විදේශික පුහුුණු ශ්‍රමයට දොර හැරීමට ජර්මනිය තීරණය කරයි


අප්‍රිකානු සරණාගතයන් භාරගැනීම නවතා දමා, යුරෝපා හවුලට අයත් නොවන රටවල පුහුණු ශ්‍රමිකයන් වෘත්තීය හේතූන් මත කැඳවා ගැනීමට ජර්මනිය තීරණය කළ බව, ජර්මානු ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ජර්මානු කම්කරු සහ මුදල් අමාත්‍යවරුන් සමඟ කරන ලද දීර්ඝ සාකච්ඡාවලින් පසුව මෙම තීරණයට සියල්ලෝම එකඟ වී ඇත. මෙම තීරණය නීතියක් ලෙස සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීති කෙටුම්පතක් ලෙස සැකසීම සඳහා නීති සම්පාදකයන් වෙත ඉදිරි දිනවලදී භාරදීමට නියමිතය.   


ජර්මානු ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව, යුරෝපා හවුලට අයත් නොවන රටවල විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළම වෘත්තීය සුදුසුකම් ලද ශ්‍රමිකයන්ට රැකියාවක් සොයා ගැනීම සඳහා ජර්මනියට සංක්‍රමණය වීමට හය මාසයකට පමණක් වලංගු වීසා බලපතක් නිකුත් කෙරෙනු ඇත. මෙම වීසා බලපත සඳහා අයැදුම්කරුවෝ වෘත්තීය සුදුසුකම්වලට අමතරව ජර්මන් භාෂාව පිළිබඳව දැනුම ද සහතික කළ යුතුය. මෙම වීසා බලපත යළි අලුත් කිරීමේ කොන්දේසියෙන් තොරය. වීසා අවසරය වලංගු හය මාසය තුළ රැකියාවකට අනුගත නොවන විදේශිකයා රටින් බැහැර විය යුතු අතර ජර්මන් රාජ්‍යයේ සරණාගත හෝ දේශපාලන රැකවරණ වරප්‍රසාද ඉල්ලුම් කර එය ප්‍රතික්ෂේප වූ, එහෙත් අනෙකුත් අදාළ සුදුසුකම් සම්පූර්ණ කරන විදේශිකයන්ට ද මෙම වීසා බලපත්‍රය සඳහා අයැදුම් කළ හැකිවේ.   


මෙම වීසා බලපත්‍රය සඳහා අයැදුම්පත ඉල්ලුම්කරුගේ මව්බිමෙහි ඇති ජර්මානු තානාපති කාර්යාලය මගින් ඉදිරිපත් කළ යුතුය. රැකියාව සොයාගන්නාතුරු ජර්මනියේ රැඳී සිටින හය මසක කාලය තුළ නවාතැන් සහ යැපීම් සඳහා අනුමත බරපැන අයැදුම්කරු විසින් දැරිය යුතුවන අතර, ජර්මානු රජයෙන් මොනයම් ආකාරයක හෝ සහනාධාරයක් ලැබෙන්නේ නැත. සහන කාලය තුළ රැකියාවකට අනුගත වන විදේශිකයාට වෘත්තීයමය හේතූන් මත ජර්මනියේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපතක් නිකුත් කෙරෙන අතර, පසුකාලීනව වෘත්තිකයාගේ පවුලේ සාමාජිකයන් ජර්මනියට ගෙන්වා ගැනීමේ අවසරය ඉන් සහතික නොකෙරේ. 

 
ඉහත සඳහන් වීසා අවසරය ජර්මානු රජයේ තීරණයක් මිස, තවමත් නීතියක් ලෙස සම්මත වීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා නැත. මෙය නීති කෙටුම්පත් සම්පාදකයන් විසින් සූදානම් කර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ආගමන විගමන නීතියක් ලෙස සම්මත වූ පසුව රජයේ නිල ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. මේ පිළිබඳව උනන්දුවක් දක්වන සුදුසුකම් ලද විදේශික පුරවැසියන්ට අදාළ වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකිවෙන්නේ ඉන් පසුවය.   

 

 


චාපි කෝසලා   
මියුනිච්, ජර්මනිය.