විසි වසරකට පසුවත් දරු දෙදෙනා තවමත් හඬවන ඩයනා කුමරියගේ අවසන් දුරකථන ඇමතුම


 

ජීවන මග එකට ගමන් ගන්නා අය වුවද අැතැම් අවස්ථාවල අපෙන් සමුගන්නේ අපට නොකියාමය. මන්දයත් සමුගත යුතු වේලාව පැමිණෙන්නේ ද අපට නොකියාම බැවිණි. ලබැඳියන්ගෙන් නොකියාම සමුගැනීමට සිදුවීම තරම් වේදනාවක් තවත් නැති තරම්ය.

නොගොස් ආපසු ඒමට බැරි යැයි කියමින් වුවද ඒ වේදනාව සමනය කරගැනීම අසීරු ය. ලබැඳියකු අපෙන් නොකියාම සමුගන්නා බව අවසන් වරට හමුවෙන මොහොතක අපට දැනගැනීමට කිසියම් ඉවක් ඇත්නම්, අප ඔවුන් හා මොනතරම් වේලාවක් ගතකරන්නෙමු ද? කීමට තරම් මොනතරම් දේ තිබෙයි ද? නිහඬව වුවද හැරදා යාමට නොහැකිව කෙතරම් කාලයක් එක්ව සිටීමට සිත කියයි ද? එහෙත් එක්ව තව මොහොතක් හෝ වැඩියෙන් සිටීමට තිබුණා නොවේදැයි සිතෙන්නේ ද, කොතරම් දේ කීමට තිබුණේ දැයි සිතෙන්නේ ද, වෙන්වී ගිය පසුව ය. මගහැරී ගිය දේ පිළිබඳව වේදනාකාරී වෙන්වීමකින් පසුව සිත නගන චෝදනාව, මුළු ජීවිත කාලය පුරා විඳවන දඬුවමක් වීමට ද බැරි නැත.  


ඒ 1997 අගෝස්තු මස 31 වැනිදා ය. එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු වන චාර්ල්ස් කුමරුන්ගේ බිරිඳ වූ ඩයනා ස්පෙන්සර් කුමරිය එදින සිටියේ ප‍්‍රංශයේ පැරිස් නුවර ය. ඒ ඇයගේ අනියම් පෙම්වතා සමගය. ඩයනා කුමරිය තම පවුල් කුටුම්භය තුළ ඇයගේ සැමියා සමඟ විරසකකම් තිබුණ ද ඇයට තම දරු දෙදෙනා ඉහළම වස්තුව විය. අනියම් පෙම්වතා සමඟ සිටින මොහොතක වුවද තම දරුදෙදෙනාගේ සුවදුක් විමසීමට තරම් ඇය උත්සුක වූයේ ඒ නිසාමය. විලියම් කුමරු හා හැරී කුමරු එවකට අවුරුදු 15 හා 12 වයසේ වූ කෙළිලොල් කොලුපැටවුන් ය.   


ඩයනා කුමරිය විසින් 1997 අගෝස්තු මස 31 වැනිදා සන්ධ්‍යාභාගයේ තම දරු දෙදෙනාට දුරකථන ඇමතුම දෙන ලද්දේ විලියම් කුමරු හා හැරී කුමරු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගය උද්‍යානයේ සෙල්ලම් කරමින් සිටියදී ය. ඒ මොහොතේ කුඩා දරු දෙදෙනාට සෙල්ලමට වඩා වැඩි දෙයක් නැති විය. ඒ ළමා වියේ ස්වභාවය ය. විලියම් කුමරු හා හැරී කුමරු අම්මාගේ දුරකථන ඇමතුමට උඩින් පල්ලෙන් උත්තර දී, පසුව හමුවෙමු යයි කියමින් යළි මිතුරන් සමඟ සෙල්ලමට ගියහ.   


ඒ අම්මා සමඟ කතා කරනු ලබන අවසන් මොහොත බව දරු දෙදෙනා පමණක් නොව ඩයනා කුමරිය ද සිහිනයෙන්වත් සිතුවේ නැත. ඒ බවක ඉවක් හෝ ඔවුන්ට දැනුනේ නම් ඒ දුරකථන ඇමතුම එලෙස නිමාවට පත්නොවන්නට ඉඩ තිබුණි. එහෙත් දෛවයට පිටුපෑමට මිහිපිට කිසිවෙකුටත් බැරිය. එය එලෙසම සිදුවිය යුතුය. ඒ දුරකථන ඇමතුමෙන් පැය කීපයකට පසුව හදිසි රිය අනතුරකින් පැරිසියේදී ඩයනා කුමරිය සියල්ල හැර ගියාය.   


ඩයනා කුමරියගේ අභාවයෙන් වසර විස්සක් ගතවීම නිමිත්තෙන් සැකසී, පසුගියදා එංගලන්තයේ අයිටීවී රූපවාහිනී නාළිකාව හා ඇමෙරිකාවේ එච්බීඕ රූපවාහිනී නාළිකාව ඔස්සේ ප‍්‍රචාරය වූ වාර්තාමය වැඩසටහනකදී විලියම් කුමරු හා හැරී කුමරු කීවේ ‘‘අම්මා සමඟ එදා තව මොහොතක් හෝ වැඩියෙන් කතා නොකිරීම පිළිබඳව වසර විස්සකට පසුව වුවද තවමත් තමන් හදවතින් වැළපෙන බව’’ ය.   


ජීවිතය එසේය. වැරදී ගිය තැන සොයා ජීවිතයේ ආපස්සට ගමන්කර එතැන නිවැරදි කරගෙන ආපසු පැමිණිය හැකිනම්, ජීවිතය මීට වඩා සොඳුරු විය හැකිව තිබුණි. එහෙත් එය එසේ නොවේ. වැරදී ගිය තැන පෙනෙන්නේ බොහෝ කලකට පසුව ය. එවිට ප‍්‍රමාද වැඩිය. එවන් අවස්ථාවක පැමිණිල්ල ද, විත්තියද, විනිශ්චයකරු ද, තමන් මය. ස්වයං දඬුවමින් පළා යා හැකි කිසිවෙකු මිහිපිට නැත.  


යටියන,   
ක්ලැරන්ස් කොස්තා  
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.