වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම උන්මාදයක් තරමටම පැතිරිලා


වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වීම රෝගයක් ලෙස හඳුනාගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ක්‍රීඩා උන්මාදය (GAMING DISORDER) නමින් මානසික ආබාධයක් ලෙස ලයිස්තුගත කර ඇත. මෙම උන්මාදය වසන්ගතයක් ලෙස ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යමින් ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි. ඇබ්බැහිවූවන් කායිකව සහ මානසිකව රෝගීන් බවට පත්කරනු ලබන වීඩියෝ ක්‍රීඩාවෙහි සීමාව ඉක්මවා නිරතවීමෙන් වැළකී සිටීමට තරුණ පරපුර දැනුම්වත් කිරීම සඳහා, රාජ්‍ය මට්ටමේ මැදහත්වීමක් සමඟ අන්තර්ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශනයයි.   


එක්දහස් නවසිය පනහ දශකයේ ඇමෙරිකානු විශ්වවිද්‍යාල කීපයක එකමුතුවෙන් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ වීඩියෝ ක්‍රීඩාව තාක්ෂණිකව වඩාත් දියුණු වූයේ හැත්තෑව දශකයේදී ය. වීඩියෝ ක්‍රීඩාව ජනතාව අතරට ආවේ කාසි දමා ක්‍රියාත්මක කළ හැකි තරමක විශාල දර්ශන පුවරුවක් සහිත මෙවලමක් මගින් කළ හැකි ක්‍රීඩාවක් ලෙස ය. මේ සඳහා ක්‍රීඩා ශාලාවන් ද එවකට තැන තැන බිහිවිය. එහෙත් අද වනවිට මෙය නවීන තාක්ෂණය සමග ඈඳී, ජංගම දුරකතනයෙන් පවා කළ හැකි ක්‍රීඩාවක් බවට පත්ව ඇත.   


මුල් කාලයේදී තනිව කරනු ලබන ක්‍රීඩාවක් ලෙස ද පසුව දෙදෙනකු දෙපිලකට බෙදී කරනු ලබන පිංපොං ටෙනිස් වැනි ක්‍රීඩාවන් ලෙස ද ආරම්භ වූ වීඩියෝ සෙල්ලම, අද වනවිට සංකීර්ණ ත්‍රාසජනක ක්‍රියාදාම ක්‍රීඩාවන් ලෙස ද නිර්මාණය වී ඇත. ලොව දෙකොණක සිටින දෙදෙනකුට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී එකට ක්‍රීඩාවක යෙදීමේ පහසුකම සැලසීම දක්වා, අද වනවිට වීඩියෝ ක්‍රීඩාව තාක්ෂණික දියුණුවක් ලබා ඇත.   


“වීඩියෝ ගේම්” නිෂ්පාදනය දහස් ගණනින් සේවකයන් සේවයේ යොදාගන්නා ඩොලර් බිලියන ගණනින් ආද‌ායම් ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. වීඩියෝ ක්‍රීඩා පමණක් නොව ඒ සඳහා එකකට එකක් දෙවැනි නොවන ආම්පන්න ද නොකඩවා වෙළෙඳපොළට හඳුන්වා දීම මෙම ව්‍යාපාරයේ ඉලක්කයයි. අද ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවන් බවට පත්ව ඇත්තේ වෙඩි තැබීම්, ලේ වැගිරීම් ඇතුළු ත්‍රාසජනක ක්‍රීඩාවන් ය. මෙම ක්‍රීඩා සඳහා මෙතරම් සැපයුමක් නිර්මාණය වී ඇත්තේ පාරිභෝගිකයාගේ දැවැන්ත ඉල්ලුම නිසා ම ය. වීඩියෝ ක්‍රීඩා සහ ආම්පන්න නිෂ්පාදකයන් විසින් ම ජාත්‍යන්තර වීඩියෝ ක්‍රීඩා තරග සංවිධානය කරනු ලබන්නේ, තම නිෂ්පාදනයන්ට කරනු ලබන වෙළෙඳ ප්‍රචාරයක් ලෙස ය. වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහිවූවෝ එහි අතුරු අනිසි ප්‍රතිඵල පිළිබඳව තැකීමක් කරන්නේ නැත.   


දෙදහස් අට වසරේදී ජාත්‍යන්තරව කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ ලොව පුරා මිලියන එකසිය තිහක පිරිසක් විසින් වීඩියෝ ක්‍රීඩාව කරනු ලබන බවය. වසර දහයකට පසුව මෙම සංඛ්‍යාව මිලියන එකසිය හතළිස්පහ දක්වා වර්ධනය වී ඇත.   


වයස අවුරුදු දහසයත් තිහත් අතර වන තරුණ පරම්පරාව මෙම ක්‍රීඩාවට වඩාත් නැඹුරු වී සිටින අතර, දියුණු රටවල දරුවකු වයස අවුරුදු දහය වීමටත් පෙර වීඩියෝ ක්‍රීඩාවේ පෙරහුරුවක් ලබන බව ද හෙළිවී ඇත. තාක්ෂණිකව දියුණු ඇතැම් රටවල හැට පැන්නෝ ද මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටිති.   


වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහිවූවකුට ඒ සඳහා තැනක් නොතැනක් නැත. රැයක් දවාලක් නැත. කෑමක බීමක අවශ්‍යතාවක් දැනෙන්නේ ද නැත. බොහෝ විට නින්ද පිළිබඳව ද තැකීමක් කරන්නේ ද නැත. මේ සියල්ල වීඩියෝ ක්‍රීඩා උන්මාදයේ රෝග ලක්ෂණයන් ය. කියවීම, ලිවීම පමණක් නොව අධ්‍යාපනය ද පසෙකට දමන මෙම රෝගීහු, පූර්ණ කාලීන “වීඩියෝ ගේමර්ස්”ලා වෙති. දීර්ඝ කාලයක් ආලෝකමත් වූ පසුතලයක් දෙස බලා සිටීමෙන් දෘෂ්ඨි ඉන්ද්‍රියට පමණක් නොව ස්නායු පද්ධතියට ද බරපතළ හානි සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. සාහසිකත්වය සමග ත්‍රාසය අඩංගු වීඩියෝ ක්‍රීඩා, ළමා මනස විකෘත්ති කිරීමට සමත් ය.   


බොහෝ රටවල වීඩියෝ ක්‍රීඩා උන්මාදයෙන් පෙළෙනවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා ආයතනයන් ද පිහිටුවා ඇත. මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන්නා සේ ම, දැඩි විනයකට යටත්කර ලබාදෙන මනෝවිද්‍යාත්මක සහ ඖෂධීය ප්‍රතිකාර මගින් මෙම රෝගීන් සුවපත් කෙරේ. මෙම රෝගයේ මුල් ලක්ෂණ දුටු වහාම තම දරුවන් ප්‍රතිකාර වෙත යොමුකිරීම දෙමාපියන්ගේ වගකීම ය.   

 

 

 


චාපි කෝසලා 
මියුනිච්, ජර්මනිය.