සැමියා මරා වසර දහඅටකට පසුව බිරිඳ අත්අඩංගුවට


දෙදහස්දෙක වසරේ මැයි මස අටවැනි දින ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේදී තම දියණිය සහ තවත් මිතුරකුගේ සහය ඇතිව තම සැමියා පහරදී මරාදමා සිරුර පුලුස්සා පැන ගිය බෙවර්ලි ඈන් මැක්කැලම් නැමැති සැකකාරිය, වසර දහඅටකට පසුව පෙබරවාරි මස පහළොස්වැනි දින රෝමයේදී පොලිස් අත්අඩංගුවට පත්වූවා ය. දැනට ඇගේ වයස අවුරුදු පනස්නවයකි.   


ඝාතනය සඳහා සහභාගි වූ අනෙකුත් දෙදෙන අපරාධය අනාවරණයවී දින කීපයක් තුළ පොලිස් අත්අඩංගුවට පත්වුවද, බෙවර්ලි ඈන් නීතියෙන් පැන යාමට සමත්වූවාය. එහෙත් ඇමෙරිකානු අපරාධ විමර්ෂණ ආයතනය බෙවර්ලි ඈන් සෙවීම අතහැර නැත. ඒ අනුව 2015 වසරේදී ඇය වෙනුවෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත්කිරීමට ද ඇමෙරිකානු පොලීසිය සමත්විය.   


සැමියා ඝාතනයෙන් පසුව පකිස්ථානයට පැන ගිය බෙවර්ලි ඈන් එහිදී ව්‍යාජ අනන්‍යතාවකින් පෙනී සිටිමින් වෙනත් විවාහයක් ද කරගෙන ඇත.   


ත්‍රස්ත මර්දනය සඳහා පසුගිය වසරේ ඉතාලිය නීතිගත කරන ලද පනතට අනුව සංචාරක හෝටල්වල ලැගුම්ගන්නා විදේශික පුරවැසියන් සම්බන්ධ කෙරෙන පොලිස් සෝදිසියකදී ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පෙනී සිටි සංචාරක කාන්තාවක පිළිබඳව සැක කළ ඉතාලි පොලීසිය, ඇය පිළිබඳව කරන ලද වැඩිදුර පරීක්ෂණයේදී ඇය බෙවර්ලි ඈන් මැක්කැලම් බව අනාවරණය වී ඇත.   


දැනට ඉතාලි රක්ෂිත බන්ධනාගාරගතව සිටින බෙවර්ලි ඈන් මැක්කැලම්, ඉදිරි දිනවලදී ඇමෙරිකානු අපරාධ විමර්ෂණ ආයතනය වෙත භාරදීමට නියමිතය.   

 


චාපි කෝසලා   
මියුනිච්, ජර්මනිය.