සෞදි නැගෙනහිර ක්‍රිකට් ශූරතාව ෆයිටස් ‘ඒ’කණ්ඩායමට හිමි වෙයි


 

සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ෆයිටස් ක‍්‍රීඩා සමාජය සංවිධානය කළ නිදහස් දින සුබසාධන කුසලානය සාර්ථක අන්දමින් පසුගියදා නිමාවිය.   


සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් සැඳුම් ලත් ෆයිටස් ක‍්‍රීඩා සමාජය මගින් සංවිධානය කරන ලද සය සාමාජික දිවා රාත‍්‍රී මහා ක‍්‍රිකට් තරගාවලිය පසුගිය සිකුරාදා නිමාවූයේ ෆයිටස් A කණ්ඩායමට තරගාවලිය ජයග‍්‍රාහී කුසලාන අත්කර දෙමිනි. තරගාවලියේ අනුශූරතාවය දමාම් SLCC කණ්ඩායමට හිමිවිය.   


ආරාධිත කණ්ඩායම් 16කින් සැඳුම්ලත් මෙම තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ SLCC YELLOW කණ්ඩායම සහ SLCC දමාම් B කණ්ඩායම තරගය සඳහා පිටියට පිවිසි අතර SLCC දමාම් B කණ්ඩායම ලකුණු 27කින් ජයග‍්‍රහණය කිරීමට සමත් විය. තරගයේ වීරයා ලෙස ලකුණු 24ක් සහ කඩුලු එකක් ලබාගත් ජවාඩ් මොහොමඩ් නම් කරන ලදී.   


දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූවේ ෆයිටස් A කණ්ඩායම සහ KUSHEIM කණ්ඩායම වන අතර ප‍්‍රතිවාදී ඉලක්කය පසුකරමින් ලකුණු 63ක් ලබාගනිමින් ෆයිටස් A කණ්ඩායම පහසුවෙන් ජයග‍්‍රහණය හිමි කරගන්නා ලදී. මෙම තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ කඩුලු තුනක් සහ දුවද්දී දැවී යාමක් ලබාගත් අසේල වීරසිංහ ක‍්‍රීඩකයායි.   


ඒ අනුව අර්ධ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් වූයේ SLCC දමාම් B සහ ෆයිටස් යන කණ්ඩායම් දෙකයි. කාසියේ වාසිය ලබාගනිමින් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ෆයිටස් A කණ්ඩායම ලකුණු 64ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස පිටියට බට SLCC දමාම් B කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 27ක් පමණකි. ෆයිටස් කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලකුණු 21ක් ලබාගනිමින් මනා දායකත්වයක් ඉටුකරන ලද්දේ චන්දන රණවීර ක‍්‍රීඩකයා විසිනි. අවසන් මහා තරගයේ වීරයා ලෙස ලකුණු 21, කඩුලු එකක් සහ උඩ පන්දු එකක් ලබා ගත් චන්දන රණවීර ක‍්‍රීඩකයා නම් කෙරිණ. මෙම තරගාවලියේ ලකුණු 92ක් කඩුලු 3ක් සහ උඩ පන්දු දෙකක් ලබා ගත් නිහාල් සේමසිංහ ක‍්‍රීඩකයා තරගාවලියේ වීරයා ලෙස සුදුසුකම් ලැබීය.   


මෙම නිදහස් දින සුබසාධන තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් මූලික සංවිධාන කටයුතු බාරව ක‍්‍රියා කළ LANKEN CHARITY CLUB සමාජයේ ප‍්‍රකාශකයකු සඳහන් කළේ මෙම තරගාවලියෙන් ලැබෙන කුමන හෝ ආදායමක් ශ්‍රී ලංකාවේ වෙසෙන ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු සහ කිලිහිකරු ලබාදීම සඳහා යොදවන බවයි.   


මෙම මහා තරගාවලිය සඳහා ප‍්‍රධාන අනුග‍්‍රහය පිසි කාගෝ ආයතනය විසින් දරන ලද අතර සම අනුග‍්‍රාහකයින් ලෙස AAD ABDUL LATHEEF, DEHEM AL KHOBAR සහ REDHI AL SULTAN යන ආයතන විසින් දරන ලදී.   

 

 


ලලිත් ප්‍රේමලාල්   
දමාම්.