සාජා රෝහලේ තනිවුණු ශ්‍රී ලාංකිකයාට ඔබේ ආධාර අත්‍යවශ්‍යම මොහොතක්


 

ඊබට් අත්තිඩිය මෙයට වසරකට පමණ පෙර රද්දොළුගම සිට අරාබි එමීරයේ සාජාවලට පැමිණියේ දහසක් බලාපොරොත්තුවලින් සිත පුරවා ගනිමිනි. වයස වසර 50 ක් වන ඊබට් සාජාවල ‘‘අල් මජිඩ් ප්ලාස්ටික් ෆැක්ටරියේ’’ රැකියාවට පැමිණියේ තම දරුවන් තිදෙනාගේ හා බිරියගේ හෙට දවස වඩාත් යහපත් කිරීමේ අරමුණින් වුවද ඔහුට එ් සඳහා ඇප කැප වීමට හැකි වූයේ වසරකටත් අඩු කාලයකි. එයට හේතුව ඔහු දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළීමයි. 


රුධිරයේ සීනි ප‍්‍රමාණය අධික වී පිටේ හටගත් තුවාල හේතුවෙන් ඔහුව සාජා හි කුවෙට් රෝහලට ඇතුළත් කළ අතර එහිදී එම තුවාල සඳහා සැත්කම් කිහිපයක්ම කරන්නට සිදුවිණි. එ් නිසාම දැනට මාස 2 ක පමණ සිට රෝහල ගතව තම නෑසියන්ගෙන් වෙන්ව වසන ඊබට් අත්තිඩියට පිහිටට සිටියේ සාජා හි සිටි හිතවතකු දෙදෙනෙකු පමණි. මාස 2 ක් නැවතී සිටි රෝහලේ බිල ඩිරාම් 85000 ද ඉක්මවමින් අහස උසට ගියද එ් සඳහා කිසිදු හව් හරණක් ඔහුට නොමැති වූයේ රැකියා ස්ථානයක ඕනෑම සේවකයකුට ලැබෙන මූලික අයිතිවාසිකම වූ රක්ෂණ කාඩ් පතද එම ආයතනයෙන් ඔහු වෙත නිකුත් කොට නොමැති බැවිණි. රක්ෂණ පත නොමැතිව පමණක් නොව මේ දක්වා ඔහු සේවය කළ ආයතනයෙන් ඔහු ගැන විමසීමට හෝ රෝහලට නොපැමිණි අතර ඔහු ගැන තොරතුරු දැනගත් ඩුබායි හි සහන සංවිධානයේ සාමාජිකයෝද ඩුබායි ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරාල් කාර්යාලයද ඔහු වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කරන්නට පෙරට පැමිණියෝය. 


සමාජ ජාල වෙබ් අඩවිවලින් ලද තොරතුරු මත මේ වෙන විට සාජාවල ලාංකිකයන්ද ඔහු නැවත ලංකාවට යැවීමට අවශ්‍ය අරමුදල් එකතු කිරීමට එකතු වී ඇතත් රෝහල් බිල අඩකින් පමණ අඩු කර ගැනීමට ඔවුන් වෙහෙස ගත්තත්, තාමත් එකතු වී ඇත්තේ සුළු මුදලකි. 


දැනට සතියකට පෙර ඔහුගේ තත්ත්වය තරමක් යහපත් වුවද මේ වෙද්දි යළිත් ඔහු දැඩි ලෙස රෝගාතුරව සිටින අතර ඔහුව ඉක්මණින්ම ලංකාවට යැවීම සඳහා සාජා ඩුබායි හී වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ට සේම ලොව පුරා සිටින කාරුණික ඔබට අත්වැල් බැඳගත හැක. වැඩිදුර විමසීමට දුරකථන මගින් ලංකාවේ 0768451969/0717747079 (කුසුමා) හෝ සාජා හි 00971552196966 (නුවන්) විමසිය හැක. 
අපේම සහෘදයා වෙනුවෙන් අත්වැල් බැඳගැනීමට ඩුබායි කොන්සල් කාර්යාලය සේම ඩුබායි හි ‘සහන’ සංවිධානයද ඔබට ආරාධනා කරයි. 


සුරංගි අතුකෝරල 
සාජා සිට.