ශාක්‍යමුණි විහාරයේදී අනගාරික ධර්මපාලතුමාට පූජෝපහාර


​ෙලා්ක සත්ත්වයාට සෙත සලසමින් අප තිලෝගුරු බුදුපියාණන්වහන්සේ උපන් දේශය වූ දඹදිව බුද්ධගයාව ඒ උතුම් පින්බිම බේරා ගැනීම සඳහා ජීවිතය පරදුවට තබා සටන් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල සිරිමතාණන්ගේ 154 වැනි ජන්ම දිනය සැප්තැම්බර් මස 17 වැනි දිනට යෙදී තිබුණු බැවින් එතුමාණන් කළ මෙහෙවර සිහිපත් කර කෘත ගුණ දැක්වූහ. 


ශාක්‍යමුණි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුහත් දහම් පාසලේ දරු දැරියන් ඒකරාශී කරගෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් ආගම ජාතියට කළ මෙහෙවර දුවාදරුවන්ට වටහා දී එම දරුවන් ලවා එතුමාගේ පිළිරුව අභියස පහන් දල්වා ධර්මපාල පිළිරුවට පූජෝපහාර දැක්වූහ. 


බෞද්ධ ආගමේ මුදුන් මල්කඩ වූ දඹදිව බුද්ධගයාව අද බෞද්ධ ජාතියට සියැසින් දැකගන්නට වඳින්නට පුදන්නට ඉතිරිව ඇත්තේ ධර්මපාල උතුමාණන්ගේ එඩිතර වූ සිත ශක්තිය නිසාවෙනි. 


ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ජාතියට ආගමට ලැදි මෙවන් ශ්‍රේ‍ෂ්ඨ සිංහල පුතුන් අප ලක් දෙරණේ සිංහල ජාතිය වෙනුවෙන් බිහි වේවායි අපගේ ද ප්‍රාර්ථනයයි. 


වස් පිංකම් මාලාවේ තවත් පිංබර දවසක් 23 වැනි ඉරු දින ද උදා වුණි. ශක්‍යාමුණි විහාරයේ ප්‍රධාන දායක පින්වතුන් කිහිප දෙනෙකු ඒකාරාශී වී මූලිකත්වය ගෙන අෂ්ඨපරිෂ්කාර පූජාවක් සහිත අටවිසි බුද්ධ වන්දනාවක් සිදුකළහ. 23 වැනි ඉරු දින දහම් පාසල් දිනයක් බැවින් සිදුහත් දහම් පාසලේ දරු දැරියන් නිසාවෙන් මෙම පින්බර දිනයේ පිංකම තවත් අලංකාර විය. 


වස් තුන් මාසය නිමා වී කඨින මහෝත්සවය නොවැම්බර් මස 11-12 යන දෙදින තුළ සිදු කරන්නට නායක හාමුදුරුවන්වහන්සේ දායක පින්වතුන් සමඟ සාකච්ඡාවක් ද සිදු කළහ. 


​ෙමම අවස්ථාවට සැලකිය යුතු පිරිසක් සහභාගී වී සිටිනු දකින්නට ලැබුණි. 

 


ප්‍රේම කංකානම්ගේ - රෝමය 
ඡායාරූපය - ශම්මි ගුණතිලක