ශ්‍රී ලංකන් නයිට් සංගීත සැඳෑවෙන් කතානියා නගරයම වර්ණවත් වෙයි


 

ඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයේ සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘‘සුහදශීලී ජනතා සංවිධානය’’ පස්වැනි වරටත් සංවිධානය කරන ලද වසරේ මහ සංගීත සැදෑව සැප්තැම්බර් 24 වැනි ඉරු දින කතානියා දින පොළේදී පැවැත්විණි.   


ඉතාලියේ ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘‘ෂා’’ සංගීත කණ්ඩායම සමඟ තරු රැසක් එදින ගී ගැයූහ. ගෞරවනීය ආරාධිතයන් පිරිසක් විසින් ශ්‍රී ලාංකීය සම්ප‍්‍රදායට අනුව චිරාගත පොල්තෙල් පහන් දල්වා කතෝලික-බෞද්ධ සමගිය ලොවට පෙන්වමින් සැමගේ ආශිර්වාදය මැද ප‍්‍රසංගය ආරම්භ කරන ලදී. 


වසර පුරා ප‍්‍රසංග පැවැත්වෙන කතානියා නගරයේ මුදල් ගෙවා ප‍්‍රසංග නැරඹීමට අවස්ථාවක් නැති අයටත් මේ ප‍්‍රසංගය නොමිලයේ පැවැත්වෙන නිසා සිතු සේ විනෝද වීමේ අවස්ථාව ලැබිණි. බොහෝ විට රැකියාවන් තුළ සිරවී සිටින ඒකාකාරී ජීවිතයෙන් මිදී මදක් විනෝදවෙන්නට අවස්ථාවක් ලද නිසා බොහෝ දෙනා සතුටට පත් වූහ. 


මේ දැවැන්ත ප‍්‍රසංගය සාර්ථක කර ගැනීමට මෙවරත් ප‍්‍රධාන දායකත්වය දරන ලද්දේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි. එමෙන්ම කතානියා නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාව සහ සුහදශීලී සංවිධානයේ හිත මිතුරන් අත හිත දුන් නිසා ප‍්‍රසංගය බොහෝ සේ සාර්ථක විණි. 


සාමාජිකයන් හතර දෙනෙකු මූලිකත්වය ගත් සුහදශීලී සංවිධානයේ පස් වැනි ඉදිරිපත් කිරීමත් ඉතාමත් සාමකාමීව පැවැත්විණි. ඉතාලියේ බොහෝ ප‍්‍රසංගවල ශ්‍රී ලාංකීකයන්ගේ කලහකාරී හැසිරීම් වාර්තා වුණත් මේ ප‍්‍රසංග පැවැත් වූ පස් වසර තුළම එකද කලහකාරී සිද්ධියක් හෝ නොවීමට සංවිධායකයන් වගබලා ගත් නිසා සුහදශීලී සංවිධානයට බොහෝ සේ ස්තුති කොට පැමිණි පිරිස් මධ්‍යම රාත්‍රියේදී සතුටු සිතින් විසිර ගියහ. 


ඇන්ටනී පෙරේරා 
කතානියා, සිසිලි.