සයිප්‍රසයේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිදහස් දින සැමරූ අයුරු


 

අභිමානවත් සංස්කෘතියකින් පෝෂිත ‘ශ්‍රී ලංකාව’ නම් වූ අපගේ ආදරණීය මාතෘ භූමිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. ලක් දෙරණේ මහ පොළව සශ්‍රීක ය. සොබා දහම සුන්දරය. කාලගුණික හා දේශගුණික වශයෙන් පීඩා අවමය.   


එබැවින්ම ඉතිහාසයේ අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන් වරින්වර මේ දේශය යටත්කර ගන්නටත් ලක් මෑණියන්ගේ ජීවය මිරිකා ගන්නටත් විවිධ උපක්‍රම කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස සියවස් 5 ක පමණ කාලයක් අර්ධ වශයෙන් හා පූර්ණ වශයෙන් ඔවුනට යටත්ව වහලුන් වන්නට අපගේ මුතුන් මිත්තන්ට සිදු විය.   


එහෙත් සිංහල ලේ ප්‍රාණවත් ය. අදීන හා අභීත බව උරුමකොට ඇත්තේ ය. එබැවින් යටත් විජිත යුගය යනු අධිරාජ්‍යවාදියාට ද නිදහසේ ඔවුන් වහල් සේවයේ යොදන්නට නොහැකි විය. දිවි පුදා හෝ මව් බිම නිදහස් කර ගැනීමේ නොනවතින අරගලයක මව් බිමේ සුජාත දූ පුත්තු කැරලි ගැසූහ. සටන් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1948 දී නිදහස දිනාගන්නට අපට හැකි විය. එය පරිපූර්ණ නිදහසක් නොවුන ද අපට අවැසිනම් දෙපයින් නැගී සිටින්නට නිදහසක් එහි තිබුණේ ය.   


දේශයේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් අරගලයේ පෙරමුණගත් ගෞරවණීය මහ සඟරුවන සහ අභීත හෙළ විරුවන්ට අප සදා ණයගැති වෙමු. එසේම අපගේ ගෞරවණීය උපහාරය පිරිනමමු.   


 මෑත භාගයේ ද තිස් වසරක් පුරා අපරට වෙලාගත් අමානුෂික ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ද ලක්විරුවන් රට මුදා ගත්තේ ජීවිත හා අත්-පා පරිත්‍යාග කරමින් ය.   
සත් සමුදුරෙන් එපිට විවේකය විඩාවට බැර කරමින් ආර්ථික ලොව ජය ගන්නට වෙර දරන අපට 72 වන නිදහස් සැමරුම ලක්බිමේ සිට කළ නොහැකි වුව ද සයිප්‍රස් රාජ්‍යයේ සිට හෝ අප එය කළ යුතුය. හේතුව හදවතින්ම අප, අපගේ මව් බිමට ආදරය කරන බැවිනි.   


 සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවනේ දී 2020 පෙබරවාරි 09 වන ඉරු දින ‘72 වන ජාතික නිදහස් සැමරුම’ රාජතාන්ත්‍රික වශයෙන් සයිප්‍රස් කොන්සල් කාර්යාලයේ දී ද ආගමික හා සංස්කෘතික වශයෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දී ද උත්සවාකාරයෙන් සිදු කිරීමට අපට හැකි විය. පෙබරවාරි මස 09 වන ඉරු දින විහාරස්ථානයේ පැවැති නිදහස් සමරු වැඩසටහන සංවිධානය කරන ලද්දේ සයිප්‍රසයේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසිනි.   


සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය සහ කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය යන උභය විහාරාධිපති, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය ‘නිදහස උදෙසා දිවි පිදූ විරුවන්ට පුණ්‍යානුමෝදනා කරමු’ යන තේමාව යටතේ සිදු විය.   
 ප්‍රධාන ආරාධිතයා ලෙස සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් රෝහණ අඹගොල්ල මහතා සහ එම මහත්මිය සහභාගී වූ අතර කොන්සල් කාර්යාලයේ සියලුම නිලධාරි භවතුන් ද උත්සවයට එක්ව සිටියහ.   


සතර පේරුව ලෙස අප සලකන නිකෝසියා, පාපෝස්, ලර්ණකා සහ ලිමාසෝල් යන ප්‍රධාන නගර නියෝජනය වන පරිදි කෘතවේදී බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගීවී සිටිනු දැකීම ඉමහත් සතුටකි.   


ප්‍රථමයෙන් පිරිස පන්සිල්හි පිහිටුවීම සිදු වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය අභිමානය රැගත් ජාතික කොඩිය ඉහල අහසට එසවීම කොන්සල් ජනරාල් තුමන් අතින් සිදු විය. දේශාභිමානය සිතට දැනෙනසේ පසුබිමින් ඇසුන අභිමානවත් වදන් පෙළත් සමග ජාතික ගීය ගායනා කිරීම සිදු වූයේ ඉන් අනතුරුවයි.   
1948 පෙබරවාරි 04 දින නිදහස ලැබීම පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ශ්‍රවණය කරමින් අපගේ මතකය අලුත් කිරීම ඉන් අනතුරුව සිදු විය.   
උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ විසිනි. පැමිණ සිටි සියලුදෙනාගේම සිත එම දෙසුම කෙරෙහි දැහැන් ගතව තිබෙනු දක්නට ලැබුණි. ඒ දෙසුමට සවන්දුන් අපගේ සිත තුළ දේශය පිළිබඳ ආදරය හා අභිමානයත්, නිදහස් අරගලයට පණ පෙවූ විරුවන් කෙරෙහි ගෞරවයත්, නිදහස වෙනුවෙන් දිවි පිදූ උතුම් මිනිසුන් කෙරෙහි උත්තමාචාරයත් නිතැතින්ම ඇති විය.   


‘නිදහස’ යන වචනයෙහි අරුත මනාව පැහැදිළි කර දුන් උන්වහන්සේ, සෑම ශ්‍රී ලංකිකයෙකු විසින්ම තම මාතෘ භූමියේ ඉතිහාසය කියවිය යුතු බවත් එය නොකිය වූ පුද්ගලයා සිය ඉඩමේ ඔප්පුව නොදන්නා අයෙකුට සමාන බවත් පෙන්වා දුන්හ.   


කුඩාපොල හිමියන්ගේ මෙන්ම වාරියපොල හිමියන්ගේද ප්‍රකාශ උපුටා දක්වමින් ඉතිහාසය පුරා දේශයේ මුරදේවතා එළි දැල්වී තිබූ අයුරු කියා දුන්හ. විදේශික භික්ෂුවක් වූ එස්. මහින්ද හිමියන්ගේ සතුව තිබූ ලක් දෙරන පිළිබඳ කැක්කුම කවිය තුළ රැඳවූ හැටි පෙන්වා දුන්හ. පුරන් අප්පු, කැප්පෙටිපොල වැනි විරුවන්ගේ මුවින් පිටවූ අදීන අභීත වදන් ප්‍රතිරාව දෙන්නාක් මෙන් උස් හඬින් උන්වහන්සේ කියවන විට පිට රටක සිටිය ද මව්බිමේ සූජාත දරුවන්ගේ සුවඳ සිත්වලට කා වැදිනි.   

 

 


නූතන පරපුර තම දේශයේ අභිමානය දිය කර හරින ලද්දේ ඉතිහාසය හා සාහිත්‍යය නූගත් නිසා බව පෙන්වා දුන් උන්වහන්සේ, අදූරදර්ශී පාලකයන් විසින් 70 දශකයේ දී පාසල් විෂය ධාරාවෙන් ඉතිහාසය හා සාහිත්‍යය ඉවත් කිරීම, අප මාතෘ භූමියට හා රට වැසියාට කරන ලද මහත් විපතක් බව සඳහන් කළහ.   


කොන්සල් ජනරාල් රෝහණ අඹගොල්ල මහතා සිය නිදහස් දින පණිවුඩය ඉදිරිපත් කරමින්, සයිප්‍රසයේ වෙසෙන ලාංකික ප්‍රජාව වෙනුවෙන් ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් විහාරස්ථානය මුල්වී කෙරෙන මෙහෙවර අගය කළේ ය. ආර්ථික සමෘද්ධිය ලබා ගැනීම සඳහා විදෙස් ගත වූ ඔබ අපගේ ආගමික සංස්කෘතික අනන්‍යතාවය රකිමින් රට පිළිබඳ අවදියෙන් සිටීමේ වැදගත්කම පැහැදිළි කළහ. ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තමා මෙන්ම තම කාර්ය මණ්ඩලය ද කැපවන බවද දැන්වීය.  


අනතුරුව බුද්ධ පූජාව පූජාකොට මියගිය විරුවන්ට පැන් වඩා පුණ්‍යානුමෝදනා කිරීම සිදු විය.   


විමලා යාපා   
මාධ්‍ය ඒකකය - බෞද්ධ සංගමය  සයිප්‍රස්  
ඡායාරූප - චානක ආරියරත්න