සාන්ත ආගතා මුනිතුමියට තුති දීමේ මංගල්‍යය උත්කර්ෂවත්ව 14 වැනි වරටත් කතානියා නගරයේදී


 

කතානියා නගරයේ අධිපතිනිය නොහොත්, ආරක්ෂිකාව වශයෙන් ඉතාලි ජාතිකයන්ගේ ගෞරවාදරයට පත් වූ සාන්ත ආගතා මුනිතුමියට තුති පිදීමේ මංගල උළෙලක් සෑම වසරකම කතානියා නගරයේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකික කතෝලික ජනතාව විසින් පවත්වනු ලැබේ. පසුගිය සැප්තැම්බර් මස 17 වැනි දින ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සම්බන්ධීකාරක වශයෙන් වසර ගණනාවක් පුරා විශාල මෙහෙයක් ඉටුකරන නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 14 වැනි වරටත් ඉතා උත්කර්ෂවත් ලෙස මෙම මංගල දිවිය පූජාව පැවැත්විය.  


මෙම මංගල්ලය කතානියා කතෝලික ජනතාවගේ අාධ්‍යාත්මික පියතුමා වශයෙන් කටයුතු කරන ක්‍රිස්ටි පෙරේරා පියතුමාගේ සහ දේවස්ථාන සේවක මණ්ඩලයේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ අතර, මෙසිනා, සිරකුසා, කතෝලික සංඝ භාර පියතුමන්ලා සහ ජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ. සැලකිය යුතු දුරක් තූර්ය වාදනයෙන්, නර්තනයෙන් සාන්ත ආගතා ප්‍රතිමාව පෙරහරේ ගෙන යමින් ප්‍රධාන දෙව්මැඳුර වන සාන්ත ආගතා දෙව්මැඳුරේදී මංගල දේව පූජාව පැවැත්විය.  


ජේසුස් වහන්සේ විසින් ආරම්භ කරන ලද කතෝලික සභාවට, මුල් අවධියේ සිදු වූ දරුණු තාඩන පීඩන හමුවේ දෙවියන් කෙරෙහිම විශ්වාසයේ හිඳ ප්‍රාණ පරිත්‍යාග වූ ආගතා මුනිවරිය කෙරෙහි, ඉතාලි ජාතිකයන් තුළ ඇත්තේ පුදුමාකාර ආදරයකි. සිය මව් බිම හැරද‌ා මෙහි තනිවී සිටින ශ්‍රී ලාංකික අපට ද එතුමියගේ පිහිට ආශිර්වාදය නොමඳව ලැබේ.  


අපගේ මෙම මංගල දිව්‍ය යාගයට සහභාගී වෙමින් එය ලස්සන කර ගන්නට ද‌ායක වූ මෙසිනා, කල්තජිරෝනේ, සිරකුසා, පලේර්මෝ නගරවල ජනතාවට, පියතුමන්ලාට සහ සිය උපරිම ද‌ායකත්වය ලබාදුන් කතානියා නගරයේ ජනතාවට ද පියතුමා ඇතුළු දේවස්ථාන සේවක මණ්ඩලය සිය ස්තුතිය පළකර සිටී.  


කාන්ති රතුගම,  
කතානියා