සෞදි අරාබියේ අස්මිල් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙසීයකගේ රැකියා අනතුරේ


 

 

සෞදි අරාබියේ අස්මිල් කන්ස්ට්‍රක්ෂන් නමැති විශාල ප්‍රමාණයේ විවිධ ව්‍යාපෘති මෙහෙයවන ආයතනයක ශ්‍රී ලාංකිකයින් දෙසීය දෙනෙකුගේ පමණ රැකියාවල අවදානමක් පවතින බව අප්‍රේල් 5 වැනිදා නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාවට පැමිණි එම අවදානමට ලක්වූ ශ්‍රී ලාංකිකයෝ පැවසූහ. 


දෙසීයකගෙන් සමන්විත වූ පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණ පිරිසට ලෝඩර් ඔපරේටර්, ඩ්‍රයිවර්, වඩු කාර්මික, පෙදරේරු, ටයිල්, ෆිටර්, ෆෝර්මන් ආදී තනතුරු දැරූවන් අයත් වන අතර ඔවුන් ඉතා ආවේගශීලීව තානාපති නිලධාරීන් ඉදිරියේ පැවසුවේ මෙම ආයතනයේ ප්‍රධානතම ව්‍යාපාරය වන ගොඩනැගිලි නිර්මාණය සහ ඉදිකිරීම සඳහා අනිකුත් විදේශිකයින් හැරුණු කොට වසර දෙකේ සිට වසර දහය දක්වා කාලයක් ශ්‍රී ලාංකිකයින් දෙසීයකට අධික ප්‍රමාණයක් රැකියාව කරමින් සිටි බවත් මීට මාස නවයක පමණ කාලයක සිට මොවුන් සඳහා කිසිදු වැටුපක් හෝ ආහාර දීමනා ඇතුළු කිසිදු පහසුකමක් ආයතන බලධාරීන් විසින් ලබාදීම නවතා දමා ඇති බවයි. 


මාස හතරක සිට සෞදියේ රැඳී සිටීමේ වලංගු බලපත්‍රය දීර්ඝ කර නොමැති අතරම ආයතනයෙන් පිටව කිසිදු තැනක ගැවසීම හෝ මාර්ගයේ ගමන් කිරීම සෞදි නීතියට අනුව තහනම් වෙන බැවින් තත්ත්වය ඉතාම අනතුරුදායක බව ද පවසයි. ඔවුන් තානාපති කාර්යාල බලධාරීන් හමුවේ පවසා සිටියේ තම හිඟ වැටුප් ලබා ගැනීම සහ ඉක්මනින් ලංකාවට පිටත් කර හැරීම සඳහා තානාපති කාර්යාලය මැදිහත්වෙන ලෙසයි. 


මේ පිළිබඳව රියාද් පිහිටි තානාපති කාර්යාලයෙන් ජංගම සේවාව සඳහා පැමිණ සිටි තෙවැනි ලේකම් සුනිල් විජේසිංහ මහතාගෙන් විමසූ විට ඔහු පවසුවේ මෙම ආයතනය පිළිබඳව මීට කලින්ද තමා වෙත වාර්තා වී ඇති අතර මේ වෙන විටත් ඒ පිළිබඳව කටයුතු කිරීම ආරම්භ කර ඇති බවයි. අද දින මෙම ගැටලුවට මුල්වී ඇති සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් වාචිකව සහ ලිඛිතව කරුණු විමසීමෙන් අනතුරුව ඔවුන්ගේ පැමිණිලි වෙන් වෙන්ව ලබාගෙන තානාපති කාර්යාලයේ ලියාපදිංචි කළ බවත් පැමිණිලි පිළිබඳව අදාළ ආයතනයේ ප්‍රධානින් හමුවී ඉතා ඉක්මනින් කඩිනම් විසඳුමක් ලබා දීමට තානාපති කාර්යාලය කටයුතු කරන බවත්ය. 


කෙසේ වුවද සෞදි අරාබියේ යම් යම් ආයතන තුළ සිදු වෙන මෙවැනි අසාධාරණ ක්‍රියාකාරකම් පිළිබඳව ද කඩිනමින් විසඳුමක් ලබා දීමට තානාපති කාර්යාලයේ ඉතා ඉක්මනින් මැදිහත් වීමක් සිදු නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ වෙසෙන අඹු දරුවන් ඇතුළු සියලු යැපෙන්නන් හට මහමගට බසින්නට සිදුවෙනු නොඅනුමානය. 

 


ලලිත් ප්‍රේමලාල් - සෞදි අරාබිය