සයිප්‍රස් ශ්‍රී ලාංකිකයන්ගේ සාතිශය සංවේගය


 

මුළු ලෝකයේම හදවත් කම්පා කරවමින් 2019-04-21 වැනි පාස්කු ඉරු දින අප මාතෘ භූමියේ බිහිසුණු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම සහ එම හේතුවෙන් රෝගාබාධිත වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය හා සෙත් පැතීම අරමුණු කොට ගනිමින් සයිප්‍රසයේ කොන්සල් ජනරාල් කාර්යාලය නිකෝසියා කතෝලික දේවස්ථානය හා නිකෝසියා ශ්‍රී ලංකාරාම විහාරස්ථානය සමඟ මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙම දින කිහිපය තුළම විවිධ ආගමික වැඩසටහන් පැවැත්වූහ.   


ඒ අනුව 23 වැනි අඟහරුවාදා මව්බිමේ ජාතික ශෝක දිනයක් වූහෙයින් සයිප්‍රසයේ කොන්සල් ජනරල් කාර්යාලයේදී කොන්සල් ජනරල්තුමන් රෝහණ අඹගොල්ල මහතා ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලය විසින් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහි කර පිං අනුමෝදන් කිරීම්වස් ජාතික ධජය අඩකුඹු කර විනාඩි 3ක නිෂ්ශබ්දතාවය රකිමින් සිය ශෝකය පළ කර ගෞරව දක්වන ලදී.   


මෙම අවස්ථාවට සයිප්‍රසයේ වැඩවසන මහා සංඝරත්නය සමඟ ලාංකික ප්‍රජාව සහභාගී වූහ. ඉන් පසුව එදිනම සවස දිනුක ප්‍රනාන්දු මහතා ප්‍රධාන තරුණ කැළ සංවිධානයෙන් නිකෝසියා කතෝලික දේවස්ථානයේදී අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාඥා මෙහෙයක් සහ ඉටිපහන් දල්වා මියගිය සැමදෙන සිහිකළ අතර එයට ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍යපාද මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේ ද පූජ්‍ය කුඩාරඹාවැව ධම්මගවේසි ස්වාමීන් වහන්සේ ද වැඩම කළ අතර දේවමෙහෙය සිදුකරනු ලැබූයේ බිංගිරිය විද්‍යා පීඨයේ බාහිර කථිකාචාර්ය බලාගෙදර මධ්‍ය මහා විද්‍යාල​යේ නියෝජ්‍ය විදුහල්පති ජූඩ් දසනායක පියතුමන් සහ නිකෝසියා සදාසරණ කන්‍යාරාමයේ ටෙක්ලා ප්‍රනාන්දු සහ ඇන්ජලා සජීවනී යන කන්‍යා සොයුරියන් විසිනි. 


කොන්සල් ජනරල්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 24 වැනි බදාදා දින සවස ශ්‍රී ලංකාරාම විහාරයට අනුබද්ධ නිකෝසියා සදහම් සෙවණෙහිදී ද කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිකරමින් ඔවුන්ට පිංපෙත් ප්‍රාර්ථනා කිරීමටත් රෝගාබාධයන්ට ලක් වූ සැමට නිදුක් නිරෝගී සුවපතා පිංකමක් සිදුකරන ලදී. මෙම සෑම අවස්ථාවකටම ශ්‍රී ලාංකීය එකමුතුකම විදහා දක්වමින් ආගම් ජාති භේදයකින් තොරව කිතුණු සහ බොදුණු පිරිස් එක් වූ අතර සෑම අවස්ථාවකටම සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල්තුමන් එම මැතිනිය ද එම නිල මඬුල්ල ද සහභාගීත්වය දක්නට ලැබිණ. තවද 25 බ්‍රහස්පතින්දා සවස ලිමාසෝල් නගරයේ වෙසෙන ලාංකික පිරිස එහි පිහිටි සදහම් මැදුරෙදී ද මෙවැනිම පිංකමක් සිදුකිරීමට කටයුතු යොදා ඇති බව දැනුම් දෙනු ලදී. 


අප මව්බිම වෙසෙන අසරණ ජනතාව පත් වී සිටින අනාරක්ෂිත වාතාවරණය ගැන මව්බිමෙන් බැහැරව විදෙස් ගතව සිටින අපට ඇත්තේ ඉතා කණගාටුවකි. මෙම අවස්ථාවේ රටේ ආරක්ෂාව උදෙසා රෑ දහවල් නොනිදා දිවි පුදමින් පෙරමුණ ගෙන ක්‍රියා කරන ජාතියේ මුරටැඹවන් විරෝධාර රණවිරුවන්ට ඒ ලක් මව පෝෂණය කිරීමට රටේ ආර්ථිකය නගා සිටුවීමට උර දෙන අත් වැල සපයන රට විරුවන් වන අපගේ ආශිර්වාද ප්‍රණාමය පුද කරන්නෙමු.  


මෙහිදී විශේෂයෙන් අපේ රට වෙනුවෙන් ශෝකය පළ කිරීම පිණිස කොන්සල් ජනරල් කාර්යාලයේ ඇති ශෝක සටහන් පුස්තකයේ මෙම රටවල් සටහන් තබා ඇත. 
සයිප්‍රසයේ ගරු ජනපතිතුමා වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති නිකොස් ක්‍රිස්ටෝදුලිදිස්, පාර්ලිමේන්තු සභාපති කතානායක වෙනුවෙන් වූ නියෝජිතයෙක් හා ජර්මනිය ස්පාඤ්ඤය, ලෙබනනය, ඉරානය, ජපානය, ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, ග්‍රීසිය ඉන්දියාව, ඊශ්‍රායලය, ලිබියාව, බ්‍රසීලය, ඊජිප්තුව, ස්වීඩනය, ඇමෙරිකා එක්සත් ජනපදය කටාර්, කුවේට්, යුක්රේන්, මහා බ්‍රිතාන්‍ය, අරාබි එමීර් රාජ්‍ය, පෘතුගාලය, සර්බියාව, ඉතාලිය, ස්ලෝවැකියාව, සිරියාව, බල්ගේරියාව රුමේනියාව, පෝලන්තය යන රටවල තානාපතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සමස්ත ශ්‍රී ලංකිකයින් වෙත තම ශෝකය පළ කරමින් මේ වනවිට සටහන් තබා ඇත. 

 

විදේශ කටයුතු ඇමැති නිකොස් ක්‍රිස්ටෝදුලිදිස් මහතා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ අමුත්තන්ගේ පොතේ ශෝක සටහන් තැබූ අවස්ථාව

 

 


විමලා යාපා 
නිකෝසියා සයිප්‍රස් සිට.