සියවසේ ප‍්‍රංශ සූපවේදීයා සමුගනී


  • ප‍්‍රංශ අහසේ තරු තුන නිවී යයිග
  • ප‍්‍රංශ භෝජන සංග‍්‍රහයේ ලස්සන අතක් අහිමි වේග 
  • ප‍්‍රංශ සූපවේදීන් කුස්සියේ කඳුළු සලයිග 
  • ප‍්‍රංශයේ ආහාර අධිරාජ්‍යයා මිය ගියේයග 
  • ලියෝන්වාසීන් දෙවියන්ගේ මරණය ගැන වැළපෙයිග 
  • ප‍්‍රංශ ආහාර වට්ටෝරුවේ පියා සමුගනීග 
  • සියවසේ සූපවේදියා දෑස් පියා ගනීග 

 

ප‍්‍රංශ ආහාර වට්ටෝරුවේ පියා ලෙස සැලකෙන අවුරුදු 91ක් වයසැති ප‍්‍රංශ ජාතික පෝල් බොකුස් නම් ලෝක ප‍්‍රසිද්ධ සූපවේදියා පසුගිය ජනවාරි 20 වැනිදා අභාවප‍්‍රාප්ත වූයේය. පසු දින එනම් 21 වැනි ඉරිදා ප‍්‍රංශයේ මුද්‍රිත හා විද්‍යු​ත් මාධ්‍යවල ප‍්‍රධාන සිරස් තල ඔහුගේ අභාවය ගැන සටහන් තැබුවේ ඉහත සඳහන් ලෙසය. එතුමාගේ අවසන් කටයුතු ඉතාමත් චාම් අන්දමින් 26 වැනි සිකුරාදා නැගෙනහිර ප‍්‍රංශයේ පිහිටි ලියෝන් නගරයේ සෙන්ට් ජෝන් කතෝලික දේවස්ථානයේදී ප‍්‍රංශය ඇතුළු ලෝකයේ විවිධ රටවල් 22ක සුප‍්‍රසිද්ධ සූපවේදීන් 1500ක් හා වෙනත් සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් ඉතාමත් චාම් අයුරින් සිදු වූයේය. 


ඒ අතරට ප‍්‍රංශ ජාතික සූපවේදීන් 110 දෙනකු සූපවේදීන්ට හිමි තරු සහිත සුදු ඇඳුමින් සැරසී සිටියෝය. ඔවුන් අතර ඇලන් ඩුකාස් (Alain Ducasse), ජොඑල් රෝබුචොන් (Joel Robuchon), යැනික් අලේනෝ (Yannick Alleno), මාර්ක් වෙයිරා (Marc Veyrat), ගී සව්වා (Guy Savoy), පියෙර් තුරුවාග්‍රෝ (Pierre Troisgros), මාර්ක් හේබර්ලින් (Marc Haeberlin) යන ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ තරු තුනේ සූපවේදීන් සිටියෝය. ඔහුගේ අවසන් ඉල්ලීම පරිදි දේහයට මල් තැබීම, මල් ඉසීම, රාජ්‍ය ගෞරව, අවමංගල්‍ය පෙරහර, විශේෂ අවමංගල්‍ය උත්සව, කතා පැවැත්වීම යනාදිය කිසිවක් නොමැතිව හා ප‍්‍රංශ ජනාධිපති හෝ අගමැතිවරයාගේ හෝ සහභාගිත්වයකින් තොරව සිදුකළ බව ඔහුගේ එකම පුත් තරු දෙකක් හිමි සූපවේදියෙක් වන 49 හැවිරිදි ජෙරොම් බොකුස් මහතා පැවැසීය. 


එසේ නමුදු ඔහුගේ කුඩා කල සිට ඇසුරු කළ ළඟම මිතුරන් දෙදෙනා වන සූපවේදී පියෙර් තුරුවාග්‍රෝ හා මාර්ක් හේබර්ලින් සමග ප‍්‍රංශයේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමැති, ලියෝන් මහ නගර සභාවේ හිටපු නගරාධිපති දිගු කලක් ඔහුගේ මිත‍්‍ර ජේරාල්ඩ් කොලොම්බ් මහතා ද කතා පැවැත්වූහ. ආගමික වතාවත්වලින් පසු ඔහුගේ දේහය දේවස්ථානයේ ප‍්‍රධාන ෙදාරටුව ඉදිරිපිට තබා 50 දශකයේ ප‍්‍රංශයේ ජනප‍්‍රියම ගායිකාව හා සිනමා නිළියක් වූ වර්ෂ 1965දී නැසී ගිය ප‍්‍රංශ ජාතික එඩිත් පිඅෆ් (Edith Piaf) ගයන ඔහු වැඩියෙන්ම ප‍්‍රිය කළ ”නෑ මම කිසිවක් ගැන පසු තැවිල්ලක් නෑ” යන ගීතය වාදනය කිරීමෙන් පසු දේහය ඔහුගේ පවුලේ සුසාන භූමියේදි මිහිදන් කළේය. 


වර්ෂ 1926 පෙබරවාරි 11 වැනිදා ලියෝන් ප‍්‍රධාන නගරයට යාබද කොලොන් මොන්ට් ඩෝර් නම් ග‍්‍රාමයේ උපත ලබන ඔහු තෙවරක් විවාහ ගිවිස ගෙන ඇති දෙදරු පියෙකි. කුඩා කල සිට ආහාර පාන සැකසීමට විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු එම ක්‍ෂේත‍්‍රයේ අවසානය දක්වා අධ්‍යාපනය හැදෑරුවේය. 


ලෝක ප‍්‍රසිද්ධ ආහාර වර්ග හඳුන්වාදීම, සැකසීම, ප‍්‍රදර්ශනය කිරීම, රස, ගුණ, වර්ධනය, නව සොයා ගැනීම් ආදී සූපවේදී විද්‍යාවෙන් ප‍්‍රංශය ලෝකයේ ඉදිරියෙන්ම සිටී. ප‍්‍රංශයට එම ස්ථානය ලබාදීමට පෙරමුණ ගත් ප‍්‍රංශ සූපවේදීන් අතර පෝල් බොකුස් ඉදිරියෙන්ම සිටී. ඔහුගේ බොහෝ ව්‍යාංජන එළවලු, මල් වර්ග හා පලතුරු ප‍්‍රධාන කොට සැකසීම විශේෂ ලක්ෂණයක් ද වන්නේය. එබැවින් ප‍්‍රංශයේ වැඩෙන රෝස මලක් ඔහුගේ නමින් නම්කොට ඇත්තේය. 


බොහෝ රටවල රජවරුන්ගේ, රාජ්‍ය නායකයන්ගේ, ධන කුවේරයන්ගේ ප්‍රිය සම්භාෂණවලදී ඔවුන්ගේ කුස පුරවන්නෝ බොහෝ විට ප‍්‍රංශ සූපවේදියෝය. අන්තර් ජාතික සූපවේදීන් ශ්‍රේණිගත කිරීම හා තරු පැළඳවීමේ පිළිගත් සම්මුතිය වෙන්නේ මිච්ලැන් ගයිඩ් ආහාර නීති පද්ධතියයි. ප‍්‍රංශයේ බිහි වූ මෙම මිච්ලැන් ගයිඩ් පදනම ආරම්භ කළ දර්ශක වාර්තා අන්තර්ජාතිකව පිළිගන්නා අතර එම නීති මාලාවන් අන්තර්ජාතික සූපවේදී තරගවලදී භාවිත කරනු ලැබේ. ඒ අනුව වර්ෂ 1965දී සූපවේදියෙක් ලෙස තරු තුනක් ලබා ගන්නා ඔහු තරු තුනක් හිමි කර ගත් ලෝකයේ පැරණිම සූපවේදියා ලෙස පිළිගනු ලබන්නේය. විසිවැනි සියවසේ ප‍්‍රංශයේ ජනප්‍රිය බොහෝමයක් ආහාර වට්ටෝරු ඔහුගේ නිර්මාණයන්ය. ප‍්‍රංශයේ ආහාර ගැන ග‍්‍රන්ථ රාශියක් එළිදක්වා ඇති අතර එම ග‍්‍රන්ථයන් වර්තමාන තරුණ සූපවේදීන්ගේ අධ්‍යයනය සඳහා නිර්දේශ කොට ඇත. සූප ශාස්ත‍්‍රය හැදෑරීමට ඔහු විසින් පිහිටුවන ලද ඇකඩමියක් ප‍්‍රංශයේ ඇති අතර ජපන් ජාතික ශිෂ්‍යයන් බොහෝමයක් එහි අධ්‍යාපනය හැදෑරීමට වැඩි කැමැත්තක් දක්වන්නෝය. එහි අධ්‍යයන කටයුතු සඳහා විශාල මුදලක් ද අය කරන අතර වර්තමානයේ ලෝකයේ විසිරී සිටින ප‍්‍රසිද්ධ සූපවේදීන් රැසක් එහි අධ්‍යාපනය හැදෑරූ ඔහුගේ ගෝලයෝය. 

 


ඇමෙරිකාවේ, ජපානයේ හා ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ ආපනශාලා රාශියක හිමිකරුවෙක් ද වන්නේය. ඔහුට හිමි ගෞරවණීය පිළිගැනීම හේතුකොට ලෝකයේ හොඳම සූපවේදියා තෝරන අන්තර්ජාතික ප‍්‍රමිතිීන්ට අනුකූලව වසර දෙකකට වරක් සංවිධානය කරන තරගයක් ප‍්‍රංශයේ ලියෝන් නගරයේ පැවැත්වෙන අතර එය ඔහුගේ නමින් නම්කොට ඇත. මහද්වීප පහ නියෝජනය කරන සූපවේදීන් 225 කගේ දක්ෂතාවන් සියැසින් දැක ගැනීමට අවස්ථාව ලැබෙන එම තරගාවලිය බොකුස් රන් කුසලානය ලෙසින් හඳුන්වනු ලැබේ. වර්ෂ 1987දී ආරම්භ කළ මෙම කුසලානයේ නිර්මාතෘ වන්නේ පෝල් බොකුස් (Paul Bocuse) සූප ශාස්ත‍්‍රවේදියායි. එක් එක් ක්‍ෂේත‍්‍රයන්හි විශේෂ නිපුනතා දක්වන හා ප‍්‍රංශය පිළිගත් ගෞරවණීය පුරවැසියන්ට පිරිනමන ගෞරව නාමයන් රැසක් හිමිකර ගැනීමට ද ඔහුට හැකි වී තිබේ. 


එංගලන්තයේ බකිම්හැම් රජ මන්දිරය, ප‍්‍රංශයේ එලිෂේ පැලස් ජනාධිපති මන්දිරය, ඇමෙරිකාවේ ධවල මන්දිරය, මොන්ටිකාලෝ රජගෙදර, ලාස්වේගාස් ආදී ලෝකයේ සුප‍්‍රසිද්ධ ස්ථානවල සම්භාෂණ හා භෝජන සංග‍්‍රහයන් පෝල් බොකුස් සූපවේදියාගේ රස බොජුන්වලින් රසවත් වූයේය. වර්ණවත් වූයේය. සියවසේ සූපවේදියා ලෙස විරුදාවලිය ලත් ලෝකයේම ගෞරවයට පාත‍්‍ර වූ මොහු ඉතාමත් නිරහංකාර කාගෙත් සිත් ඇද ගන්නා ගෞරවණීය සරලම මිනිසෙකි. ඉතාමත් අඩු වටිනාකමකින් යුත් මිනී පෙට්ටියක දෑස් පියාගත් ලෝකයම ජයගත් එම මිනිසා ඉතාමත් සරල ලෙස අවසන් ගමන් ගියේය. 

 

 

 

 

 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට