වැලි කතරේ දුක් විඳින අපේ කතුන් ගැන සොයා බලන්න කෙනෙක් නැද්ද ?


 

ශ්‍රී ලංකාවේ වෙසෙන අහිංසක මිනිසුන් ජීවත් වීමට කරකියාගත නොහැකි වූ විට රැකියා සොයා විදේශගත වීම අද වැඩි වී තිබේ. එවන් මොහොතක ශ්‍රී ලංකාවේ විදේශ රැකියා එ්ජන්සිකරුවන් නොමනා විදියට මුදල් අයකර ශ්‍රමිකයන් විදේශවලට එවන නමුදු ඉන්පසුව කිසිම සොයා බැලීමක් ද නොකරයි.   


අහිංසක දුප්පත් මිනිසුන් ගේ දොර ඉඩ කඩම් ගිනි පොලී කන මිනිසුන්ට උකස් කර විදේශගත වන්නේ ද ජීවන බර උසුලා ගැනීමට නොහැකි නිසාය. විදේශ රටවල සමහර ගෙවල් හා සමාගම්වලින් අපට හිමි මාස 3ක හෝ මාස 4ක වැටුප ද නොගෙවයි.   
එයට හේතුව අපව ගෙන්වා ගැනීමට ඒජන්සිකරුවන්ට විශාල මුදලක් ගෙවා ඇති හෙයිනි.   


අප රටෙහි සිටින ඒජන්සිකරුවන් අපගෙන් හා අප රැකියාවට එන නිවෙස්වලින් හා සමාගම්වලින් විශාල වශයෙන් මුදල් ගැනීම සිදුකරයි.   
දස දුක් විඳින අපි රට එන්න වියදම් කරන ලද මුදල් සෙවීමට වසර 1 1/2 වත් සේවය කළ යුතුයි. ඒ අතරතුර ලංකා රජයෙන් දිළිඳු පවුල් සඳහා යම් ආධාරයක් දෙන්නට ගියත්, ගමේ ග්‍රාම නිලධාරී හෝ ඒ සඳහා පත් කරන ලද නිලධාරී තැන අපගේ හිමිකම් කපා හරින්නේ අසාධාරණ අයුරින් බිරිඳ හෝ සැමියා රට නිසා ඔබට සහනාධාර දීමට සුදුසු නැත, නැතහොත්, පුතා හෝ දුව රට නිසා සහනාධාර අවලංගු වනු ඇත. අහිංසක අපි පිටරට පැමිණියේ ස්ථිර රැකියාවක් සඳහා නොවේ. අපි අසරණ වී මව්බිමට පැමිණි පසුව රජයෙන් අපට යම් සහනයක් සලසන්නේ ද නැත. රක්ෂණ ගාස්තුව හරියට අයකිරීම නම් සිදුකරයි.   


රට වෙනුවෙන් දහඩිය හෙළා විදේශ විනිමය රැගෙන ලංකාවට සේවය කරන අප සැමට එසේ කිරීම සාධාරණ ද?   
අනික, විදේශ රැකියාවල් සඳහා අප පැමිණි පසු අප වෙත පැමිණෙන කරදර කම්කටොලු අතිවිශාලය. එයට මූලික හේතුව භාෂාව නොහැකි වීමය.   


සමහර ගෙවල්වලින් මාස ගණන් වැඩ ගැනීම පමණි. පඩි නැත. ඒ ගැන සෙවීමට කාත් කව්රුත් නැත. සිංහල අපගේ ශ්‍රමය මෙසේ සූරා කෑම්වලට ලක්වී සිටීමේදී ද රජය නිහඬ වී සිටියි.   


ඒ සඳහා අප තානාපති කාර්යාල වෙත යම් පිහිටක් පතා පැමිණි පසුව ඇතැම් උසස් නිලධාරීන් රට ජාතිය පාවා දී රියාල්වලටත්, ඩොලර් හා ඩිරාම්වලටත් ඔලුව නමන අමනයින් බවට පත්ව ඇත. සිංහල අපි කියන දේ පිළි නොගනියි. අරාබිකාරයින්ගේම පැත්තට සාක්කුව දිගුකර නැවත අපට හිරිහැර කරදරවලින් සංග්‍රහ කර අමනයින්ගේම නිවෙස් කරා නැවත සේවයේ පිහිටුවීමේදී ඇතිවන කරදර ඊටත් අධිකය.   


අගමැති තුමනි, විදේශ රැකියාවල් සඳහා පැමිණෙන සියලු ලාංකික සේවක සේවිකාවන් මාස 6 වරක් හෝ තානාපති කාර්යාල වෙත ඉදිරිපත් කිරීමේ නීතිමය පියවර ගන්න. ඉන්පසු විස්තර සොයා බැලීමට රජයෙන් නිලධාරී මහතෙකු පත් කිරීම ශ්‍රී ලංකාවට වඩාත් සහනද‌ායී පිළිවෙතක් වෙන බව නොඅනුමානය.   


ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුම සේවක සේවිකාවන් සඳහා එම රටෙහි භාවිතා වන භාෂා පරිවර්තක පොතක් රක්ෂණ සමාගම විසින් නොමිලේ ප්‍රදානය කිරීමට කටයුතු සලසන්න.   


රක්ෂණ සමාගම් විසින් රු.ලක්ෂයකට ආසන්න මුදලක් රක්ෂණයට ගන්න පුළුවනි නම් ඇයි රු: 100 වැනි සුළු මුදලකට භාෂා පරිවර්තක පොතක් ප්‍රද‌ානය කිරීමට නොහැකි.   


වයස 35ට අඩු පිරිමින් සඳහා සෞදි රටට වීසා නොදෙන්නේ ලංකා තානාපති කාර්යාලයෙන් පමණි. ඒ සඳහා ඩොලර් 100/- ලබාගැනීමෙන් වයස 20 තරුණයින් එක දිනකින් වයස 35 වෙන්නේ කෙසේ ද? ඩොලර් 100/- තානාපතිට ද? රජයට ද? අහිංසක මිනිසුන් වෙනුවෙන් පිළිසරණක් නැති ද?   


අගමැති තුමනි, මේ පිළිබඳ වහා සොයා බලන්න.   


ඌරගස්මංහන්දියේ   
සඳරුවන් සමරසිංහ
රියාද් සිට