සෞදි නැගෙනහිර තානාපති ජංගම සේවාව සොව පළ කරයි


සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව පැවති දින ශ්‍රී ලංකාවේ පසුගිය දින සිදුවූ අනපේක්ෂිත අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය හෙළාදකිමින් මියගිය සහ තුවාල ලැබූ සියලු පුරවැසියන් වෙනුවෙන් තම ශෝකය සහ බලවත් සංවේගය ප්‍රකාශ කිරීම උදෙසා විශේෂ වැඩසටහනක් උදෑසන අටේ සිට නවය දක්වා අල් කොබර් ගෝල්ඩන් ටියුලිප් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.   


සුපුරුදු පරිදි සැම මසකම පළමු සතියේ පළමු සිකුරාදා පැවැත්වෙන තානාපති ජංගම සේවාවට සමගාමිව මෙම ශෝකය ප්‍රකාශ කිරීමේ වැඩසටහන පැවති අතර පැමිණ සිටි තානාපති නිලධාරින් ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයින් විනාඩි තුනක නිශ්ශබ්දතාවයකින් තම ශෝකය සහ සංවේගය ප්‍රකාශ කරනු ලැබිය. ඉන් අනතුරුව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ රැකියා උපදේශක එම්. එම්. දේශප්‍රිය මහතා පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් අමතා ප්‍රකාශ කළේ තම මවුබිමෙන් එපිට සිටින ශ්‍රී ලාංකිකයින් වන අප සියලු දෙනා සංහිඳියාව මෙන්ම සාමුහිකත්වය සඳහා කැපවීම තුළින් මෙවැනි ම්ලේච්ජ් සහ අන්තවාදී ක්‍රියා අවම හෝ සහමුලින්ම නැවත්වීමට එකා මෙන් ක්‍රියා කළයුතු බවත් එකිනෙකා තුළ ගොඩ නැගෙන ආධ්‍යාත්මික අවබෝධය සහ සහෝදරත්වය තුළින් තම මවුබිමේ අනාගත පැවැත්ම සඳහා ක්‍රියා කිරීම සැමගේ කාර්යභාරයක් බවත් පසුගියදා සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දිවිපිදු සහ තුවාල ලැබූ සියලු පුරවසියන් වෙනුවෙන් අපගේ ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන බවයි.   


තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක එම්.ඒ.එන්. අහමඞ් මහතාද ශ්‍රී ලාංකික ප්‍රජාව අමතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකිකයින් වන අප එක ජාතියක් පමණක් බවත් එම ජාතිය ශ්‍රී ලාංකිකයින් බවත් මාතෘ භුමියේ වෙසෙන අප සියල්ලන් එකමුතුව ජාතියක් ලෙස ඉදිරියට යා යුතු බවත් ම්ලේච්ඡ සහ ත්‍රස්තවාදී ප්‍රහාර හෙළාදැකිය යුතු බවත් මෙම ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ සියල්ලන් වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තම ශෝකය සහ සංවේගය ප්‍රකාශ කරන බවත්ය.   


නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් සංවිධානය කරන ලද මෙම ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනුවෙන් එහි සභාපති ප්‍රසන්න අසෙල්ල මහතාද අදහස් ප්‍රකාශ කළ අතර නැගෙනහිර කලාපීය (තානාපති සම්බන්ධතා සුභසාදන) චාලි තලයරත්න, සංසදයේ ලේකම් යසන්ත පීරිස් ඇතුළු සාමාජිකයින් කිහිප දෙනෙක්ම සහභාගී වූහ. ඉන් අනතුරුව සුපුරුදු පරිදි තානාපති කාර්යාලීය වැඩ කටයුතු ආරම්භ විය.   

 


ලලිත් ප්‍රේමලාල්   
අල් කොබාර් සිට