ස්ත්‍රී දූෂණයට ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකුට වසර දහයක සිර දඬුවමක්


රෝමයේ නැගෙනහිර කලාපයේ දී පසුගිය වසරේ ඔක්තෝබර් මස දොළොස් වැනිදා ශ්‍රී ලාංකික කාන්තාවක බලහත්කාරයෙන් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පනස් දෙහැවිරිදි නිමල් වෙත්තසිංහ නම්වූ ශ්‍රී ලාංකිකයකු, ඉතාලි අධිකරණය විසින් වසර දහයක සිර දඬුවමකට යටත්කර තීන්දුව දී ඇත.   '


මීට පෙර අවස්ථාවක මිනිස් ඝාතන චෝදනාව යටතේ වසර විස්සක සිර දඬුවමකට යටත්ව සිරබත් කමින් සිටි මෙම ශ්‍රී ලාංකිකයා, යහපත් හැසිරීම සඳහා වූ වරප්‍රසාදය යටතේ වසර දොළහක දඬුවමකින් පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මස පස්වැනිදා නිදහස ලැබූවෙකි.   


සිපිරිගෙයින් නිදහස ලැබූ නිමල් වෙත්තසිංහ ඊට දින හතකට පසුව රෝමයේ “ල ස්තෝර්තා” ප්‍රදේශයේ පුද්ගලික නවාතැන් පොළක ලැගුම්ගෙන සිටිය දී එහිදී හමුවූ ශ්‍රී ලාංකික ගැබ්බර කාන්තාවකට පිහියක් පෙන්වා බියගන්වා දූෂණය කර ඇත. හිංසනයට පත්වූ කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව, පලායමින් සිටි චූදිතයා බොලොඤ්ඤා දුම්රියපොළේ දී එදිනම පොලිස් අත්අඩංගුවට පත්විය.   


තමන් විසින් උක්ත කාන්තාව දූෂණයට ලක් නොකරන ලද බව ද සුහද කායික ඇසුර සඳහා ගිවිසගත් මුදල සම්බන්ධව ඇති වූ බහින්බස්වීම හේතුවෙන් ඇය විසින් අසත්‍ය චෝදනාවක් යටතේ පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර ඇති බව ද චූදිතයා විසින් අධිකරණයට ප්‍රකාශ කර ඇතුව ද අධිකරණය එම ප්‍රකාශය පිළිගෙන නැත.

   
මිනිස් ඝාතනය සහ ස්ත්‍රී දූෂණය වැනි බරපතළ අපරාධ දෙකක් සම්බන්ධව පිට පිට දෙවතාවක් ම වරදකරු වී ඇති බැවින්, ඉතාලි දණ්ඩ නීති සංග්‍රහයේ විදේශිකයන් සඳහා වෙන වගන්තීන්ට අනුව උක්ත ශ්‍රී ලාංකිකයා මෙම දඬුවම නිමාකිරීමෙන් පසුව රටින් පිටුවහල් කිරීමේ නියෝගයකට යටත්වීමේ අවදානමක් ද ඇත.   


ගැස්කොන් ලාසරස්.   
රෝමය, ඉතාලිය.