන් මතුවී තිබුණි. නමුත් මම ස්ථිර තීරණයකට පැමිණ සිටියෙමි. එදා ඉරු දින උදේ 10ට පමණ ඇත. සාලයේ ඇති හාන්සි පුටුවේ වාඩි වී සිටි තාත්තා කුමක් ගැන හෝ දස අතේ කල්පනා කරමින් සිටියේය. මගේ මතයේ හැටියට තමාගේ වැඩි වියට පත් වූ ගැහැණු දරුවන් වූ මායි නංගිලයි දෙන්නා ගැන වෙන්නැති ඔය තරම් කල්පනා කරන්නේ. අම්මා කොහෙන්දෝ කඩාගෙන ආ ගොටුකොළ ටික මම බිම වාඩි වී තෝරමින් සිටියෙමි.   


ඒ මොහොතේ තාත්තාගේ නම කියාගෙන ගෙතුළට පැමිණියේ නිතර අපගේ නිවසට පැමිණෙන තාත්තගේ හොඳම මිතුරා වෙන පියදාසය. ඔහු රැකියාව වශයෙන් කළේ මඟුල් කපුකම්ය. වෙනදාට වඩා අද පියදාස මාමාගේ මුහුණේ සතුට පිරී තිබුණි. පියදාස මාමාගේ සද්දෙට පිය වී ලොවට පැමිණි තාත්තා මඳ සිනාවකින් ඔහුව පිළිගත්තේය.   


වරෙන් වරෙන් පියදාස මොකද මේ පැත්තේ.   


තකහනියක්ම මේ පැත්තට අවේ නිකම්ම නො​ෙව්. වාසනාවත් අරගෙනයි ආවේ. කියමින් තාත්තා අසලම ඇති පුටුවේ වාඩි විය.   
පියදාස මාමාගේ කතාවේ තේරුම නොදත් තාත්තා දෑස් විවිර කොට පුදුමයෙන් මෙන් පියදාස මාමා වෙත හැරී ‘කියන දෙයක් තේරෙන විදියට කියපන්කෝ අන්ඩර දෙමළ නොකියා,   


උඹ අර ජයසේන මුදලාලිව දන්නවද?’   


කොයි අර නුගේ ගෙදර ජයසේන මුදලාලි ද? සල්ලි කඳක් ඒ වුණාට ඕනෑ කෙනෙක් නෑ කියලා ගියහම උදව් කරනවා. පිණට දහමට ලැඳි මනුෂ්‍යයා.   


අන්න එයා තමා. දුවව බන්දලා දුන්නා. දැන් පුතාට පෙළ වහක් කර දෙන්න හදනවා.   


ඉතින් හොඳයිනේ. මොනවයින් අඩු ද? ඒ ගොල්ලන්ට. හැබැයි වාසනාව තියෙන්න ඕනෑ. ඔය වගේ පවුලක පෙළවහක්කර ගන්න ඉතින්.   


ඉතින් නෙමේ ඒ වාසනාව උඹේ දුවට ලබා දෙන්නයි මා මේ තකහනියෙන්ම මේ දුව ගෙන ආවේ.   


මගේ දුවව එයාගේ පුතාට දෙන්න උඹට පිස්සුද බං. අහසයි පොළොවයි වගේ ඒ ගොල්ලන්ටයි අපිටයි ඇති පරතරේ. ඇරත් මෙහෙම දෙයක් සිදුවේවි කියා සිහිනෙන්වත් හිතන්න අපට හැකියාවක් තියෙනවද බං.   


​ෙම්ක සිහිනෙන් හිතන්න දෙයක් නෑ. ඊයේ මාව එක්කරගෙන එන්න කියලා වාහනය එවලා තිබුණා. මා වගේ කෙනෙක්ව ගෙදරට ගෙන්වා ගන්නවා නම් ඉතින් ඉලන්දාරියෙක් ඉන්න ගෙදරකට මඟුල් කපු කමට මිසක් වෙන මොනවට ද? මම යන කොට මගේ ළඟ තිබුණු පිංතූර ටිකත් කේන්දර ටිකත් අරගෙන ගිහින් ඒ ගොල්ලන්ට ගැළ​ෙපන අයගේ පිංතූර ටිකයි කේන්දර ටිකයි මෙ​ෙස් උඩ තිබ්බා ඕනෑ එකක් තෝරා ගන්න කියලා. ඒ සියල්ල පැත්තකට තල්ලු කරලා. ‘මම මේ කේන්දර පො​ෙරාන්දම් නැකත් මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැති මිනිහෙක්, දෙවියන්ගේ පිහිටෙන් මම අද ​ෙම් තත්ත්වයට ආවේ ඔය දේවල් විශ්වාස කරලා නෙමේ. දෙවියන් බුදුන්ට බයේ හිතට එකඟව අනුන්ට කරදරයක් හිරිහැරයක් නොකර හෘද සාක්ෂියට අනුව කරුණු කාරණා කරලයි. මගේ දරුවන්ටත් ඇත්තේ ඒ අදහස් තමා. ඒ නිසා තඹ දොයිතුවක්වත් මට දෑවැද්ද කියලා ඕනෑ නැහැ. මට ඕනෑ තරම් වත්කම් දෙවියන් දීලා තියෙනවා. ඒ නිසා මේ ගෙදරට එන ලේලි එයා ලේලි නෙමේ. එයත් මට දුවෙක් වගේ තමා. මුදල් අතින් දුප්පත් වුවත් එයා ගති ගුණවලින් සර්ව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනෑ.’ කියලයි මට කිව්වේ.   


ඊයේ හුඟාක් දුරට කල්පනා කරගෙන ඉන්න කොටයි උඹව මතක් වුණේ. කොල්ලෙක් නැතුව කෙල්ලෝ තුන් දෙනෙක්ම ඉන්න උඹට පිහිට වෙන්න ඕනැයි කියලා. උඹේ ලොකු දුවව ජයසේන මුදලාලිගේ පුතාට බන්දලා දෙන්න අහන්නයි මේ ආවේ. මොකද කියන්නේ.   
පියදාස මාමාගේ මුවින් පිට වූ ඒ වචන ටිකට පිළිතුරක් දීමට නොහැකිව තාත්තා ගොලුවෙක් මෙන් පියදාස මාමාවෙතම මවිතයෙන් බලා සිටියේය.   


ලබන බදාදා හොඳ දවසක්. එදාට මනමාලිය බලන්න එන්න කියන්නද?   


මේවා සිද්ධ වෙන වැඩ ද බං. අැරත්... අැරත්...   


මොකද බං බය වෙලා වගේ අහම්බෙන් ආපු වාසනාවට පයින් ගහන්නද උඹේ අදහස.   


ඒක නෙමේ දැන් සති දෙකක් වෙනවා රස්සාවකට යන්න වෙලා.   


මොකද රස්සාවකට යනවා කියලා පෙළවහක් කර ගන්න හොඳ නෑ කියලා තියෙනවද? හැබැයි මඟුල ස්ථිර උනහම රස්සාවෙන් අයින් වෙන්න වෙයි. මොකද මෙයා හම්බ කරලා කන්න ඕනැයි කියලා නෑ. ඒ ගොල්ලන්ට.   


නමුත් තාත්තාට ඒ අවශ්‍යතාව ඇත. තාත්තට ලැබෙන විශ්‍රාම වැටුපෙන් අප ජීවත් වෙන්නේ. දහසකුත් කරදර ඉවසා දරාගෙනය. නමුත් අනුන්ට අත පාන්න අම්මා ඉඩ තිබ්බේ නැත. තම ගැහැණු දරුවන් තිදෙනාගේ අනාගතය ගැන සිතා කිසිවක් ඉතිරිකිරීමට හැකියාවක් තිබුණේ නැත. නමුත් අපි ​ෙකසේ හෝ ජීවත් වන්නෙමු.   


නංගිලා දෙන්නා හා මම ඉගෙන ගත්තේ අම්මාගේ උත්සාහයෙනි. නංගිලා දෙන්නා අ.පො.ස. විභාගය තෙක් පාසල් ගොස් තව දුරටත් ඉගෙනීමේ වියදම් දරා ගන්න බැරිව ගෙදරට වී බීඩිවලට ලේබල් අලවා ගෙදර වියදමට එයින්ද දායක වෙති. මා උසස් පෙළ දක්වා ඉගෙන ගෙන ගෙදරට වී සිටින විට තාත්තා නිතර දෙවේලේ එක් එක්කෙනා හමු වී පිංසෙන්ඩු වී ලබාදුන් රැකියාවටයි දැන් සති දෙකක සිට මා යන්නේ. ඒ තේ කුඩු පැකට් කිරීමේ කර්මාන්ත ශාලාවක ලිපිකාර රැකියාවකි. මුලදී රුපියල් 3000 ක වැටුපක් දීමට ඔවුන් තාත්තාට පොරොන්දු විය.   


මා රැකියාවට ගොස් දින දෙකකින් තාත්තා මගේ පඩියෙන් හත් වසර සැලැස්මක් සකස් කළේය.   


එදින තාත්තා මේ සැලැස්ම ගැන අම්මාව දැනුම්වත් කරන විට මට නොසිතූ පරිදි ඒ දෛදෙනා ඉදිරියෙන් කුස්සියට යන්න සිදුවුණි. කුස්සියට ගොස් මුවා වී මේ සැලැස්මේ විස්තර ටිකක් දැන ගැනීමට ඔවුන්ගේ කතා බහට මඳක් සවන් දුනිමි.   


සුපුරුදු පරිදි තාත්තාගේ විශ්‍රාම වැටුප හා නංගිලාගේ සුලු ආදායමෙන් ගෙදර අය වැය පියවා ගැනීමත් මගේ සම්පූර්ණ පඩිය බැංකුවේ වසර 7 ක්ම තැන්පත් කර ඒ එකතු වෙන මුළු මුදලෙන් අප තිදෙනාගේ විවාහය සිදු කරන බවයි. දැන් වයස 21 ක් වූ මට එවිට වයස 28 වන්නේය. මගේ විවාහය සිදු වන්නේ තව වසර 7 කින් පසුවයි. මේ වසර 7 තුළ මට විවාහයක් ගැන සිතීමට අවසර නැත. මෙයයි තාත්තාගේ සත්වසර සැලැස්ම.   


නමුත් පියදාස මාමා පැමිණ තාත්තාට මේ යෝජනාව ඉදිරිපත් කළේ තාත්තාගේ සත් වසරේ සැලැස්ම ගැන නොදැනය. ජයසේන මුදලාලිගේ යොජනාව ඇසු තාත්තාට පියදාස මාමාට උත්තරයක් දී ගැනීමට නොහැකිව දෙලොවක් අතර සැරිසරන්න විය. දෙන දෙයි​යෝ වහලය කඩාගෙන දෙනවයි කිව්වා වගේ අහම්බෙන් පැමිණි මේ වාසනාවට පිටුපාන්නත් නොහැකිව මාව පමණක් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න යවා අනිත් නංගිලාගේ ජීවිත අඳුරේ ගෙවන්න ඉඩත් නොතියා කුමන තීරණකට එළඹෙනවාද කියා නොදැන වාඩි වී සිටි පුටුවෙන් නැගිට ඒ මේ අත ඇවිදින්න විය.   


මොකද බං මොකුත් නොකියා ඒ මේ අතට සක්මන් කරන්නේ. රටක් රාජ්‍යයක් අල්ලන්න වගේ. කවදාද ඒ ගොල්ලන්ට එන්න කියන්න ද?   


කියා පියදාස මාමා තොර තෝන්චියක් නැතුව තාත්තාගෙන් ප්‍රශ්න කරන්න විය. කිසිම පිළිතුරක් නොදී දිග සුසුමක් හෙළා තාත්තා නැවතත්, ‘අනේ මට තෙරෙන්නේ නෑ. මොන වගේ උත්තරයක් දෙන්න ද? කියා’ හාන්සි පුටුවේ වාඩි විය.   


ඇත්ත වශයෙන්ම පියදාස මාමා උත්සාහ කරන්නේ දුප්පත් අපේ පවුලට වාසනාවක් ළඟා කර දීමටය. නමුත් තාත්තා අදහස් කරනවා විය යුත්තේ ඉතා දුක් මහන්සි වී සොයා දුන් මගේ රැකියාව නැති කර මාව විවාහ කර දුන්නේ නම් තාත්තාගේ සත්අවුරුදු සැලැස්ම ක්‍රියාවට නැගීමට නොහැකිව නංගිලා දෙන්නගේ අනාගතයට කුමක් කරන්නේ ද කියා විය හැක. වාඩි වී ගොටු කොළ ​ෙත්රු මා එතනින් නැගිට පියදාස මාමා ළඟට විත් 


මාම කිව්වා වගේ බදාදම එන්න කියන්න. ඒ ගොල්ලන්ට 
තාත්තයි පියදාස මාමායි මගේ කීම අසා මා දෙස පුදුමයෙන් බැලුවෝය. 


හැබැයි මාමේ මනමාලිය මම නෙමෙයි. ම​ෙග් ලොකු නංගියි.   


මොනවද දුවේ උඹ මේ කියන්නේ. වැඩි මාලු උඹව තියෙලා කොහොමද නංගිව බන්දලා දෙන්නේ. මිනිස්සු මොනවා කියාවි ද? ඇරත් ජයසේන මුදලාලිගේ අය ඇයි මෙහෙම කරන්නේ කියා ඇහුවොත් මොනවද දෙන උත්තරය.   


පියදාස මාමා ඇසීය.   


මම ගැහැණු ළමයෙක් නිසානේ මාමේ මේ ප්‍රශ්නය අහන්නේ.   


තමාට බාල නංගිලා දෙන්නෙක් හිටියා නම් ඒ අයව බන්දලා දීලා නේද තමාගේ විවාහය සිදු කළ යුත්තේ කියන තීරණයකට පැමිණිය යුත්තේ පිරිමින්ට පමණ ද? මාමේ. වැදු දෙමාපියන්ගේ නැති බැරිකමට ගැහැණු දරුවන් වන අපට පිහිට වීමට ඉදිරිපත් වීම හොඳ නැද්ද? මාමේ.   


මඳ වෙලාවක් මා දෙසම බලා සිටි පියදාස මාමා.   


හොඳයි දුවේ ලබන බදාදා ඒ ගොල්ලන්ට මනමාලිය බලන්න එන්න කියන්නම්. හැබැයි දුවේ අපට උ​ෙඹන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ වගේ දරුවෙක් වැදුවට උඹ ආඩම්බර වෙයන්. තාත්තා දෙස හැරි පියදාස මාමා කියා යන්න ගියේය.   


ඔහු පසුපස දොරකඩ තෙක් ගිය මා පියදාස මාමා නොපෙනී යන තෙක් බලා සිට ඔහු ගිය පසු ගෙතුළට ඒමට හැරු​ෙණමි. තාත්තා මා දෙස බලා සිටියේ මා දෙසට දෑත් එක් කොට කඳුළු සැලෙන දෑසින් අසරණයෙක් මෙන්ය.   


උගුරැස්සපිටියේ 
ඒ. මොහොමඩ් තාහා   
හමුදා රෝහල, කමිස් මුසයිත්, සවුදි අරාබිය.