සිංහලේ විමුක්ති සටන කෘතිය හඳුන්වා දීම ඉතාලියේදී


 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය සුමේධ වීරවර්ධන මහතා 1818 සිංහලේ නිදහස් සටන පිළිබඳව රචනා කරන ලද ‘සිංහලේ විමුක්ති සටන’ නමැති කෘතිය හඳුන්වාදීම සහ වීර කැප්පෙටිපොළ විරු සමරුම දෙසැම්බර් දෙවැනි ඉරුදින පාදෝවා සම්මාසති විහාරස්ථානයේදී ඉතාලි එ්කාබද්ධ සිංහල සංවිධානයේ සභාපති දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. 


සම්මාසති විහාරවාසී සුසීම හිමියන් සහ ඉතාලි ජාතික කුමාර හිමියන් සම්මාසති විහාරධිපති ගම්මැදගම පියදස්සී ස්වාමීන් වහන්සේ සමඟ මෙම කර්තවයට නායකත්වය දැරූ ධම්මාරාම ස්වමීන්වහන්සේ ඇතුළුව භික්ෂූන් වහන්සේලා සිව් නමකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සිදු කෙරිණි. 


අග්‍රගණයේ පඬිරුවන් වූ පොල්වත්තේ බුද්ධ දත්ත නාහිමියන්ගේ පාලි - ඉංග්‍රීසි ශබ්දකෝෂය ඉතාලි භාෂාවට පරිවර්තනය කිරීමේ මහඟු කටයුත්ත දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන්වහන්සේ විසින් මෙදිනම ඉතාලි ජාතික කුමාර ස්වාමීන් වහන්සේ වෙත භාර දෙන ලදී. 


සිංහලේ නිදහස් සටන පිළිබඳ සුමේධ වීරවර්ධන කතිකාචාර්යතුමා විසින් රචනා කරන ලද සිංහලේ විමුක්ති සටන කෘතිය පිළිබඳ දේශනය ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ ලේකම් ලාල් ගමගේ මහත්මා විසින් සිදුකරන ලදී. මෙම උත්සවය සඳහා ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ ගරු භාණ්ඩාගාරික කෙනඩි කොස්තා මහත්මා අැතුළු පිරිසක් නාපෝලි නගරයෙන් සහභාගී වූහ.   

 

 


ප්‍රේමා කංකානම්ගේ   
රෝමය.