සම අයිතිවාසිකම් වරප්‍රසාදය කාන්තාවට සිහිනයක් පමණද?


 

කාන්තාවට සම අයිතිවාසිකම් වරප්‍රසාදය 2030 වසර වෙන විට පූර්ණව හිමිකර දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් විසින් 2015 වසරේදී ගන්නා ලද සාමූහික තීරණය නියමිත කාලය තුළ ඉලක්කය කරා ළඟා නොවෙන බව ඒ පිළිබඳව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළිවී ඇත. ජගත් කාන්තා ජනගහණයෙන් 95‍% ක් නියෝජනය වන පරිදි රටවල් 129 ක සහභාගීත්වයෙන්, බිල් ගේට්ස් පදනම විසින් පවත්වාගෙන යනු ලබන EQUAL MEASURES ආයතනය විසින් මෙම අධ්‍යයනය කර ඇත. 


කාන්තාවගේ දේශපාලන සහ සමාජ නිදහස, දෛනික ජීවිතය, සෞඛ්‍ය තත්ත්වය, පවුලේ වගකීම, ඇඳුම් පැළඳුම්, පානීය ජල පහසුකම්, සමබර ආහාරවේල, අන්තර්ජාල පහසුකම් ආදී බොහෝ කාරණා සම අයිතිවාසිකම් තක්සේරුවේදී සැලකිල්ලට ගෙන ඇත. මේ අනුව එකේ සිට සියය දක්වා වූ ලකුණු ක්‍රමයක් යටතේ කාන්තාවට සම අයිතිවාසිකම් ලබාදී ඇති රටවල් වර්ගීකරණය කර, ලයිස්තුගත කර ඇත. ආසියාවේ මැදපෙරදිග සහ අප්‍රිකාවේ කාන්තා සම අයිතිවාසිකම් පිළිබඳව මොරදෙන බටහිර සහ අනෙකුත් බලගතු රටවල් කීපයක්, මෙම වර්ගීකරණ ලයිස්තුවේ පළමු දහය අතරටවත් නොපැමිණ තිබීම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුව ඇත. 


කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය දඩමීමා කරගෙන ආසියාවේ මැදපෙරදිග සහ අප්‍රිකාවේ සංස්කෘතික සංහාරයක යෙදී සිටින ඇමෙරිකාවට මෙම වර්ගීකරණ ලයිස්තුවේ හිමි ව ඇත්තේ විසිඅටවැනි ස්ථානයයි. එංගලන්තය ඇත්තේ දාහ හත්වැනි ස්ථානයේ ය. ලයිස්තුවේ අවසන් ස්ථානයට (129) පැමිණ සිටින්නේ චාඩ් රාජ්‍යයයි. 


කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය අඩුවෙන් ම භුක්ති විඳිනු ලබන රටවල් ලෙස පසුපෙළ ලයිස්තුගතව ඇති රටවල් විසිඑකක් ම, වර්ගීකරණ අධ්‍යයනයේදී ලකුණු පනහට අඩුවෙන් ලබාගත් රටවල් ය. 


කාන්තා සම අයිතිවාසිකම් වරප්‍රසාදය වැඩියෙන් ම මුදාහැර ඇති රට ලෙස මෙම ලයිස්තුවේ මුලින් ම සිටින්නේ ඩෙන්මාර්ක යයි. ඩෙන්මාර්කය ලබා ඇති මුළු ලකුණු සංඛ්‍යාව 89.3 කි. එහෙත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක් කාන්තාව ලබා ඇති අයිතිවාසිකම් ජෝර්ජියානු ලිට්වේනියානු සහ කසකස්තාන් කාන්තාව ලබා ඇති වරප්‍රසාදයන්ට වඩා අඩු ය. ඩෙන්මාර්ක් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය රුවන්ඩා සහ සෙනගල් පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනයට වඩා අඩු අගයක් ගනී. 


ලොව පුරා විසිර සිටින මිලියන එක්දහස් හාරසීයක් වන කාන්තා පිරිසකට සම අයිතිවාසිකම් වරප්‍රසාදය තවමත් සිහිනයක් පමණි. 


චාපි කෝසලා. 
මියුනිච්, ජර්මනිය.