සයිප්‍රසයේ ලංකාරාමයෙහි වෙසක් පිංකම්


 

 

ජුනි මස හෙවත් වෙසක් මාසය ලෝකවාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ මාසයයි. සිදුහත් කුමරුගේ උපත, සිද්ධාර්ථ බෝධිසත්වයාණන්ගේ උත්තරීතර බුදුබව ලැබීම සහ අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වාණය යන සම්බුදු තෙමඟුල සිහි කිරීම යන කාරණා මුල්කොට වෙසක් පුන් පොහොය වැදගත් වේ.  


සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ ද මෙවර වෙසක් පොහොය වෙනුවෙන් පිංකම් මාලාවක් පැවැත්වෙන බව එම විහාරස්ථ බෞද්ධ සංගමය දැනුම් දෙනු ලබයි. කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාමය හා සයිප්‍රසයේ ලංකාරාමය යන උභය විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනයෙන් හා විහාරවාසී කුඩාරඹාවැවේ ධම්මගවේසි ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන් 2019-5-18 වැනි සෙනසුරාදා සවස සිමලොපු ලංකාරාම විහාරයේ දී බෝධි පූජාවක් හා ආගමික වතාවත් සිදු කෙරෙන අතර 19 වැනි ඉරු දින නිකෝසියා සදහම් සෙවනහි සීල භාවනා හා ධර්ම දේශනා ආදී වැඩසටහන් පැවැත්වේ.  


පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට පිංපෙත් පැමිණවීම හා එම හේතුවෙන් රෝහල්ගත වූ අයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීම ද ප්‍රධාන අරමුණ කර ගනිමින් පැවැත්වෙන පිංකමට නිකෝසියා තරුණ කැල දානමය කටයුතු සම්පාදනය කරනු ලබයි.  

 

 


විමලා යාපා
සයිප්‍රස් ලංකාරාම බෞද්ධ සංගමයේ මාධ්‍ය ඒකකය