සාධු නදින් මිලානෝ නගරය ගිගුම්දුන් කඨින පිංකම


 

හෙළ ඉතිහාසයේ පටන්, උතුම් වූ අපගේ මාතෘ භූමිය, භාෂාව සහ ආගම ආරක්ෂා කිරීමට මහා සංඝරත්නය ගත් උත්සාහය දිවි පරදුවට තබා කළ සේවාවකි. රටට ජාතියට ආගමට වගේම සංස්කෘතියට පණ පෙවීම එදත් අදත් උන්වහන්සේලා අතින් සිදුවූ සේක. ඉතාලියේ මිලානෝ නුවර, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක මහගම විපුලසිරි ස්වාමීන් වහන්සේ ඒ හිමිවරුන් අතර තවත් එක් සුවිශේෂී වූ හිමිනමකි.   


ලෝකයේ දියුණුවත් සමග රටවල් සියල්ලම විශ්ව ගම්මානයක් බවට පත්වූයේ අප සැමටම හොර රහසේමය. එය හේතුකොටගෙන රට රටවල්වල සංක්‍රමණිකයන් බවට පත්වීමටද අපටද සිදුවිය. නමුත් මව්බිමෙන් කොපමණ ඈත්ව සිටියත් අපේ භාෂාව, සංස්කෘතිය සහ ආගම රැකගනු වස් මහගම විපුලසිරි ස්වාමීන් වහන්සේ ගෙන යන වැඩපිළිවෙළේ එක් කොටසක් සැටියට, මිලානෝ නුවර පැවැත්වූ කඨින මහා පිංකම සඳහන් කිරීමට කැමැත්තෙමි. මව්බිමෙන් ඈත්ව සිටියත් අපගේ බෞද්ධ සංස්කෘතිය විදහා පෙන්වීමට මෙහි දායක දායිකාවන් ගත් උත්සාහයේදී ඉතාලි ජාතිකයින් පවා අමන්දානන්දයට පත්විය. 


2017.10.07 සහ 2017.10.08 දෙදින පුරා පැවති කඨින පිංකම් මාලාවට, ඉතාලියේ සෙසු ගම් වලින් වැඩමවූ මහා සංඝරත්නය අතර ඉතාලි ජාතික හිමිවරුන් කීප නමක්ද වැඩ සිටීම සුවිශේෂ කරුණකි. මිලානෝ නුවර සාධුකාර හඬින් නහවමින් කඨින මහා පෙරහැර බෞද්ධ මධ්‍යස්ථානයට ළඟා වූයේ සෘද්ධාව සැමගේම සිත්වල රෝපණය කරමින් බව දුටු මාගේ නෙතඟට ද කඳුළක් ඉනුවාය. හේවිසි හඬ සහ නැටුම් ගැයුම් වලින් සපිරුණු මෙම පෙරහැර දුටුවන්ගේ සිත් නිවා සනසන්නට ප්‍රදීප් වික්‍රමසිංහ ප්‍රමුඛ ශාස්ත්‍රා රංග ආයතනයට හැකිවිය. 


අපගේ නායක ස්වාමීන්වහන්සේගේ මග පෙන්වීම මත, බෞද්ධ සංස්කෘතියේ තවත් අංගයක් වූ දන්සැල, ඉතාලි ජාතිකයින්ගේද කුස පුරවමින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අවසන් විය. මෙම දන්සල සෑම අවුරුද්දක් පාසාම මේ ආකාරයෙන් පවත්වාගෙන යන බව මා දන්නා කරුණකි. 


බෞද්ධයින්ට මෙන්ම අන්‍යාගමිකයන්ටද මෙහිලා ප්‍රධානත්වයක් ගෙන වැඩ කිරීමේදී කිසිදු බාධාවක් නොතිබුණ අතර අන්‍යාගමික බැතිමතියක් වූ දීපිකා ප්‍රනාන්දු මහත්මිය විසින්, සැමගේම සිත්වල තව තවත් බොදු බැතිය උද්දීපනය කරමින් කවි ගායනා කළේ මහා සංඝරත්නය වඩින අවස්ථාවේදීය. 


මිලානෝ වගේම ඒ අවට ගම් වලින් මේ මහා කඨින පිංකමට සෙනග පැමිණ, සංසාර ගමනට මහත්ඵල මහානිසංස පිං රාශියක් පොදි බැඳගෙන නික්ම ගියහ. 

සටහන හා ඡායාරූප 
දේව හඳුන්නෙත්ති