විදේශ මුදල් පළහිලව්වකට හිටපු ප්‍රංශ ජනාධිපති අත්අඩංගුවට


ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතා මෙම මාර්තු 20 අඟහරුවාදාා ප‍්‍රංශ පොලිසියේ මුල්‍ය අපරාධ අංශය මගින් පැය 48ක රැඳවුම් නියෝග මත අත්අඩංගුවට ගත්තේය. එසේ නමුදු ඊයේ රාත‍්‍රියේ ඔහුගේ පැරීසියේ ඇති නිවසේ රාත‍්‍රී නිදාා ගැනීමට අවසර ලැබුණු අතර 22 වැනිදාා උදේ 08.30ට නැවතත් මුල්‍ය අපරාධ අංශයේ ප‍්‍රශ්න කිරීම්වලට මුහුණ දීමට පැමිණියේය. වර්ෂ 2007 දී ඔහු ප‍්‍රංශ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු වර්ෂ 2012 දක්වා වසර 5ක කාලයක් ජනාධිපති ධුරය දැරීය.   


ඉහත ජනාධිපතිවරණයේ දී ඔහු විසින් එවකට ලිබියාවේ නායකයා වූ කර්නල් මුවම්මර් අල් ගඩාෆිගෙන් යුරෝ මිලියන 50 ක මුදලක් ලබා ගත් බව ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි. වර්ෂ 2011දී මෙම ගනුදෙනුව ගැන මුලින්ම අනාවරණය කළේය. ඒ අනුව අනාවරණය වූ කරුණු ප‍්‍රධාන කොට මූලික පරීක්ෂණ ආරම්භ වුවද සාර්කෝසි මහතා තමන්ට ඇති චෝදනා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළේය. එසේ නමුදු පරීක්ෂණ ඉදිරියට සිදුවෙමින් පැවැති අතරවාරයේ මෙම ගනුදෙනුවට සම්බන්ධ ලෙබනන් උපතක් ඇති ප‍්‍රංශ පුරවැසිභාවය හිමි කෝටිපතියෙක් වන සයිඩ් ටකඩීන් (Zaid Takieddine) නම් ව්‍යාපාරිකයා විසින් සූට්කේස් තුනකින් දෙවරකට එම මුදල් ස්විට්සර්ලන්තය හරහා රැගෙනවිත් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ එවකට එනම් 2007දී සාර්කෝසි මහතාගේ මැතිවරණ කටයුතු සිදුකළ ප‍්‍රධාන කළමනාකරුවූ ක්ලෝඩ් ගෙයියොන් (Claude Gueant) මහතාට භාර දුන් බව ප‍්‍රසිද්ධ ප‍්‍රංශ රූපවාහිනි නාළිකාවක් ඉදිරියේ පිළිගත්තේය. ප‍්‍රථමයෙන් යුරෝ මිලියන 30ක මුදල් නෝට්ටුද ඉතිරිය විවිධ බැංකුවල ගිණුම්වලට බැර කළ බවද ඔහු පිළිගත්තේය.   


ලිබියාව කඩා වැටීමට ආසන්නව තිබියදී 2011 මාර්තු මස 15 වැනිදාා ගඩාෆිගේ එක් පුත‍්‍රයෙක් වූ දැන් ලිබියාවේ සිරබත් කන සයිෆ් අල් ඉස්ලාම් (Saif Al Islam) විසින් සාර්කෝසි මහතාට තම පියා මුදල් ලබා දුන් බව ප‍්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශයක් කළේය. එවකට ලිබියාවේ ඛනිජ තෙල් ඇමති ලෙස කටයුතු කළ චුක්රි ගහානෙම් විසින්ද එම ප‍්‍රකාශය සනාථ කළේය. ඉන් අනතුරුව ගඩාෆිගේ මරණයට පෙර රටින් පැන ගොස් ටියුනීසියාවේ සැඟවී සිටි ලිබියාවේ හිටපු අගමැති බැග්ඩඅඩී අලී අල් මහාමුඩී (Baghdadi Ali Al Mahmodi) විසින් තම නායකයා වූ ගඩාෆි 2007 ප‍්‍රංශ ජනාධිපතිවරණයට සාර්කෝසි මහතාට මුදල් දුන් බව තමා හොඳින්ම දන්නේ යැයි පැවසූ අතර ඔහුගේ නීතිඥයා වූ බෙෂිර් එසීඩ් (Bechir Essid) මගින් ප‍්‍රංශ අධිකරණයට ලිඛිතව ලිපියක් ඉදිරිපත් කළේය. එකල සාර්කෝසි මහතා ජනාධිපති වූ බැවින් අධිකරණයට කැඳවීම ව්‍යවස්ථානුකූල ගැටලුවක් වූ හෙයින් 2012 ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඉහත ගනුදෙනුව නැවත කරළියට පැමිණියේය. එතැන් සිට නැවතත් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් එක් එක් සාක්ෂිකරුවන්ගේ ප‍්‍රකාශ ලබා ගත් අතර මෙම ගනුදෙනුව සම්බන්ධව ප‍්‍රථම වරට සාර්කෝසි මහතා පසුගියදාා අත්අඩංගුවට ගත්තේය. මේ වන විටත් පරීක්ෂණ සිදුවෙන අතර ඉදිරියේදී තවත් බොහෝ කරුණු අනාවරණය වීමට ඉඩ ප‍්‍රස්ථාව ඇත්තේය. මෙවැනි මුල්‍ය වංචා නඩු කිහිපයක් ඔහුට එරෙහිව ප‍්‍රංශ අධිකරණය ඉදිරියේ ඇත්තේය. කෙසේ නමුදු මේ දක්වා ඔහු වරදකරුවෙකු ලෙස ඔප්පුවී නොමැත.   


වර්ෂ 2011දී මෙම ගනුදෙනුව ගැන මුලින්ම අනාවරණය කළේ ප‍්‍රංශ, ඉංග‍්‍රීසි, ස්පාඤ්ඤ යන භාෂා ත‍්‍රිත්වයෙන්ම පළවෙන මීඩියාපාට් (Mediapart) නම් වෙබ් අඩවිය විසිනි. මෙම වෙබ් අඩවියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනුයේ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ ලේ මොන්ඩ් (Le Monde) පුවත් පතේ හිටපු ප‍්‍රධාන කතෘ එඩ්වි ෆැලැනෙල් (Edwy Plenel) නම් ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ මාධ්‍යවේදියාය.   


ඉහත කරුණු හේතු කොට හිටපු ජනාධිපති තුමා පඹගාලක නොව නඩු ගාලක පැටලී ඇත්තේය. ඉහත සියලු චෝදනා කරළියට තිර විවර කළේ ප‍්‍රංශ ජනමාධ්‍ය විසින්ය. එසේ වුවද එම කිසිම ආයතනයකට හිරිහැර කිරීම, මාධ්‍යවේදීන් අතුරුදහන් හෝ නිහඬ කරවීමක්, කැමරා ආම්පන්න කුඩු කිරීමද මෙතෙක් සිදුවී නොමැත. එවැනි පරිසරයක ඔවුන් නිදහසේ කටයුතු කරති. එබැවින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම එම රට වැසියන්ගේ මෙන්ම සෑම වැසියෙකුගේම පරම යුතුකමක්ද වන්නේය. එසේ වුවොත් රටක යහ පාලනයක් ඇති වීමට එයද එක් හේතුවක් වන්නේය. එබැවින් ජනමාධ්‍ය මෙන්ම ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමද තම රට රැක ගැනීමට දාායක වූවෝ වන්නේය. ප‍්‍රංශ ජනතාව නම් එසේය!

 

 

 

සුනිල් ආනන්ද පැරීසියේ සිට