සාරධර්ම වෙත නෙත් යොමු කරමු


අද අපි විසිඑක්වන සියවසට පා තබා සිටිමු. මෙම විශාල දිගු කාලය ​ඉබේටම අප පසුකොට නොගිය බව සැබෑවකි. සාරධර්මයන් කාලයෙන් කාලයට පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙමින් මනුෂ්‍ය සිත් සතන්වල තැන්පත් වූ බව නොරහසකි. මනුෂ්‍ය සමාජයේ හැදියාවට මෙන්ම ඔවුනගේ ඉදිරි ගමනටද මෙයින් ඇතිවූයේ විශාල පිටිවහලකි.   


වර්තමානයේදී මේවා අපිට මතක් කර දෙනුයේ කෙනෙකු කරන කතාවකිනි. නැතහොත් පුවත්පත් සඟරාවල පළවන ලිපි තුළිනි. මේවාට ඇහුම්කන් දෙන්නන් පවා සොයා ගැනීම අද දුෂ්කර වී ඇති සෙයක් පෙනේ. මේ තුළින් සනිටුහන් කරන්නේ දේශයක ගරා වැටීමක් නොවේද? අපගේ අනන්‍යතාව ලොවට කියා පෑ වටිනාම කැඩපත වූයේ අපගේ සාරධර්මයි. පවුල් සංස්ථාව තුළ මෙන්ම සමාජ සංස්ථාවේ වර්ධනයටත් අතීතයේ සිටම මෙම මනුෂ්‍යය හැදියාවන් ඉතා ප්‍රයෝජනවත් වූ බව අපගේ ඉතිහාසය සාක්ෂි දරයි. 


 ලංකාවේ සිරකරුවෙක් ලෙස කලක් සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් පවා ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ වටිනාකම් සහිත සාරධර්මයන් ප්‍රසංශාවට ලක්කොට ඔහු විසින් රචිත ග්‍රන්ථවල කරුණු විස්තර කොට ඇත. සිංහල මනුෂ්‍යයා තුළ තිබුණු ආගන්තුක සත්කාරයත් පිවිතුරු සිනහාවෙන් පිරුණු මුහුණු තමන් සංචාරය කළ කිසිම රටකදී තමනට දැකගන්නට නොලැබුණු බව ඔහු සඳහන් කොට තිබිණි. නිවසට පැමිණෙන අමුත්තෙකුට අසුන්ගන්වා ප්‍රියමනාප ලෙස කතාබස් කිරීම. සංග්‍රහ, සත්කාර කිරීම, තමනට හැකි ආකාරයෙන් අසරණයෙකුට පිහිට වීම, ගෞරව කළ යුත්තාට ගෞරව කිරීම, වැඩිහිටියන්ට සැලකීම වැනි උදාර මනුෂ්‍යය ක්‍රියාකාරිත්වයන් අද වෙන විට අප සමාජයෙන් පමණක් නොව අප අතරින් පවා දුරස්ථ වී යන ආකාරයක් පෙනෙන්නට තිබේ. 


සමාජ වටිනාකම් සහිත මෙම සාරධර්මයන් අද වෙන විට විවේචනාත්මක ලෙස ගැරහුමට ලක්වී ඇත. මෙවැනි චාරිත්‍ර පිළිපදින්නන් පවා සමච්චලයට ලක්වෙන අයුරුද පෙනේ. සියල්ලම උඩු යටිකුරු බවට පත්ව තිබේ. අපේ අය මේවාට පයින් ගසමින් බටහිර ජාතීන් අනුව යමින් විජාතික සිරිත් විරිත් හා චාරිත්‍ර චාරිත්‍රවලට ආවඩමින් ඒවා අනුගමනය කිරීම ගැන මහ ඉහළින්ම කතිකාවන් ගොඩ නගති. මේවායේ ඇති හොඳ හෝ නරක ගැන කිසිවෙක් කතා නොකරති. කොපමණ වැරදි වුවත් සුළඟ හමන අතටම ඔරුව පැදීමට කවුරුත් වෙර දරති. විනාශයේ දොරටුව ඔවුන්ට විවර කරති. මෙයත් සැපක් යැයි සමහරු කල්පනා කරති. 


 සාරධර්මයන් විනාශ කරනවා යනු අපි අපිවම විනාශ කර ගැනීමකි. මුදල් මත දිවෙන සමාජයක ජීවත්වෙන අපි සැමටම මුදල් සොයා පිම්මේ දිව යාමට සිදුව තිබේ. සමහරු තම බිරිඳ, දූ දරුවන් පවා අමතක කොට මුදල් සොයා පිම්මේ දිව යාමේ ධාවන ඉසව්වට සහභාගි වීමට ධාවන පථයට ප්‍රවිෂ්ට වී ඇත. මුදල් පිළිබඳ තරගාවලියෙන් ජයග්‍රහණය ලබා ගත්තත් බොහෝ දෙනෙකු තම පවුල් ඒකකය හැසිරවීම නැමැති තරගයෙන් අදවෙන විට පරාජයට පත්වී වේදනාවෙන් හති අරින සෙයක් දැකිය හැකිය. 


දරුවන් දෙමාපියන්ට ගරු කිරීම කෙසේ වෙතත් ඔවුන්ව නොතකා හරින තත්ත්වයකට සමහර පවුල් ඒකකයන් මුහුණ දී තිබේ. එහෙත් කුඩා කාලයේ සිටම තම දරුවනට යහපත් ගුණධර්මයන් ගෙන් පරිපූර්ණ අපගේ සාධර්මයන් හුරුකරවා තිබේ නම් මුදල්වලින් වෙන සේවයට වඩා විශාල සේවයක් එමගින් එම පවුල් ඒකකයන් විසින් අත්පත් කරගන්නා බව සැබෑවකි. 


 විදේශගතව ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වන අපිට අපගේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම අමතක කොට ජීවත්විය නොහැක. ගුරුදෙගුරුන් නමැදීම, භික්ෂුන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්තව සැලකීම, අසණයින්ට උපකාර කිරීම, ප්‍රියමනාප වචන කතා කිරීම, ගෞරව සම්පන්නව හැසිරීම, අනුන්ට හිංසාකාරී ලෙස ක්‍රියා නොකිරීම වැනි මනුෂ්‍යය සමාජයේ දියුණුවට අවශ්‍යයෙන්ම අත්‍යවශ්‍ය සාරධර්මයන් රැකීමට අපට සිදුවී තිබේ. මෙමගින් අපගේ හැදියාවන් ශිෂ්ට සම්පන්න වූ අයුරු අප කාටහත් අමතක නොවේ. එහෙයින් අපගේ හැදෙන වැඩෙන දූ දරුවන් අපි මෙන්ම මෙම ප්‍රතිපදාවන් ඉදිරියට ගෙන යා යුතුමය. එසේ නොවුනහොත් ඔවුනගේ භෞතික දියුණුව කෙසේ වෙතත් අධ්‍යාත්මික දියුණුව පහළට ඇද වැටෙනු නොඅනුමානය. 


විසිරී විනාශ වී ගිය පවුල් මෙන්ම භේද භින්න වූ පවුල්වල ඇතුළාන්තය සොයා බැලූ විට මෙය සත්‍යයක් බව පසක් වෙයි. මෙම පරම සත්‍යය මනා ලෙස අවබෝධකරගත් ලාංකික දෙමව්පියන් සමහරෙක් තමන් විදේශ රටක ජීවත් වුවත් තම දූ දරුවන් ඒ රටවල ඇති ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල පවත්වාගෙන යන ඉරුදින දහම් පාසල්වලට යොමුකරවා ඔවුනට මෙම වටිනා සාරධර්මයන් පුරුදු පුහුණු කරලීමට දරන්නේ ද අපමණ වෙහෙසකි. 


විදේශ සමාජ පරිසරයක සිය පාසල් අධ්‍යාපනය ලබන අප දුවා දරුවන් එයින් ලබන හොඳ හෝ නරක ආභාෂයන් පමණක් නොව තමා අවට පරිසරයෙන් ලබන අත්දැකීමුත් තම නිරන්තර ක්‍රියාකාරිත්වයට මුසුකර ගනිති. යුරෝපා ජාතිකයින් බහුතරයක ගේ දූ දුරුවන් තම දෙමව්පියන්ට ආමන්ත්‍රණය කරන්නේ ඔවුනගේ නම් වලිනි. තාත්තා, අම්මා කියා කතා කරන්නේ කලාතුරකිනි. දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ආගමික නායකයින්ට විශේෂ ගෞරව කිරීමක් ඔවුන් වෙතින් දිස් නොවේ. සෑම වසරකම වෙන්වී ඇති තාත්තලා සමරණ දිනයටත්, අම්මලා සමරණ දිනයටත් පැමිණ ඔවුනට මල් කළඹක් හෝ කුඩා ත්‍යාගයක් පිරිනමා සිප වැළඳගෙන දෙමාපියන්ට ගරු කිරීමක් පමණක් අපට දැකිය හැකිය. වයස්ගත තම දෙමාපියන්ව තමන් ළඟ තබාගෙන ඇප උපස්ථාන කිරීම් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. සෑම දෙයක්ම යාන්ත්‍රිකකරණයට හසුව ඇත. සෑම දෙයක්ම තනි තනිව තමන් විසින් විසඳා ගත යුතු යැයි සිතන මතවාදයට මෙම විදේශ මනුෂ්‍යය සමාජයන්හි පිවිස තිබීමත් එතරම් අරුමයක් නොවේ. වයස්ගත දෙමාපියන් බහුතරයකගේ සැනසීම, විනෝදය හා තනිකම නැතිකිරීමට අද මෙවැනි සමාජවල ඉදිරියට පැමිණ ඇත්තේ නිවසේ ඇතිකරන කුඩා බලුපැටියා හෝ පූස් පැටියා බව මතක් කළ යුතුමය. 


මෙම විදේශ සමාජයන් හා සසඳා බැලූ කළ අපගේ ලාංකික සමාජයේ සමාජගත වටිනාකම් සහිත සාරධර්මයන් නිසා සමාජය ඉතා ශිෂ්ට සම්පන්නව එදා පෝෂණය වූ බව පෙනේ. ගුරු දෙගුරුන් නමැදීම, භික්ෂුන් වහන්සේලාට, ආගමික නායකයින්ට ගෞරව කිරීම, වැඩිහිටියන්ට සැලකීම, අසරණයින්ට පිහිටවීම, ගෞරවණීය ලෙස හැසිරීම ආදී ශ්‍රේෂ්ඨ සාරධර්මයන් අපගේ ශිෂ්ටාචාරය තරම්ම පැරණිය. මේවා අද වෙන විට අප සමාජයෙන් දුරස් වෙමින් ගොස් ඇත. ඒවා ආරක්ෂා කරගැනීමට දැන්වත් අපි ඉදිරිපත් විය යුතුමය. 
ළමා පරපුරට මේ පිළිබඳව අප විසින් අවබෝධකර දිය යුතුය. දේශයේ අනාගතය බාරගැනීමට සිටින ළමා පරපුර මේ සඳහා පෙලගැස්වීමට යම් වැඩ පිළිවෙලක් සකස් කිරීම ඉතා උචිතය. ගුරු දෙගුරුන්, භික්ෂුන් වහන්සේලා මෙන්ම වැඩිහිටියන්ගේ අත්දැකීම් සහිත දැනුමෙන් ඔවුන්ව මෙහෙයවීම කළ යුතුය. සාරධර්ම නැමැති අපගේ ශ්‍රේෂ්ඨ හැදියාවන් අනාගත ළමා පරපුරට උරුම කරදීම අපගේ යුතුකමකි. එම නිසා මෙම සද්කාර්ය සමුදායට එකතු වීමට සුදුසුම කාලවකවානුව මෙය බව නිහතමානීව මතක් කරමි. 


සුදත් ප්‍රනාන්දු, 
ප්‍රංශය.