වතිකානය මෙවර මුහුදු වැල්ලෙන් නත්තල් ගව ලෙන නිර්මාණය කරයි


 

පොඩිවුන් මුහුදු වෙරළේ වැල්ලෙන් මාලිගා සදන්නේ සෙල්ලමට ය. එහෙත් තෙත් කළ වැලි යාන්ත්‍රිකව අධි පීඩනයට පත්කර රූප නෙලීම අද කලාවක් බවට පත්ව ඇත. වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ වාර්ෂිකව ඉදිවෙන නත්තල් මහා ගවලෙන මෙවර ඉදිවී ඇත්තේ මෙම කලා ශිල්පීය ක්‍රමයට ය. වතිකානයේ මෙවර ගවලෙන නිර්මාණය කිරීම සඳහා විශේෂ වූ මුහුදු වැලි ගෙනැවිත් ඇත්තේ වැනීසියේ ජෙසෝලෝ මුහුදු තීරයෙන් ය. 

 
වතිකායේ මෙවර නත්තල් මහා ගවලෙන නිර්මාණය කිරීම සඳහා ජෙසෝලෝ මුහුදු තීරයේ සිට වතිකානය දක්වා වන කි.මී. පන්සිය හැටපහක දුර ටිපර් විසිහතරක් පුරා වැලි කියුබික් මීටර් එක්දහස් තුන්සියයක් ගෙනැවිත් ඇත. මෙහි මුළු බර ටොන් හත්සීයකි. මෙම වැලි තොගය තෙත්කර, යාන්ත්‍රිකව අධි පීඩනයට පත්කර සාදාගන්නා ලද පේසාවෙන් ගවලෙන රූප නෙලීම කර ඇත. මෙම රූප නෙලීම ඇමෙරිකානු ශිල්පියෙකුගේ අධීක්ෂණය යටතේ ඕලන්ද සහ චෙකොස්ලොවැකියානු ශිල්පීන් දෙදෙනෙකු සහ රුසියානු ශිල්පිනියක විසින් කර ඇත.   


මෙවර වතිකාන නත්තල් මහා ගවලෙන මීටර් දහසයක් පළල වෙන අතර, දිග මීටර් හයකි. උස මීටර් පහකි. මෙම ගවලෙන ජනවාරි මස පහළොස්වැනිදා දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබෙනු ඇත. 

 
වතිකානය විසින් නවතාවයකින් මුහුදු වැල්ලෙන් කරන ලද මෙම නත්තල් මහා ගවලෙන පෙර වතාවල ගවලෙන මෙන් වර්ණවත් නැත. ගව මඩුවෙන් තොර ගවලෙන පියස්සක් යට දැවැන්ත මූර්තියක් පමණි. ජේසු උපත සිදුවූවේ යයි සැලකෙන දෙසැම්බර් මස විසිහතරවැනිදා රාත්‍රී ​ෙදාළහට සිරිත් පරිදි ගව ඔරුව මත තබනු ලබන ජේසු බිලිඳා, මෙවර සතියකට පෙර සිටම එතැන ය. මහජන ප්‍රදර්ශනයෙන් පසුව එය පෙර වතාවල මෙන් ගලවා ඉවත් කිරීම ද කළ නොහැකිය. කළ හැකි එකම දෙය ගවලෙන එතැනම විනාශකර නැවත වැලි බවට පත්කිරීම පමණි. “දුහුවිල්ලෙන් මැවූ ඔබ යළි දුහුවිල්ලටම හැරේ” දේව වාක්‍ය එසේ ය.   


වතිකාන නත්තල් මහා ගවලෙන සහ එහි විශේෂතා කීපයක් සමග ශිල්පීන් විසින් එය නිර්මාණය කළ ආකාරය ද ඡායාරූපයෙන් දැක්වේ.   

 

 

 

 

 

 


යටියන ක්ලැරන්ස් කොස්තා.   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.