විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනය දෙවැනි වරට ප්‍රංශයේ පැරිස් නුවරදී


 

උතුම් වූ බුදු දහම බෙදාහරින මහගෙදර යන විරුදාවලියට උරුමකම් කියන ශ්‍රී ලංකාද්වීපය ආසියාවේ ධර්ම භාණ්ඩාගාරය ලෙසද හඳුන්වනු ලැබේ. මෙවන් ධර්මද්වීපයක උපත ලද ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ සියවසකට එපිට සිට ලෝක ප්‍රජාවට බුදු දහම ව්‍යාප්ත කරන්නට බොහෝ සෙයින් ඇපකැපවී ක්‍රියා කළහ. 1891 වසරේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ මූලිකත්වයෙන් මහා බෝධි සමාගම පිහිටුවා දේශ දේශාන්තරයන්හි බුදු දහම බෙදාහරින්නට පුරෝගාමිවූ අතර එයින් පිබිදුණු භික්ෂූන් වහන්සේ ඒ මග යමින් අද වෙනවිට ලොව පුරා බොහෝ රටවල වෙහෙර විහාරස්ථාන ආරම්භ කරමින් ලෝක ශාසනික සේවය ජාත්‍යන්තරය තුළ ඉටු කරමින් වැඩ වාසය කරති.  


මෙසේ ආදී යතිවරයාණන් වහන්සේලා විසින් අභියෝගයක් ඉදිරියේ තබන ලද පියවර පිළිබඳ කල්පනා කර ලොවපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ එක්වීම අනිවාර්යෙන්ම ජාතික අවශ්‍යතාවක් බව අවබෝධ කරගත් ජපානයේ සම්බුද්ධා ලෝක විහාරාධිපති විශ්වීය බෞද්ධ සම්මේලනයේ නිර්මාතෘ තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේ ධර්මධූත සේවාවේ නිරත වෙමින් මවුරටටත් ලෝකයටත් මහත් සේවයක් සිදුකරන යතිවරයාණන් වහන්සේලා ඒකරාශීකොට අදීන සංඝ පෞර්ෂයක් බිහිකිරීමේ බාරදූර කාර්ය සඳහා මුල පිරූහ.  


ඒ අනුව පළමුවැනි ජාත්‍යන්තර මහා සඟ සමුළුව ගිය වසරේ 2018 දෙසැම්බර් මාසයේදී ජපානයේදී පැවැත්වූහ. පුරා දින තුනක් පැවැත්වුනු එම ජාත්‍යන්තර සඟ සමුළුවේදී රටේත් ජාතියේත් සම්මා සම්බුද්ධ ශාසනයේත් චිර පැවැත්ම උදෙසා තීන්දු තීරණ කිහිපයක් ගන්නා ලදී. වසරක් පාසා පැවැත්වෙන එම ජාත්‍යන්තර මහා සඟ සමුළුව මෙවරද 2019 සැප්තැම්බර් 19-20-21 යන තෙදින පුරාවට ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීය. දෙවැනි ජාත්‍යන්තර මහා සඟ සමුළුව මෙසේ ප්‍රංශයේ පැරිස් නුවරදී සංවිධානය කළේ ප්‍රංශ​යේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ, ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුංගස්යායේ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ සහ සාහිත්‍යවේදී කෝන්ගස්යායේ ආනන්ද ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙනි.  


රටවල් තිස් අටක වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා 85 නමක් මෙම ජාත්‍යන්තර සඟ සමුළුවට වැඩම කර සිටියේ ප්‍රංශයේ පැරිස් නුවර කසාවතින් බබලවමිනි. අප ශාක්‍යමුනි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන් වහන්සේද මෙම සඟ සමුළුවට ආරාධනා ලැබ වැඩම කිරීම රෝමයේ ශාක්‍යමුනි විහාරස්ථානයද ජාත්‍යන්තරයට එක් කරමිනි. එය ශාක්‍යමුනි විහාරස්ථානයේ සියලුම දායක පින්වතුන්ගේ සතුටට කාරණයකි.  


මෙවර ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුනු ජාත්‍යන්තර සඟ සමුළුවේදීද රටේත් ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අභිවෘද්ධිය උදෙසා වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගන්නා ලදී.   

 


ප්‍රේමා කංකානම්ගේ  
රෝමය