සරණාගතයාගේ ඛේදවාචකය කියන වසරේ හොඳම පුවත්පත් ඡායාරූපය


 

වචන දහස් ගණනකින් කිව නොහැකි දේ එක රූප රාමුවකින් කිව හැකිය. මෙහි උපරිම පළ නෙළාගන්නේ පුවත්පත් ප්‍රවෘත්ති මාධ්‍යයයි. ඡායාරූපයක් නැති පුවත්පතක් නැත. යුද්ධයේ කුරිරු බව, ස්වභාවික ව්‍යසනයක ඛේදනීය බව ලොවට පෙන්වා, සංවේදී සිත් සසල කිරීමට මෙන් ම, දේශීය පමණක් නොව ජාත්‍යන්තර මහජන මතයක් ගොඩනැගීමට ද පුවත්පතක පළවෙන එක් රූප රාමුවකට හැකිය. රූප මාධ්‍යට භාෂාවක් නැත. එය විෂ්ව භාෂාවකි. එබැවින් වචනයට වඩා සැමවිට ම රූප රාමුව ඉදිරියෙන් සිටී. පුවත්පත් ඡායාරූප අතර, සුනාමි ව්‍යසනයේ දී ගාල්ල බස් නැවතුම්පොළේ වතුරේ ගසාගෙන යන කාන්තාවකගේ මාලයක් කිසිවකු විසින් කඩාගන්නා ආකාරය දැක්වෙන රූප රාමුව, අපේ නින්දිත සිද්ධියක් ජාත්‍යන්තරයට ගෙන ගිය ඡායාරූපයකි.   


පුවත්පත් ඡායාරූපයක ඇති අගය සලකා, සෑම වසරකම ලොව පුරා පුවත්පත්වල පළවෙන ඡායාරූප අතරින් හොඳම ඡායාරූපය තෝරා අගැයීමකට ලක්කිරීම, “වර්ල්ඩ් ප්‍රෙස්” (World Press) ආයතනය විසින් 1955 සිටම සම්ප්‍රදායක් ලෙස නොකඩවා කරගෙන යයි. මෙවර මෙම ඇගයීම සඳහා පසුගිය වසරේ ලොව පුරා පුවත්පත්වල පළවූ ඡායාරූප හැත්තෑඅටදහසක් නිදහස් ජූරියක් මගින් පරීක්ෂා කර බලා, එයින් ඡායාරූප 140ක් අවසන් තෝරාගැනීම වෙත යොමුකරන ලදී.   


පසුගිය වසරේ පුවත්පත්වල පළවූ ඡායාරූප අතරින් හොඳම ඡායාරූපය ලෙස මෙවර තේරී ඇත්තේ ඇමෙරිකානු පුවත්පත් ඡායාරූප ශිල්පියකු වන ජෝන් මුවර් විසින් කැමරා කාචයට හසුකරගෙන ඇති “දේශසීමාවේ හඬන දරුවා” නම් ඡායාරූපයයි. සරණාගතයාගේ ඛේදවාචකය මෙම ඡායාරූපයෙන් කදිමට පැහැදිලි වෙන බව ඡායාරූප තේරූ ජූරි සභාව කියයි.   
ජෝන් මුවර් ඇමෙරිකානු “ගෙටී” ආයතනයට සම්බන්ධව පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරන්නෙකි. මෙක්සිකෝ - ඇමෙරිකානු දේශ සීමාව ඔස්සේ නීති විරෝධීව ඇමෙරිකානු භූමියට ඇතුළුවීමේ වරදට හොන්ඩුරාස් ජාතික කාන්තාවක හමුදා අත්අඩංගුවට පත්වෙද්දී, ඇගේ දරුවා හඬන ආකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙක්සිකානු ඇමෙරිකානු දේශ සීමාවේදී ජෝන් මුවර් විසින් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ පසුගිය වසරේ ජුනි මස දොළොස්වැනිදා ය.   

 

 


චාපි කෝසලා 
මියුනිච්, ජර්මනිය.